මිත්‍යාව බහුල සමාජයක දේශපාලනය


කුඩා කල පටන් යමෙකුට මිථ්‍යා විශ්වාස කාවද්දා ඔහු තුළ සහජයෙන් පිහිටන විමර්ශනශීලී බුද්ධිය අඩපණ කර දැමූ විට ඔහු වැඩිහිටියකු වූ පසුද ජීවිතය පුරාවට හැසිරෙන්නේ විමසුම් බුද්ධියෙන් තොර අන්ධානුකරණයට නැඹුරු වූවකු ලෙසය.

මිථ්‍යා විශ්වාස බහුලව දැකීමට ලැබෙන සමාජයක මෙම හැසිරීම හොඳින් පෙන්වන අවස්ථාවක් ලෙස මැතිවරණ පෙන්වා දිය හැක. මැතිවරණයක දී ජනතාව කටයුතු කරන ආකාරය මිථ්‍යාවට ඔවුන් හසුවන ආකාරය අතර කෙතරම් සමීප සම්බන්ධතාවක් ඇත්දැයි සොයා බලමු.

අප උපතින් කිසියම් ආගමකට අපගේ දෙමව්පියෝ ඇතුළත් කරවති. එතැන් පටන් එම ආගමේ නමින් එන  ඕනෑම දෙයක් පරම සත්‍ය සේ පිලි ගැනීමටත් අවිචාරයෙන් එය තම ජීවිතය පුරාවට තම උරුමය සේ සලකා කටයුතු කිරීමටත් අපි හුරුවෙමු. කුඩා කලදී අපට හුරු පුරුදු කළ පුද පූජා ඇදහිලි, ජ්‍යොතිෂ්‍ය වැනි මිථ්‍යාවන් පදනම් කරගෙන ජීවිතයේ වැදගත් අවස්ථා සිදු කරමු.

මේ අයුරින්ම දේශපාලනය ගැන යන්තමින් හඳුනා ගන්නා විට අපගේ සමීප වැඩිහිටියන් “අපි අහවල් පක්‍ෂයේ අය” යන අදහස අපට කාවැද්දූ විට එම පක්‍ෂය තම සදාකාලික උරුමය ලෙස සැලකීමට ඇතමුන් පෙළමෙති. එතැන් සිට ඔවුන් කැපුවත් කොළය. කැපුවත් නිල්ය. කැපුවත් රතුය. මින් බහුතරයකට එකී පාට දරණ පක්‍ෂවලින් කිසිම පෞද්ගලික වාසියක් හෝ සැලසී නැත. තමන් මහත් භක්තියෙන් එම පාට පක්‍ෂ වැළඳ ගන්නා විට එහි සිටි නායකයින් දැන් නැත. එක්කෝ ඔවුන් වෙන පක්‍ෂ වලය. එදා පක්‍ෂයේ ප්‍රතිපත්ති අද මුළුමනින්ම වෙනස් වී ගොසිනි. ඒවා ගැන සිතීමට තරම් බුද්ධියක් මේ අන්ධානුකරණයට හුරු වූවන්ට නොමැත. තවද තමන් අන්ධ වී ඇති පක්‍ෂය කරන  ඕනෑම අමන වැඩක් ඔවුනට නිවැරදිය. කවර යහපත් දෙයක් වුවත් එය කෙරෙන්නේ වෙනත් පක්‍ෂයකින් නම් එය වහකදුරු මෙන් තිත්තය.  

