විද්‍යාවේ දියුනුවට මහඟු මෙහෙවරක් කළ අබු අල් හසේන් ඉබන් අල් තායි


‘බටහිර විද්‍යාව’ විශේශනයක් යොදාගෙන යැයි විද්‍යාව ගරහන්නන් තම දේශපාලන උවමනාවන් වෙනුවෙන් අවිද්‍යාව වපුරන්නට සක්‍රීයව කටයුතු කරන්නන් පිරිසක්. විද්‍යාව බටහිරටවත් නැගෙනහිරටවත් උතුරට හෝ දකුනටවත් අයිති දෙයක් නෙවෙයි. එය මුලුමහත් මානවයා විසින් ම අත්පත් කර ගත් ජයග්‍රහනයක්. චීනය මුද්‍රන ශිල්පය ඇතුලු තවත් දේ සොයා ගනු ලැබුවා. අරාබිකරය විද්‍යාත්මක පදනමක් මත අංක නිර්මානය කලා. ලංකාවේ දියුනු වාරිමාර්ග ක්‍රමයක් නිර්මානය වුනා. යුරෝපයේදීත් ඇමරිකාවේදීත් බොහෝ විද්‍යාත්මක දේ නිර්මානය වුනා. විද්‍යාත්මක ජයග්‍රහන ලබන්නට යම් රටවලට හැකි වූයේ අධ්‍යාපනයේ ජයග්‍රහන මෙන්ම කාර්මික කරනයේ ජයග්‍රහනද සමඟ. පැරනි සෝවියට් දේශය අභ්‍යාවකාශය ජය ගනු ලැබුවේද එමග යමින්. ඒ තුල ලෝක බලවතා වීමේ අවශ්‍යතාවයද තිබුනා. කාලානුරූපව මතු වූ විවිධ අවශ්‍යතා පදනම් කරගෙන යුධ අවිපවා නිර්මාණය වුනා. ඒ අනුව විද්‍යාත්මක ජයග්‍රහන පිටුපස පැවැති යථාර්ථය ඉවත දැමිය නොහැක්කක්. 
බල දේශපාලනයට විද්‍යාව ඈදා ගන්නා අඳ බාලයන් විද්‍යාව බටහිරට කොටු කරමින් ‘බටහිර’ විද්‍යාවේ ජයග්‍රහන භුක්ති විඳිමින් සිටිනවා. කාර්මික විප්ලවයත් සමඟ බටහිර රටවල් වේගවත් ලෙස විද්‍යාත්මක ජයග්‍රහන අත් පත් කර ගත් බව ඔවුනට නොපෙනේ. ලංකාවත් වැඩවසම් සම්බන්ධතා පරදවා කාර්මීකරනයට ලක් වූයේ නම්, විද්‍යාත්මක ජයග්‍රහන වෙත යන්නට ඉඩක් තිබුනා. යටත් විජිතයක්ව සිටි සමයේ සිට අද දක්වා විද්‍යාවේ ජයග්‍රහන අපට ලඟා කර ගත හැකි වුනේ බටහිරත් නැගෙනහිරත් යා වෙමින් විද්‍යාවේ ජයග්‍රහන ලෝකයට බෙදා දීම මඟින්. විද්‍යාත්මක ජයග්‍රහන අපට ලගාකර ගන්නට බැරි වූ හෙයින් බටහිරට ගැරගීමෙන් පලක් නොවන වග ‘බටහිර විද්‍යාවක් ගැන දොඩන වංචකයින්ට නොතේරුනත් රට්ටුන් රැවටිය නොහැකි බව ඔවුන් දැන ගත යුතුයි. 

•අබු අල් හසේන් ඉබන් අල් තායි
අබු අල් හසේන් ඉබන් අල් තායි කියන නම ඔබ කලින් අහලා නැතුව ඇති. ඒත් ඇතැම් අය ඔහුව හඳුන්වලා තියෙන්නේ “විද්‍යාවේ දියුනුවට මහඟු මෙහෙවරක් කළ විද්වතෙක්” විදිහට. බටහිර ලෝකයේ අය අල්හසේන් යන නමින් හඳුන්වන ඔහු විද්‍යාවේ දියුනුවට දායක වුනේ කොහොමද කියලා අපි සොයා බලමු.

තොරතුරු බිඳක්
විද්‍යාත්මක අත්හදා බැලීමක් කල යුතු නිවැරදි ක්‍රමය හඳුන්වා දුන් නිසා ඔහුව “මුල්ම සැබෑ විද්‍යාඥයා” විදිහට නම් කරලා තියෙනවා.

