ආගම සම්ප්‍රදාය සහ නිවහල් චින්තනය

•අටකලන්පන්නේ කුලරත්න 

ආගම් තමන් ජීවත්වන අවට ලෝකය ගැන නොදන්නා මිනිසුන් සමග පිනුම් ගසන විට විද්‍යාව ලෝකය දන්නා මිනිසුන් විසින් ඇසුරු කරනු ලබනවා. විද්‍යාව එලිය කරන තැන්වල නොසිට බොහෝ විට ආගම් පලායනු දැකගත හැකියි. දෙවියන් වහන්සේගේ හෝ ශාස්තෘවරයාගේ නාමයෙන් ආගම ආගමික ප්‍රභූවරු තමන් විශ්වාස කරන්නැයි ශ්‍රාවක අනුගාමික පරිසෙන් ඉල්ලයි. ආගම තවමත් සිය බල ඒකාධිකාරය පතුරුවන්නේ තුන්වන ලෝකයේ නොදියුනු රටවලය. නූගත් නොදියුනු මිනිසාට ආගම ඔහුව තෙරුම්කර දෙයි. මරනින් මතු ජීවිතය ගැන, නැවත උපදින ආකාරය ගැන, පෙරකල කර්මය තමන් පසුපස එන පිලාවෙල ගැන සහ මිනිසා මුහුනදෙන සමාජ ප්‍රශ්නවලට අයුක්තියට, අසාධාරනයට හේතුව අසමාන ලෙස සම්පත් බෙදීයාම නොව පෙරකල කර්මය බව මිනිසුන්ට පැහැදිලි කරදෙන ආගම රජුන්ගේ, ප්‍රභූවරුන්ගේ පැවැත්ම වෙනුවෙන් පෙනීසිටියි.
ආගමට අනුගාමිකයින් සිටියි. සියලු අනුගාමික මිනිසුන්ගේ දරුවන් උපතේදීම ආගමක බැඳ තබනවා. මව්පියන්ගේ ආගම විසින් බෞද්ධ, කතෝලික, ඉස්ලාම් නාම කරනයක් ලමයෙකුට ලැබෙනවා. එහෙත් එවැනි අනන්‍යතාවයක් පිලිබඳව නොතේරන දරුවන් සවිඥානික නෑ. ශ්‍රී ලංකාවේ අපගේ උප්පැන්න සහතිකවල ලිංගිකත්වය සහ ජාතිය මෙන්ම ආගමද සඳහන් වෙයි. ආගම වැනි විශ්වාස පද්ධතියක් කෙනෙකුගේ නිත්‍ය අනන්‍යතා සලකුනක් විය හැක්කේ කෙසේද? උපතේදී කෙරෙන මේ නාමකරනය නිසා එසේ නම්කරන ලද ආගමට කෙනෙකු ප්‍රබලව බැඳෙයි. ඉන් පසුව දෙමාපියන්, ගුරුවරුන් හා ආගමික පභූවරුන් විසින් ඔවුන් සතු ඇදහිලි විශ්වාස පිලිබඳ දැනුම අත්දුටු පිරිසිදු සත්‍ය ලෙස දරුවාගේ ඔලුවට කාවදද්යි. එවිට ඒ දරුවාගේ මනෝ භාවයන් එකී ආගමික කෝව තුලින් සැපයෙන ලෝකය හෝ යථාර්ථය සාදාතනිකව වැලඳ ගන්නා කරමට ඒ සමග ගැට ගැසෙයි. වැඩිවියට පත්වූ පසුව වුවද මෙසේ ආගම් කෝව තුල හැදී වැඩුනු මිනිසුන් ආගම ප්‍රශ්න කිරීමට බිය වෙනවා. සැබවින්ම ආගම මිනිසුන් බියට පත්කර බියට පත් මිනිසුනට පූජා ඇදහිලි කන්දරාවක් දී ආගමික ප්‍රභූවරු තම මඩිය තරකර ගන්නවා. ඔවුහු