මිථ්‍යා විශ්වාසවලට අප හසුවන අනිත් කරුණ වන්නේ කුඩා කල පටන් වැඩි වශයෙන් අසන දකින දේ නිවැරදි ලෙස සිතීමට පුරුදු වීමයි. මිථ්‍යා විශ්වාස අප සමාජයේ ඒක පාර්ශවික ලෙස තොරතෝංචියක් නොමැතිව අසන්නට දකින්නට ලැබෙන විට ඒවා සත්‍ය සේ තහවුරු කර ගැනීමට බොහෝ දෙනා පෙළඹෙති. මේ පුරුද්ද නිසා දේශපාලනයේදී ද වැඩිපුර කටවුට් පෝස්ටර් ගසන පළාත දෙවනත් කරමින් නිතර නිතර පෙළපාලි යන ජනමාධ්‍යවල නිතර දෙවෙලේ කියැවෙන ඒ මාර්ගයෙන් ප්‍රචාරය වැඩිපුර කරන විට ඒවා නිවැරදි සේ සිතීමට ඔවුහු පෙළඹෙති.

තවද මිථ්‍යාවෙන් යැපෙන්නන් හොඳින් දන්නා කරුණක් නම් මිථ්‍යාවට විරුද්ධ අදහසක්ද ජනතාව අතරට ගියහොත් මිථ්‍යාව බිඳ වැටීම ඇරඹෙන බවය. එනිසා මිථ්‍යාවට විරුද්ධ අදහස් යටපත් කර දැමීමට ඔවුන් නොකරනා දෙයක් නැත. ඒ අයුරින්ම දේශපාලනයේදීද මේ සංසිද්ධියම කෙතරම් භාවිතයට ගන්නේද? විරුද්ධ පක්‍ෂවල අදහස් ජනතාව අතරට යෑම ඔවුනට ඉවසුම් නොදේ. අවම වශයෙන් රූපවාහිනී සංවාදයකදී පවා අනිකාගේ කාල වේලාවට බාධා නොකර සිටීමට තරම් සංවරයක් මොවුනට නොමැත.
බුද්ධිමත් ජනතාව කිසියම් අසාධාරණයක් හමුවේ නැ`ගී සිටිති. තමන්ට ඒ මොහොතේ යම් දෙයක් තිබේද ඒ දෙය කිරීමට පසුබට නොවෙති. එහෙත් පෙර කර්මය, මරණින් මතු පැවැත්ම ආදී මිථ්‍යාවන්ගේ එල්බ ගත් ජනතාව ඒ අතින් පසුගාමීය. “උන් ඔය සැප විඳින්නේ ගිය ආත්මේ කරපු පිං හින්දා” අපිට මෙහෙම වෙලා තියෙන්නේ පෙර ආත්මේ කරුමේ හින්දා” ඔය හොරකම් තක්කඩිකම් කරන එවුන් මේ ජීවිතේ  ඕවා කරපු දෙංකෝ. ලබන ආත්මේ ඔවුන්ට ඒවා පල දෙයි” මෙවැනි යමකින් හිත සනසාගෙන සිටින ජනතාවක් දූෂිත දේශපාලකයින්ට ආශීර්වාදයකි. තවද මිථ්‍යා විශ්වාසවලට අනුව තම ජීවිතයේ වැඩ කටයුතු තීන්දු තීරණ ගන්නන්ට එහි අවසාන ප්‍රතිඵලයේ ඇති අනර්ථකාරී බව බියකරු බව වැටහෙන්නේ නැත. නිදසුනක් ලෙස වෛද්‍ය ප්‍රතිකාර වලින් ඉක්මනින් ප්‍රතිකාර ගෙන සුව කරගත යුතු රෝගයක් සඳහා නැකත් බලන පුද පූජා වලට කාලය ධනය වැය කරන අයෙකුට තමා කරන දෙයෙහි භයානක ප්‍රථිඵලය ගැන සිතීමට හැකියාවක් හෝ වුවමනාවක් හෝ නැත.