නවීන ඡායාරූපකරනයේ මුලික සිද්ධාන්ත හඳුනාගත්තේ ඔහුයි.

කාච ගැන ඔහු කල අධ්‍යයනයන් පසු කාලේදී ඇස් කන්නාඩි, දුරේක්ශ, අන්වීක්ශ නිපදවීමට සහ ඒවා වැඩි දියුනු කිරීමට දායක වුනා.

අල්හසේන් මෙලොව එලිය දුටුවේ දැන් ඉරාකයට අයිති නගරයක් වන බස්රාවල , ඒ ක්‍රි.ව 965 දී විතර. ඔහු තාරකා විද්‍යාව, රසායන විද්‍යාව, ගනිතය, වෛද්‍ය විද්‍යාව, සංගීතය, දෘශ්ටි විද්‍යාව සහ කාව්‍යකරනය වගේ විවිධ විශයන් පිලිබඳ උනන්දුවක් දැක්වූ කෙනෙක්. ඔහු කල අධ්‍යයනයන් කිහිපයක් ගැනත් ඒවා අපිට ප්‍රයෝජනවත් වෙලා තියෙන විදිය ගැනත් බලමු.

•  නයිල් ගඟ හරහා වේල්ලක් 
නයිල් ගඟ හරහා වේල්ලක් බැන්දේ 1902 දී. ඒත් ඊට අවුරුදු 1.000 කට විතර කලින් එවැනි අදහසක් මුලින්ම ඉදිරිපත් කලේ අල්හසන්.

නයිල් ගඟ හරහා වේල්ලක් ඉදි කිරීමෙන් ජල ගැලීම් සහ නියං තත්වයන් පාලනය කිරීමට හැකියාවක් තියෙනවා කියලා අල්හසේන්ට ලොකු විශ්වාසයක් තිබුනා. ඒ ගැන ඊජිප්තුවේ පාලකයා වු කලිෆ් අල් හකිම්ට ආරංචි වුනාම ඔහු අල්හසේනව ඊජිප්තුවට කැඳෙව්වා. ඒත් ඊජිප්තුවට ඇවිත් නයිල් ගඟ දැක්කාට පස්සේ වේල්ල බඳින එක තමන්ට කරන්න බැරි දෙයක් කියලා අල්හසේන් තේරුම්ගත්තා. ඒත් ව්‍යාපෘතියට අතගහන්න අකමැතියි කියලා කෲර පාලකයෙක් වුන කලිෆ් දැනගත්තොත් තමන්ට දඬුවම් කරයි කියන බයට අල්හසේන් උන්මත්තකයෙක් විදිහට හැසිරුනා. 1021 දී කලිෆ් මිය යන තුරුම අල්හසේන් අවුරුදු 11ක් පුරා උන්මත්තකයෙක් ලෙස රඟපෑවා. ඔහුව රඳවා තැබූ ඒ කාලය පාවිච්චි කලේ ඔහු උනන්දුවක් දැක්වූ වෙනත් විශයන් ගැන අධ්‍යයනය කරගන්නයි.

• දෘශ්ටි විද්‍යාව ගැන ලියූ පොත
අල්හසේන් දෘශ්ටි විද්‍යාව ගැන ලිව්ව වෙලුම් 7කින් යුත් පොතේ වැඩිහරියක්ම ලියා අවසන් කරන්න ඔහු උන්මත්තකයෙක් ලෙස රඟපෑ කාලය පාවිච්චි කලා. ඒ පොත ‘භෞතික විද්‍යාව ගැන ලියවුනු විශිශ්ටතම පොත් අතරින් එකක්.’ විදිහට සලකනවා. ආලෝකය මූලික වර්නවලට බෙදෙන විදිහ, එක මාධ්‍යයකින් තවත් මාධ්‍යයකට ආලෝකය ගමන් කරද්දී ආලෝකය වර්තනය වන විදිය වැනි දේවල් ගැන ඔහු කල පර්යේශනවල තොරතුරු ඒ පොතේ සඳහන් වෙනවා. ඒ වගේම ඇසේ ව්‍යුහය, එහි ක්‍රියාකාරිත්වය, පෙනීම ලැබෙන විදිහ වගේ දේවල් ගැනත් ඔහු අධ්‍යයනය කලා. 