තරඟයට ආගම විකුනයි. ආගමේ ස්වරූපය පිලිබඳව මහාචාර්ය ඩබ්. එස්. කරුනාරත්න ශූරීන් විචිත්‍රව පැහැදිලි කරදෙනවා. “සමාජයේ බහුතර කොටස නූගත් ය. නොවියත් ය. ඔවුන්ට අදාල ප්‍රශ්න නිරාකරනය කිරීමට දර්ශනය අසමත්. ඉතිහාසය තුල ආගම වඩාත් ප්‍රයවී ඇත්තේද, වඩාත් නිපන වී ඇත්තේද නොවියත් හුදී ජනයාගේ අවශ්‍යතා සපුරාලීමටයි. සමාජගත පුද්ගලයාට දෛනික වශයෙන් මතුවන අවශ්‍යතා රාශියක් බාහිර පරිසරයෙන් පැමිනෙන උවදුරු දුරුකොට ගත යුතුයි. රැකවරනය සලසාගත යුතුයි. සෞඛ්‍ය, සමෘද්ධිය ජයග්‍රහනය අත්පත් කොට ගතයුතුයි. මීට පහසුක්‍රම ආගම් සලසා දෙයි. බාරහාර විමෙන්, යන්ත්‍ර මන්ත්‍ර බැඳීමෙන්, ජප කිරිමෙන් තාලයක් අනුව වචන, වාක්‍ය උච්චාරනය කිරීමෙන් මේ දේ ඉටුකරගත හැකියයි ආගම පහදා දෙයි. ඉර, හඳ, නදී, පර්වත, වෘක්ශලතාදියට, මිනිස් ශ්‍රමයෙන් නෙලන ලද නිරූපන වලටද, පූජෝපාහාර පිදීමෙන් ආගම මගින් නිර්මානය කරන ලද අතර මැදි පූජකයන්ට භාන්ඩ, දේපොල, ආහාරපාන මිල මුදල් ආදිය පඬුරු වශයෙන් පැවරීමෙන් මෙම අවශ්‍යතා සපුරාගැනීමට හැකිබව ආගම අවධාරනය කරයි. වෙලඳපොලේ රජයන හුවමාරු ක්‍රමය අනුව සකස්වූ මේ උපාසනක්‍රම නොවියත් අනුගාමිකයින්ට පහසුවෙන් අර්ථවත් වෙයි. උභය පක්ශයටම එනම් භක්තිකයින්ට සහ අතරමැදියන්ට මේ පිලිවෙල එකසේ හිතකරද වෙයි” (බෞද්ධ දර්ශනය සහ චරනය - මහාචාර්ය ඩබ්.එස්. කරුණාරත්න 94-95 පිටු)
ආගම හා බැඳුන මිනිසුනට ආගමේ ධර්මය තිබේදැයි? ප්‍රශ්න කල නොහැකියි. යතිවරයෙකුගේ අධානග්‍රාහී ප්‍රකාශයකට එරෙහිව සභාවකදී කෙනෙකුට විසංවාදී අදහස් ඉදිරිපත් කල නොහැකියි. එවිට ඔහු ආගම් විරෝධියෙක් කර දඬුකඳේ ගසනු ලබයි. ආගම විමසූ ධර්මය උසස් කොට සැලකූ මාටින් වික්‍රමසිංහයන් සමගින් යතිවරු සටනට ආහ. “බවතරණය” ලියූ විට සිදුහත් චරිතය කෙලසී යයි දොස් නැගුවා. කුමාරතුංගයන් ආගම විමසූවිට ආගම විමස්න්නෝ අපාගත වෙතියි කීවේ යතිවරුන්.
විමසුවයි යමෙක් යෙයි නම් නරකාදී
මට සුවයි එහිම යනු වෙනතක    නෑදී
ඉවැසුවැයි බොරුව සහ යානම්    සෑදී
සුදුසුමයි ඉඳුම මෙහි ඔහු එහි    යාදී