මැතිවරණයකදී ජන්දයෙන් විධායකයට හෝ ව්‍යවස්ථාදායකයට එනම් පාර්ලිමේන්තුවට හෝ නියෝජිතයින් පත් කිරීමේදී බහුතරයක් ඡන්ද දායකයින්ට එහි අවසාන ප්‍රතිඵලයේ ඇති බැ?රුම්කම ගැන කිසිම හැ`ගීමක් නැත. ඒ නිසා දේශපාලනයෙන් තම ව්‍යාපාර හොර ජාවාරම් තව තවත් දියුණු කර ගැනීමට මාන බලන්නන්, මත් කුඩු ජාවාරුම්කරුවන් විකට කථා කියන වාචාලකරුවන් ටෙලි නාට්‍ය නිළියන්, ක්‍රීඩාව හැර මෙලොව දෙයක් නොදන්නා ක්‍රීඩකයින් මනාප වලින් ඉහළින්ම තබති. එතනින් පසු තමාගේත් මුළු රටේත් පැවැත්ම මොවුන්ට උඩු යටිකුරු කල හැකි බව නිකමටවත් සිතීමට මෙබඳු පුද්ගලයින්ට ජන්දය දෙන්නන්ට බුද්ධියක් නැත. අප රටේ එක්තරා ජන්දයකදී සාක්‍ෂරතාව ඉහළම දිස්ත්‍රික්කයක ප්‍රධාන පක්‍ෂ දෙකෙන් මනාප ලයිස්තුවල ඉහළින්ම සිටියේ මත් කුඩු ජාවාරම් කරුවකු සම`ග ප්‍රසිද්ධියේ හැසිරුණු අයුරු රූපවාහිනිය හරහා මුළු රටටම පෙන්නූ අයෙක් සහ බොළඳ ටෙලි නාට්‍යයක චරිතයක් ර`ගපෑ නිළියකි. විමසුම් බුද්ධියේ අඩපණ වීමට “උගත්කම, සාක්‍ෂරතාව” බල නොපාන බව අප පුන පුනා පවසන්නේ එබැවිනි. අනිත් අතින් අප රටේ දේශපාලකයින්ගේ අති බහුතරයද අඩු වැඩි වශයෙන් මිථ්‍යා විශ්වාස ඔළුවේ තබා ගත්තෝ වෙති. ඊට අමතරව ඔවුන් විවිධ මිථ්‍යා විශ්වාස ආශ්‍රිත කටයුතු වල යෙදීම ප්‍රදර්ශනය කිරීමට ද කැමතිය. එයට හේතුව අප රටේ ජනතාවගේ අති බහුතරයද විවිධාකාර මිථ්‍යාවන්ට ඇළුම් කරන නිසා තමන්ද ඔවුන් ඇළුම් කරන දෙයක නියැලීම තුළ ජනතාවගේ ආකර්ශනය දිනාගත හැකි වීමයි.

 කෙසේ වෙතත් ජනතා සේවය තම එකම තෘප්තිය කරගත් යථාර්ථවාදීව සිතන එසේ කටයුතු කිරීමට නිර්භීත බවත් ඇති පරමාදර්ශී දේශපාලන චරිත අප රටේ සොයා ගත හැකි දැයි යන්න ප්‍රශ්නාර්ථයකි. එසේ වුවද සාපේක්‍ෂ වශයෙන් මෙයට වඩාත් සමීප වූවන් හෝ ජන්දයකදී පත් කර ගැනීමට තරම් අප රටේ බහුතරයක් ජනතාවගේ විමසුම් බුද්ධිය දියුණු වන්නේ නම් එය ඉතා යහපත් දෙයක් වනු ඇත. ඇතැම් අවස්ථාවලදී සාපේක්‍ෂ වශයෙන් යහපත් තීරණ ගැණුන අවස්ථා ඇත. එහෙත් ඒ ජනතාව තම විමසුම් බුද්ධිය සියුම්ව මෙහෙය වීම නිසා නොවේ. ඒ අනෙක් පාර්ශවයෙන් තමන්ගේ පස්සා පැත්ත රත් වෙන තරමටම පහර වදිද්දී එය දරා ගැනීමට නොහැකි වීම නිසාය.

වෛද්‍ය සෙනරත් වේරගම,
මහ රෝහල,
මාතලේ.

Comments