විදාරණට දෙවසරක් පිරිණි - තෙවන වසරට පාතැබිණි


යථාර්ථය වෙනුවෙන් පෙනී සිටින කිසිදු ප්‍රකාශනයකට නොනැවතී ඉදිරියට යනු පිණිස ලැබෙන සහාය ප්‍රමාණවත් වනු දැකීම උගටය. එවැනි ප්‍රකාශනයන් පවතින්නේ ම ප්‍රතිපත්ති ගරුක ලෙස සිතන මතන - ක්‍රියා කරන පිරිසකගේ සහයෝගයත් සහභාගිත්වයත් ඇත්තේ නම් පමණකි. දුර්ලභ වූ එවන් පිරිසකගේ ශක්තිය, ධෛර්යය, කැපවීම හා අත හිත නොවන්නට විදාරණ ද අකාලයේ මිලින වන්නට ඉඩ තිබිණි. අනාගතයේ වුව එවන් තත්ත්වයක් උදා විය හැකිය. තෙවසරට අප පා තබන්නේ එම යථාර්ථය හිත තබාගෙනය.

විදාරණ අරමුණු කළේ විමර්ශනාත්මක චින්තනය ප්‍රචලිත කිරීමටයි. විමර්ශනාත්මකව සිතන වාට වඩා, කට කතා -  ඕපා දූප - පල් හෑලි ආදිය කෙරෙහි ආසක්තව සිටිමින්, මිනිස් ජීවිත විසින් ලද හැකි අගනාම ධනය වූ බුද්ධිය නොසලකා, යාන්ත්‍රික ලෙස පුරුදු පුහුණු වූවන්ව සිටිමින් මිනිස් ජීවිත වලට ලැබිය හැකි එකම ඵලය ගත සිත පිනවීම බවට පත්ව හා පත් කොට තිබේ.

එබැවින් නිරීක්‍ෂණයෙන්, පරීක්‍ෂණයෙන්, නිගමනයන්ට පැමිණීමේ විද්‍යාත්මක ක්‍රමවේදය නොතකමින් තමන් වෙනුවෙන් සිතීම තවෙකෙකුට පැවරීමේ දීනත්වයකින් කටයුතු කිරීම බහුතර ජනයාගේ පුරුද්ද වී තිබේ.

එම තත්ත්වය වෙනස් කිරීමෙහිලා චින්තකයින්, දාර්ශනිකයින්, විද්‍යාඥයින් ඇතුළු බුද්ධිමතුන් චින්තකයින් මහත් වෙහෙසක් ගත් බව ඉතිහාසය අපට කියාදෙයි. විඤ්ඤාණය වෙනුවට බුද්ධිය ප්‍රමුඛ කාර්ය භාරයන් ඉටු කළේ ඒ අනුවය. ඒත් අවුරුදු දසදහසකටත් වඩා දීර්ඝ ගමනකින් පසුව අද වුවද විඤ්ඤාණවාදය මූලික කරගත් මිනිසුන් බහුතරයක් ලෝකය තුළ ජීවත්ව සිටිති. ඒ අතර, විද්‍යාඥයින්, වෛද්‍යවරුන් පවා සිටින බව ප්‍රකටය. ඊට හේතු සාධක වන කරුණු විදාරණ සඟරාව වරින්වර හෙළිදරව් කරනු ලැබ ඇත.

විමර්ශනාත්මකව සිතන්නට නොහැකි වීම එදිනෙදා ජීවිතයේ දී හැම පුද්ගලයකුටම ඉමහත් වාසි සළසන්නේ වෙයි. විමර්ශනාත්මකව සිතන තැනැත්තා බුද්ධිමතකු වනවාට අතිරේකව උසස් පෞරුෂයකින් හා ආත්ම විශ්වාසයෙන් යුක්ත වූවකුද වෙයි. ඔවුනට ගැටළු ජයග්‍රහණය කිරීම ඉතා පහසුය. එබැවින් ඔවුහූ ප්‍රීතිමත් ජීවිතයක් භුක්ති විදින්නට උරුම ලද්දෝ වෙති. සමස්ත මිනිස් වර්ගයාට ම ඒ තත්වය උදාකරගත නොහැක්කක් නොවේ. ඒ සඳහා කළ යුත්තේ, විමර්ශනාත්මකව සිතන්නට පුරුදු පුහුණු වීම නමැති මංත්‍රය ජප කිරීමයි. ඒත් බොහෝ දෙනා තවමත් විශ්වාසය තබන්නේ ම මුළුමනින්ම අවිද්‍යාත්මක වූ මංත්‍ර ජප කිරීම කෙරෙහිය. ජ්‍යොතිෂ කරුවන්, දෙවිවරුන්, දේවාල, කපුවන්, ආදී මිථ්‍යා විශ්වාස වපුරන්නන් පසු පස හඹා යමින් වටිනා කාලය, ශ්‍රමය හා මිල මුදල් අහිමි කරගනිමින් කිසිදු ප්‍රතිඵලයක් නොලබා සුසුම් හෙලන්නවුන්, නැවත නැවතත් ඒ මත්තේම හැපෙන හැටි මවිතය දනවයි.

එබැවින් අපගේ උත්සාහය එවැන්නන් මිථ්‍යාවෙන් ගලවා ගෙන, විමර්ශන බුද්ධිය වෙත රැගෙන යාමය. එය අතනොහැර ඉටු කිරීමට දැරෙන අප ගේ උත්සාහයට ඔබ ගේ ආධාරය නොකඩවා අවශ්‍යය. එය අත් නොහැරිය හැකි වගකීමක් ලෙස විදාරණ සළකයි.

වසර දෙකක් අපි අත අත නෑර අපගේ උත්සාහය මල් ඵල ගන්වන්නට වෙහෙස වීමු. එහිලා ඔබගෙන් ලැබුණු සහාය අපි මහත් සේ අගය කරමු. අපගේ පාඨකයන් - ලේඛකයන් නොවන්නට අපට මේ ගමන මෙසේ එන්නට ඉඩක් තිබිය නොහැකිය. එබැවින් මේ මොහොතේ ඔබ හැම වෙත අප ගෞරවාචාරය පුද කරන අතර, ඉදිරියට යනු පිණිස අඛණ්ඩව ආධාර උපකාර කරන ලෙස ඉල්ලා සිටිමු. ඔබට විදාරණ වෙනුවෙන් ලබාදිය හැකි වැදගත්ම, ප්‍රමුඛතම උපකාරය වන්නේ හැකි තරම් දායකයින් රැස් කර දීමයි.
මිථ්‍යාවට එරෙහි විදාරණ දිනේවා !

රංජිත් විජේසිංහ,
සංස්කාරක

Comments