කිරණ හා තරංග


අද ජ්‍යොතිෂය හා බැඳී ඇති තවත් ජාවාරමක් නම් මැණික් ජාවාරමයි. සෙනසුරු ඇතුළු ග්‍රහයන්ගෙන් එන නපුරු කිරණ පරාවර්තනය කොට ඉවතට යැවීමටත් සුබ කිරණ අවශෝෂණයටත් මැණික් ගල් සකස් කොට නොවටිනා ගනන්වලට විකිණිමත් අපල මුදු සෑදීමත් විශාල ලෙස ලාභ ගෙන දෙන ජාවාරමක් බවට පත්ව තිබේ. 

එහෙත් ජ්‍යොතිර්වේදීන් කිසි විටෙකත් එම කිරණ හෝ තරංග කුමන වර්ගයේ ඒවා දැයි කියා හෝ ඒවා එසේ ක්‍රියා කරන්නේ කෙසේද කියා හෝ පහදන්නේ නැත. ඔවුන්ගේ වාසනාවට සේවාදායකයින්ගෙන් ඒ ගැන ප්‍රශ්න නැගෙන්නේ ද නැත. මේ නිසා තරංග ගැන සුළු හැඳින්වීමක් කළොත් එය ප්‍රයෝජනවත් විය හැකිය. 

ජ්‍යොතිෂඥයින් මේ කතා කරන්නේ ජල තරංග ගැනවත් ශබ්ද තරංග ගැනවත් නොවේ. ජල තරංග හා ශබ්ද තරංගවලට ඉතා අඩු ප්‍රවේගයක් ඇති අතර බොහෝදුර ගමන් කළ හැකි නොවේ. ග්‍රහලෝක සහ තාරකාවල සිට අප කරා එන්නේත් අපෙන් ඉවත් වෙන්නේත් විද්‍යුත් චුම්බක තරංගයි. සියලූම විද්‍යුත් චුම්බක තරංගවල තරංග අයාමයන් සංඛ්‍යාතයන් ප්‍රවේගයන් සහ ඒවායේ ශක්ති විද්‍යාඥයින් විසින් ගණනය කර ඇති අතර ඒවා සම්බන්ධකර ගණිත සූත්‍ර ද ගොඩ නගා ඇත. ඒ  ඕනම තරංගයක් නිපදවීමටද පුළුවන. 

විද්‍යුත් චුම්බක තරංග සියල්ල පෙළ ගස්වා ගත් කළ ඊට විද්‍යුත් චුම්බක වර්ණාවලිය යයි කියනු ලැබේ. මේ සියල්ලෙහිම ප්‍රවේගය රික්තයක් තුළ දී හෝ වාතයේ දී තත්පරයට කිලෝමීටර් ලක්ෂ තුනක් පමණය. 

විද්‍යුත් චුම්බක වර්ණාවලියේ සුළු කොටසක් අපේ ඇස්වලට සංවේදී වන නිසා ඊට දෘශ්‍ය ආලෝකය යයි කියනු ලැබේ. එකට ඇති විට සුදු ආලෝකය ලෙසින් දැකිය හැකි දම්, ඉන්ඩිගෝ, නිල්, කොළ, කහ, තැඹිලි සහ රතු යන දෘශ්‍ය ආලෝකයට අයත් තරංග ආයාමයන් නැනෝ මීටර් 400 සිට 700 අතර පටු කලාපයක පිහිටයි. 

දෘශ්‍ය ආලෝක තරංග කලාපයට පෙර වර්ණාවලියේ දැකිය හැක්කේ පාරජම්බුල තරංග කලාපයයි. මෙම කලාපය නැනෝ මීටර් 60 - 380 දක්වා කලාපයක විහිදෙයි. අධෝරක්ත තරංග දෘශ්‍ය ආලෝකයේ සිට මිලිමීටර් 1 අතර පරාසයක පිහිටයි. ක්ෂුද්‍ර තරංග හෙවත් මයික්‍රොවේව්ස් ආයාම මිලිමිටර් 1 ක සිට සෙන්ටිමීටර් 30 දක්වා කලාපයක පිහිටන අතර මෙම තරංග මයික්‍රොවේව් උදුන්වලදීත් ජංගම දුරකථන තාක්ෂණයේදීත් රේඩාර්වලදීත් භාවිතයට ගැනේ. ගුවන් විදුලි සහ රූපවාහිනී සඳහා යොදා ගන්නා විද්‍යුත් චුම්බක තරංගවල තරංග ආයාම මීටරයේ සිට කිලෝමීටරය දක්වා ව්‍යාප්ත වේ. 

ඉහත විද්‍යුත් චුම්බක තරංග තාරකාවලින් මෙන්ම තාරකාවක් වන හිරුගෙන් ද ඒවා පරාවර්තනය කරන ග්‍රහලෝකවලින්ද අප කරා පැමිණේ. අපෙන්ද ඒවා වෙත තරංග විකිරණය වේ. ඒ  ඕනෑම තරංගයක් වෙන්වෙන් වශයෙන් හඳුනා ගැනීමටත් නිපදවීමටත් තරම් දැනුමක් නවීන විද්‍යාව සතුව ඇත. 

සෙනසුරුගෙන් හෝ වෙනත් ග්‍රහලෝකවලින් මිනිසාට උපන් වේලාව අනුව අපල කිරීමට හෝ සුබපල ගෙන දීමට සමත් කිරණ කුමන වර්ගයේ තරංගවලින් යුතු දැයි ජ්‍යොතිර්වේදීන් හෙළි කළ යුතුය. එම හෙළි කිරීම ඔවුන්ට කළ නොහැකි දෙයක් නිසා ඒ ගැන වචනයක් හෝ කතා නොකිරීම ඔවුන්ගේ පිළිවෙතයි. 

තරංගවලට ප්‍රවේගයක් ඇති බවත් තරංග ගමන් කිරීමට කාලයක් අවශ්‍ය බවත් ජ්‍යොතිෂය නොදනී. තාරකා රාශිවලින් මිනිසාගේ ජීවිතයේ හැම සිද්ධියකටම බලපෑමක් ඇති බව ඔවුන් කියන්නේ එම නොදැනුම නිසාය. උදාහරණ ලෙස ජ්‍යොතිෂයට අනුව මේෂ රාශිය හිසේ රෝග පාලනය කිරීම ගත හැකිය. 

එහෙත් තාරකාවල සිට අප කරා තරංග පැමිණීමට අවුරුදු පන්සීයේ පමණ සිට අවුරුදු කෝටි ගණන් ප්‍රකෝටි ගණන් කාලය ගතවේ. 

කාලය කොතරම් නපුරුද යත් අප සිටින බවවත් තාරකාවලට සන්නිවේදනය වන විට සියල්ල සිදු වී හමාරය. එවිට අප පමණක් නොව පෘථිවියද මුළු සෞරග්‍රහ මණ්ඩලයමද විනාශ වී බොහෝ කල් වනු ඇත. 

සැම්සන් ගුණතිලක 

Comments