නොපා බිය ඇත්ත ඇතිසැටි කියන     දන
අපායනම් මරනින් මතු වඩින    තැන
සැපාරෙකැයි කියුවත් සුරපුර     ගලන
එපාමට එපාමයි එතැන සැබවින

යනුවෙන් කදිමට පිලිතුරු දුන්නේ එබැවිනි. ඒ මහා වියතුන්ට එසේවූ කල සෙසු මිනිසුන් ගැන කවර කතාද?
අපගේ සාදාචාර ප්‍රකෘතිය ජනනය වන්නේ දයාව, සත්‍යවාදීත්වය සහ සහසංවේදීත්වය නිසාය. එය කිසිම ආගමක් විසින් සොයාගත් දෙයක් නොව මානව ශිශ්ටාචාරයේ ආගම් බිහිවීමට පෙර සිට මිනිසා තුල ඇතවූ මනෝභාවයක් බව අද මානව විද්‍යාඥයින් තහවුරු කර තිබෙනවා. ආගමික ශාස්තෘන් කලේ එදා තිබූ සදාචාර විධීන් පිලිවෙලකට සකස් කර ඉදිරිපත් කිරීම පමනයි. ජෛනාගමේ සහ බුද්ධාගමේ එන පන්සිල් එවැන්නක්. “තමාට සිදුවෙනු දැකීමට අකමැති කිසිවක් අනුන්ට නොකරව” යනුවෙන් කොම්පියුසියස් කීය. බුදු දහමේ ධම්ම පදයෙදී,
“සබ්බේ තසන්ති දණ්ඩස්ස - සබ්බේ භායන්ති මච්චුනෝ
අත්තානං උපමං කත්වා - න නනෙය්‍ය න ඝාතයේ”

සියල්ලෝ දඬුවමට බියවෙයි. සිය්ල්ලෝ මරනයට බිය වෙයි. එනිසා තමා උපමාකොට සිතා අනුන් නොනැසිය යුතුයි. නො නැසවිය යුතුයි. යනුවෙන් ප්‍රකාශ කෙරෙනවා.
සම්ප්‍රදාය බුද්ධාගම සමග ගැට ගැසුනු ජ්‍යෝතිශය හා වෙලී තිබෙනවා. උපදින විටම දරුවාට ලග්නයක්, රාශියක්, නැකතක් දෙනවා. ඉන් පසුව ඔහුගේ ජීවිතයේ සියලු වැදගත් අවස්ථා තීරනය කරන්නේ ග්‍රහ තාරකා විසින්. තම සිරුරේ වා, පිත්, සෙම් පවා පාලනය කරනුයේද, රැකියාවද, විවාහයද, විදේශ චාරිකාද, ධන ලාභද, ලෙඩදුක්, මරනයද තීරනය කරනුයේ ග්‍රහ තාරකා දෙවිවරු. දීඝ නිකායේ සාමඤ්ඤපල සූත්‍රයේදී බුදුන් තිරස්චීන ශාස්ත්‍ර ලෙස ඉවතලූ නැකැත් වලටයි අද බුදුපිලිම චෛත්‍ය පවා නිරාවරණය කරනුයේ. කර්මාන්තයේදීද කෘශිකර්මාන්තයේදීද අනේක විධ පූජාය. රටම දුවන්නේ පූජා වලින්. පූජාවක් - පිරිතක් - නැකතක් නැති රාජ්‍ය උත්සවයක් නැති තරම්. සියලුම රාජ්‍ය උත්සව අරඹන්නේත්, දිවරුම්දෙන්නෙත් නැකතට. ශුභ නැකතට දිව්රුම් දුන් නායකයින් මියගියේ මහමගදී. හිටපු නායකයා රටම අවිද්‍යාවේ ගිල්වා තමාද එහි කරවටක් ගිලී වසර දෙකකටම පෙර ජනාධිපතිවරනය ශුභ නැකතට පවත්වා පැරදී ගෙදර නැවතුනා. වත්මන් පාලකයින් ඊට දෙවෙනි නෑ. වැසි ඉල්ලා පිරිත් කියන්නැයි, බෝධිපූජා කරන්නැයි චක්‍රලේඛන නිකුත් කරනවා. නායකයෝ බෝගස් වලට වැඳ වැඳ ඇවිදිනවා. වැසි ඉල්ලා යාඥා කරන්නැයි කතෝලික පියතුමන්ලාගෙන්ද ඉල්ලා සිටිනවා. අපජීවත්වන මේ විශ්වයම රසායනික - භෞතික ක්‍රියා සන්තතියක් වග සොබාදහමේ පරිසර සාධක විසින් සියල්ල තීරනය කරන වග මේ අනුවන නායකයින් නොදන්නේ ද? අවිචාරයේ තමනුත් ගිලී රටම එහි ගිල්වන්නටම වෙර දරනවා.



