ජනාධිපතිවරන ප්‍රතිඵලය නැකැත් යනු මිත්‍යාවක් වග සනාත කළා


මෙවර ජනාධිපතිවරණය ප්‍රචණ්ඩය, මැර බලය, ධන බලය, නිල බලය, අයුක්තිය, අසාධාරණය, අසත්‍ය පමණක් නොව බොරු මවන, මිථ්‍යාව වපුරන ජනාධිපතිවරණය නිර්මාණය කළ නැකැත් බලය ද ජනතා කතිර බලය හමුවේ අමූලික බොරුවක් බව සනාථ කෙරුණි. නැකැත් බොරු බව අනාථ වුණේ මෙවර පමණක් නෙවෙයි. ජාත්‍යන්තරයේ පවා ලෝක විනාශය වැනි අනාවැකි පල කළ විවිධ අවස්ථාවල මෙය බොරු කළ අවස්ථා අනන්තයි.

වසර දෙකක් ඉදිරියට ඉන්න තිබුණ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පරාජය කෙළේ නැකැත් කරුවෝ. මේ ජනාධිපතිවරණය මේ දිනයේ මේ වේලාවේ කියා දින නියම කර හිටපු ජනාධිපති නොම`ග යැව්වේ නැකැත් කරුවෝ. මහින්ද ජනාධිපතිවරයාත් ඒවා පිළි අරගෙන නීතියට පවා පටහැනිව ජනපතිවරණය පැවැත් වූවා.

මේ නැකැත් මිථ්‍යාවේ සමාජයේ බහුතරයක් ගිලිලා ඉන්නේ. ඔවුනට නැකැත් නැතුව කිසිම දෙයක් කරන්න බැහැ. සමහරක් තමන්ගේ සියලූ කටයුතු ඉටු වුණාම නැකැත් දේවත්වයෙන් සළකනවා. ඒ වගේම නැකැත් අනුව කටයුතු කරලා සිය අරමුණු ඉටු නොවුණු කොටසකුත් ඉන්නවා. වැඩිපුර ප්‍රසිද්ධ වෙන්නේ අරමුණු ඉටු නොවුණ අයගේ නැකැත් වෙනුවට අරමුණු ඉටු වුණ අය පිළිබඳව. ඒවා අතර කිසිම විද්‍යාත්මක සම්බන්ධයක් නැහැ.

සිරස රූපවාහිනියේ නැකැත් කරුවෝ හතර දෙනෙක් මේ ගැන වාද කළා. සිරස දෙන්නෙක් කිව්ව මහින්ද රාජපක්‍ෂ ජනපති වෙන බව. දෙන්නෙක් කිව්ව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති වෙන බව. මේ කතාවම නැකැත් දන්න නොදන්න මිනිස්සුත් කිව්වා. නැකැත් දන්න අයයි නොදන්න අයයි අතර වෙනස දශම පහයි කියලා විද්‍යාව කියන්නේ ඒ නිසා. මේ මත දෙකින් එකක් හැර වෙන කියන්න දෙයක් නැහැ. ඉන් එකක් දිනනවා. නැකැත් දැනගත්තයි නැතැයි කියලා වෙනසක් නැහැ.

ප්‍රකට කේන්දර කරුවෙක් හැටියට ඉන්න සුමනදාස අබේගුනවර්ධන කිව්වේ මහින්ද රාජපක්‍ෂ ජනාධිපති වෙන බව. චන්‍ද්‍රසිරි බණ්ඩාර නැකැත්කරු කිව්වේ මහින්ද රාජපක්‍ෂ දිනන බව. පැරදුනොත් තමන් වෙඩි තබාගන්නා බවත් ඔහු කිව්වා. මාපලගම විමලරත්න කේන්‍ද්‍රකරු කිව්වේ මහින්ද රාජපක්‍ෂ දිනන බව. පැරදුනොත් ඔහුත් ගිනි තබා ගන්නා බව කිව්වා. ඒ අය ගිනි තියා ගත්තද? වෙඩි තියා ගත්ත ද? මෙයින් කියන්නේ එහෙම කර ගන්න නොවේ. නැකැත් කරුවෝ බොරු කියලා මිනිස්සු රවට්ටල ඒ අය ජීවිතේ ගැටගහගන්න ක්‍රමයක් වග අපිි තේරුම් ගන්න  ඕන.

රජයේ රූපවාහිනියකට පැමිණි කණ්ඩායමක් වාද කළා. ඒ සේරම නැකැත් කරුවෝ කිව්වේ එකම කරුණයි. මහින්ද රාජපක්‍ෂ දිනනවයි කියලා. ඒකේ විරුද්ධ අය හිටියේ නැහැ. මහින්ද දිනනවා කියන මතය වපුරන්න ඒ උත්සාහය ගත්තේ. ඒත් ජනතා ඡන්ද බලයෙන් නැකැත් පරාජය වුණා.