අල්හසේන් අරාබි භාශාවෙන් ලියු මේ පොත 13 වෙනි සියවස වෙද්දී ලතින් භාශාවට පරිවර්තනය කලා. යුරෝපයේ හිටිය විද්වතුන් සියවස් ගනනාවක් යනතුරු ඒ පොතේ තොරතුරු ප්‍රයෝජනයට ගත්තා. කාච ගැන ඔහු කල අධ්‍යයනයන් යුරෝපයේ ඇස් කන්නාඩි නිපදවන්නට උදව් වුනා. කාච කිහිපයක් පෙලට තියලා දුරේක්ශ සහ අන්වීක්ශ වගේ දේවල් හදන්න පුලුවන් වුනෙත් ඔහුගේ අධ්‍යයනයන් නිසයි.

• ඔබ්ස්කියුරා කැමරාව 
ඡායාරූපකරනයේ මුලික සිද්ධාන්ත සොයාගත්තේ අල්හසේන් කියලා කියන්න පුලුවන්. කුඩා සිදුරකින් අඳුරු කාමරයකට ආලෝකය යැවූ විට පිටත තියෙන දෙයක ඡායාව ඒ අඳුරු කාමරයේ බිත්තිය මත උඩු යටිකුරුව පතිත වෙනවා කියලා ඔහු සොයාගත්තා. ඒ දේ පලමු කැමරාව වුන ඔබ්ස්කියුරා කැමරාව නිපදවීමට මඟ පෑදුවා.

1800 ගනන් වෙද්දී ඔබ්ස්කියුරා කැමරාව සඳහා ඡායාරූප තහඩු පාවිච්චි කරන්න පටන්ගත්තා. ඒ නිසා කල්පවතින ඡායාරූප ගන්න හැකියාව ලැබුනා. නවීන කැමරාවේ උපත සිදු වූනේ ඒ විදිහටයි. ඔබ්ස්කියුරා කැමරාවට යොදාගත්ත මූලික සිද්ධාන්තයම තමයි හැම කැමරාවකමත් අපේ ඇසෙත් තියෙන්නේ.

• විද්‍යාත්මක ක්‍රමය 
ස්වාභාවික ක්‍රියාවලීන් ගැන අල්හසේන් කරපු අධ්‍යයනයන් සුවිශේශයි. ඊට හේතුව ඔහු පරීක්ශනයක් කරද්දී ඒකට අදාල හැම දෙයක් ගැනම ඉතා පරිස්සමෙන් සහ ක්‍රමවත්ව ගවේශනය කිරීමයි. ඒ කාලයේ ඒ විදිහට පරීක්ශන කටයුතු සිදු කලේ නැහැ. යම් මතයක් ඉදිරිපත් කරන්න කලින් ඒ ගැන අත්හදා බැලීම් කල මුල්ම අය අතර අල්හසේනුත් හිටියා. යමක් පිලිගන්න ප්‍රමානවත් සාක්ශි නැත්නම් එය පිලිගත් මතයක් වුනත් ඒ ගැන ප්‍රශ්න කරන්න ඔහු භය වුනේ නැහැ.

විද්‍යාව යනු “විශ්වාස කරන දේ ඔප්පු කර පෙන්වීම” කියලා සරලව නිර්වචනය කරන්නත් පුලුවන්. එහෙම බලද්දී යමක් ඔප්පු කර පෙන්වීමේ විද්‍යාත්මක ක්‍රමය ලොවට හඳුන්වා දීමේ ගෞරවය හිමි විය යුත්තේ අල්හසේන්ට කියලා සමහරු කියනවා.


“විද්‍යාව කියන්නේ මොකක්ද කියලා අපිට ඉගැන්නුවා”ලේඛකයෙක් වන ජිම් අල් කලීලි මෙහෙම කියනවා. “අල්හසේන් සුවිශේශී සොයාගැනීමක් කලේ නැතත් විද්‍යාව කියන්නේ මොකක්ද කියලා අපිට ඉගැන්නුවා.” දෘශ්ටි විද්‍යාව ගැන ඔහු ලියූ පොතේ පර්යේෂණ සඳහා කල අත්හදා බැලීම, පාවිච්චි කරපු උපකරන, යොදාගත් මිනුම් සහ ප්‍රතිඵල වගේ දේවල් ගැන පැහැදිලිව විස්තර කරලා තියෙනවා. ඒ නිසා එය “සැබෑම විද්‍යා අත්පොතක් විදිහට” හඳුන්වනවා. 

Comments