එහෙත් විද්‍යාව එහි විධික්‍රමය ආගම මෙන් අධානග්‍රාහී සම්ප්‍රදාය මෙන් උද්ධච්ඡ නෑ. සෑම විටම යාවත්කාලීන වෙමින් වැරැද්ද සොයාදෙන තුරු, අලුත්දේ එනතුරු ඉවසීමෙන් විවෘතව බලා සිටිනවා. අලුත් දෑ නිමවන්නවුන්ට දක්ශයෙකු සේ සලකා ගෞරව සම්මාන පුද කරනවා. ශ්‍රී ලංකාව ඇතුලු ලොව පුරා රටවල සරසවි පද්ධති තුල උගන්වනුයේද එම බටහිරින් ආ දැනුම. එසේම පාරිභෝජනය කරනුයේ, සේවය ලබාගනුයේ එම දැනුමට පදනම්ව නිමවූ තාක්ශනික මෙවලම් වලින්. එහි ප්‍රතිඵලය විද්‍යාවේ ප්‍රගමනය වෙනස්වීමයි. වෙනස්වීමෙන් අලුත් දේ බිහිවේ. “වෙනස් නොවන එකම දේ වෙනස්වීමයි” යි ෆ්‍රෙඞ්රික් එංගලස් කීවේ එබැවිනි. සමහර ආගමික සංකල්ප ලෝක විශයට ගැලපෙන ලෙස වෙනස් නොවූ විට විද්‍යාව සමග ගැලපීමක් වෙන්නේ නෑ. එවිට එම සංකල්ප යාවත්කාලීන නොවන්නේ නම් පැවැත්මක් නෑ. විද්‍යාත්මක විධී ක්‍රමයට ගැලපෙන ලෙස සංශෝධනය නොවූ සංකල්ප ප්‍රතික්ශෙප වෙනවා. අනුගාමිකයින්ගේ විශ්වාසය රඳවා ගනුවස් මොනයම් හෝ පැහැදිලි කිරීමක් කර පලක් නෑ. අදට පමනක් ගැලපෙන නිර්වචන විශ්ව ගම්මාන වැඩ පිලිවෙලක් තුල විවිධ ජාතීන් මිශ්‍රවූ පරිසරයක නිශේධනය වෙනවා. සියලු ආගම් වල මෙනිසා යහපතට යොමුකරවන පොදු සදාචාර මාර්ගයක් තිබෙනවා. යාවත්කාලීන කර ඉදිරියට ගතයුත්තේ ඒවා. ආගම් කලයුත්තේ අවිද්‍යාව සහ සමාජයට අහිතකර දේ ඉවතලා පොදු සම්මුතීන්ට වැඩෙන්නට ඉඩහැර බුද්ධිමය සංවාදයට ඉඩ හැරීමයි. සවිඥානික මිනිසුන් එකතුවී සමාජ ව්‍යාපාර ගොඩනගා කලයුත්තේ මිනිස් සන්තානයේ ඇති අවිධිමත් - අධානග්‍රාහී පසුගාමී චින්තන රටාව පුපුරුවා හැර විමසන්නටත්, නිවහල් සිතුවිලි පැලවෙන්නටත් සුදුසු බිමක් සැකසීම. විසි එක්වන සියවසේ මැද භාගය වන විට විශ්ව ගම්මාන ව්‍යාපෘතිවල සිටිය යුත්තේ අර්ධ වැඩවසම් සීමා මායිම් අරබයා රංඩු කරන මිනිසුන් නොව දියුනු ලෝකයට ගැලපෙන විශ්වීය මිනිසුන්.

Comments