“නෙත්.එෆ්.එම්.” ගුවන් විදුලියෙන් තවත් නැකැත් කරුවෙක් කිව්ව මං ඉස්සර කියපුවත් හරි මෛත්‍රීපාල සිරිසේන දිනනවා කියපු එකත් හරිය කියලා. ඔහු සැබෑ සත්‍ය කියන නැකැත් කරුවෙක් හැටියට පෙනී සිටියා. දිනුවට පස්සේ පම්පෝරි ගහනවා. මිථ්‍යාවේ ගිලිලා ඉන්න මිනිස්සු ඒ පසුපස යනවා. ඒක නැකැත්කරුගේ ජීවන මාර්ගයක් වෙනවා. ඊට වැඩි දෙයක් එතන නැහැ.

“හිරු” රූපවාහිනිය විකාශය කළ වැඩ සටහනක් තුළින් මේකට තවත් හොඳ නිදර්ශනයක් දෙන්න පුළුවන්. ගාල්ලේ කරාපිටිය මහ රෝහලේ විද්‍යාකුලපති වෛද්‍යාචාර්යතුමා ඒකෙදි නැකැත්කරුවන්ට පෙන්නලා දුන්නා අනාවැකි කියලා දෙයක් නොමැති බව. ඒ තදින් පායන කාලයක් සේ ඒ කාලේ වැසි වස්සවන්න පිරිත් පවා කිව්වා. එහිදී වෛද්‍යාචාර්ය විද්‍යාකුලපතිතුමා කිව්ව වැහැපු නැති තැන්වලට ඉස්සරහට වහින බවත් මේක අනාවැකියක් නොවන බවත්. ඒ වගේම ඊට පස්සේ වැහැපු නැති තැන්වලට වැස්සා. එතුමා ඒක කිව්වේ නැකැත් අනුව නෙවේ. එතුමාගේ බුද්ධිය හා ප්‍රායෝගික අත්දැකීම් ම`ගින්. ඒ වැඩ සටහනේදී නැකැත්කරුවෝ පිළිගත්තා. අහපු කරුණු වලට පිළිතුරු දෙන්න බෑ කියලා.

ලෝකේ නැකැත් දන්න හා නොදන්න අය අතර වෙනස තියෙන්නේ දශම පහක් බවයි විද්‍යාව කියන්නේ. නැකැත් දන්න අයත් නොදන්න අයත් කිව්වේ මහින්ද දිනන බව. මෛත්‍රීපාල සිරිසේන ගැනත් කිව්වේ එහෙම. ඉතින් එහෙම නම් නැකැත් දන්න අයයි නොදන්න අයයි අතර කිසිම වෙනසක් නැහැ නේද?

ජනවාරි 8 වෙනිදා මහින්ද දිනනවයි කියූ අය පැරදුණා. මෛත්‍රීපාල දිනනවයි කියූ අය දිනුවා. නැකැත් අනුව ජනාධිපතිවරණය තිබ්බේ මහින්ද දිනන්න. නැකැත් කාරයෝ පැරදුණා. නැකත බොරු බව මෙයින් පැහැදිලි වෙනවා. මේ ලෝකේ හැම දෙයක්ම සිද්ධ වෙන්නේ කෙනෙකුගේ ධෛර්යය හා අධිෂ්ඨානය මත. කිසිම ජ්‍යොතිස් ශාස්ත්‍රඥයෙකුට මෛත්‍රීපාල සිරිසේන ජන්ද 62,17162 ක් ගන්න බවත් මහින්ද රාජපක්‍ෂ ජන්ද 57,68090 ක් ගන්න බවත් කියන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. ඒ වගේම වලංගු ඡන්ද සංඛ්‍යාව හෝ  ප්‍රතික්‍ෂ්පිත ජන්ද සංඛ්‍යාව කියන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. එහෙම කිව්ව නම් ජෝතිස්ශාස්ත්‍රය බොරු කරන්න කාටවත් බැහැ. අඩුම ගණනේ කෙනෙකුගේ උපන් දිනය, හැඳුනුම්පත් අංකය කෙනෙකුගෙන් නොදැන කිසිම නැකැත් කරුවෙකුට කියන්න බැහැ. එහෙම කියන්න පුළුවන් නැකැත් කරුවෙක් මෙතෙක් පහළ වෙලා නැහැ. අනාගතේ පහළ වෙන්නෙත් නැහැ. විද්‍යාවේ තියෙන සර්වඥ භාවයට තාක්‍ෂණයේ දියුණුවට නැකැත් කරුවෙකුව දශමයකින් වත් ළ`ගා වෙන්න බැහැ. නැකැත් මිථ්‍යාව තේරුම් ගන්න ජනාධිපතිවරණය ප්‍රමාණවත් සාක්‍ෂියක්.

තෙලිජ්ජවිල සිරිපාල රණවක කංකානම්ගේ

Comments