අස්ගිරි මහානාහිමියන්ට විවෘත ලිපියක්

      

    පසුගිය රාජපක්ෂ රජය තම රාජ්‍යත්වයේ තේජස හුදී ජනයාට පෙන්වීමට වසාගෙන සිටි පාරවල් ගමනාගමනයට විවෘත කිරීමෙන් නව රජය ප්‍රධාන නගරවල වාහන තදබදය අඩු කිරීමටද, එනිසා ඞීසල් දුමාරයෙන් සිදුවන පරිසර හානිය අවම කිරීමටද සාධනීය පියවර ගැනීම ප්‍රශංසා කටයුතුය. එහෙත් අප කලක සිට විවෘත කරන්නැයි හඬනැගූ මහනුවර දළදා මාළිගාව අබියසින් දුවන මාර්ගය තවමත් වැසී ඇත. මාධ්‍ය වාර්තා කළේ මල්වතු නාහිමියන් මෙම මාර්ගය විවෘත කිරීමට කැමති වුවත් අස්ගිරි නාහිමියන් විරුද්ධ බවය. කිරිඇල්ල ඇමතිවරයා අස්ගිරි නාහිමියන් බැහැදැක මේ ප්‍රශ්නය මතුකළවිට දළදා මාලිගාවේ ගෞරවයට හානියක් බැවින් තමන් මෙම මාර්ගය විවෘත කිරිමට විරුද්ධ බව පවසනු අපි රූපවාහිනියෙන් දුටුවෙමු.

  අස්ගිරි නාහිමියන්ට අප මේ ටික මතක් කරන්නේ එක්කෝ උන්වහන්සේ නොදන්නා නිසාය. නැතහොත් දැන නොදන්නාසේ සිටින නිසාය. නැතහොත් මහනුවර නගරයේ වාහන තදබදය ඇති අවස්ථාවල වැව රවුම මාර්ගයේ ඇති වාහන තදබදය ඇති අවස්ථාවල වැව රවුම මාර්ගයේ ඇති වාහන තදබදය සහ එහි වාහන ගාටන විට නිකුත්වන අධික ඞීසල් දුමාරය ඔබ වහන්සේ දැක තිබේද?

          මහනුවර නගරයේ වාහන දූෂණයෙන් 60% ක්ම සිදුවන්නේ වැව රවුමේ වාහන ගාටන නිසා බවත් එයට හේතුව මාර්ගය වසා තිබීම නිසා බවත් සුප්‍රකට රසායන විද්‍යා මහැදුරු ඔලිවර් ඉලේපෙරුම ටික කලකට පෙර පැවසු බව ඔබවහන්සේ දන්නේද? ඞීසල් දුම නිසා සල්ෆර් දහනයෙන් නගරය අවට වසන මිනිසුන්ට ශ්වසන ආබාධ සහ පිළිකා හටගන්නා බවත්, අවට විදුහල්වල පාසල් දරුවන් පවා විශාල පිරිසක් ශ්වසන ආබාධවලින් පෙළෙන බවත්, මෙම හානිය මල්වත්ත මහා විහාරයේ වැඩවෙසෙන ස්වාමීන් වහන්සේලාටත් පොදු බවත් ඔබ වහන්සේ දැන ගැනීම යහපත්ය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශාඛාවක් වන පිළිකා පර්යේෂණ සඳහා වූ ජාත්‍යන්තර ඒජන්සිය (IARC) 2012 වසරේ නිවේදනය කළේ ඞීසල් දහන දුමාරය නියත වශයෙන්ම පෙනහළු පිළිකා ඇති කරන බවය.

          දැනට මෙරට අලෙවි වන සාමාන්‍ය ඞීසල්වල සල්ෆර් දහනය UDKH - PPM 2500 ක් පමණවේ.සුපර් ඞීසල්වල පවා මෙම සල්ෆර් සංචිතය PPM - 500 ක් පමණය. (සුපර් ඞීසල් සාපේක්ෂව සල්ෆර් සංචිතය අවමය) වාහන තදබද වෙලාවල වැව රවුමේ ධාවනය වන වාහන අතර සාමාන්‍ය ඞීසල් දහනය වන (ඉතාමත් අහිතකර) බස්රථ, ටිපර් රථ, ලොරි, ට්‍රක් රථ, ඞීසල් ත්‍රීවීලර් රථ ප්‍රධාන තැනක් ගනී.

          අප දන්නා දහමට අනුව නම් සොබාදහම වැනසීමට අනුබලදීම පාපයකි. සොබාදහම රැකීම පිනකි. ඔබ වහන්සේගේ ශාස්තෘවරයා වූ බුදුන් වහන්සේ පරිසරය රැකීම උතුම්කොට සලකා තමා නොව අනෙකා වෙනුවෙන් තම ජීවිතයම කැප කළ උත්තමයෙකි. උන්වහන්සේගේ ශ්‍රාවක නමක් වූ ඔබවහන්සේ සොබදහම වැනසීමට උඩගෙඩි දෙන්නේ කෙලෙසදැයි අපි නොදනිමු. අස්ගිරි නාහිමියනි දළදා මාළිගාවේ පූජනීයත්වය රැකෙනුයේ මාර්ගය විවෘත කර මිනිසුන් නිදහසේ ගමන්බිමන් යන සහ ඞීසල් දහන දුම අවමවී පිළිකා, ශ්වසන ආබාධවලට ලක්වන මිනිසුන් අඩු වූ විටය. මිනිසුන් නිරෝගි වූ විටය. මිනිසුන් මියයන්නට ඉඩදී සොබාදහම වැනසෙන්නට ඉඩදී ඔබ අදහන පින්බිමේ ගරුත්වය රැකගෙන ඇති ඵලය කිමදැයි අපි නම් නොදනිමු. අසරණ රෝගියෙකු හදිසි සැත්කමකට මහනුවර මහ රෝහලට ගෙනඑනවිට වැව රවුමේ වාහන තදබදයට හසුවී මියගිය විට ඔහුගේ පවුල අසරණ වූ විට ඔබ කියන පින්බිමේ ගරුත්වය රැකේවිද? පසුගිය රජය නිකරුණේ පාර වසාගෙන සිටියදී පාරට වැඩම කර හෝ පැර ඇර දෙන්නැ’යි අපි ඔබවහන්සේලාට කීවෙමු. දැන් නව රජය එය විවෘත කරන්නට අර අඳින විට ඔබවහන්සේ ඊනියා පුදබිමේ ගරුත්වය ගැන කියන්නෙහිය. අස්ගිරි නාහිමියනි පාර වසාගෙන සිට පව් පුරවා ගන්නේ නොමැතිව එය විවෘත කිරීමට ඉඩදෙන මෙන් ගෞරවයෙන් ඉල්ලමු. අප දන්නා ලෙසට නම් ‘මිනිසුන් ආගම සෑදුවා මිස ආගම විසින් මිනිසුන් සෑදුවේ නැත.’ ඒ නිසා පූජනීය ස්ථාන පැවතිය යුත්තේ මිනිසාට වැඩ පිණිස මිස අවැඩ පිණිස නම් නොවේ.

අටකලන්පන්නේ කුලරත්න,
අටකලන්පන්න. 

Comments