ජ්‍යෙතිෂයෙන් විකෘති වූ වසන්ත සැණකෙළිය (සිංහල හින්දු අළුත් අවුරුද්ද)


උත්සව සැණකෙළි පැවැත්වීම ගැන සෑම මනුෂ්‍ය කොට්ඨාශයට පාහේ ඇත්තේ නොමඳ ආශාවකි. මේ රටේ ද සිංහල බෞද්ධ හා හින්දු ආගමික ජනතාව විසින් අප්‍රේල් මස 13-14 හෝ ආසන්න දිනකදී සමරන සිංහල හින්දු අළුත් අවුරුදු මෙම උත්සවය, වර්තමාන භාවිතයේදී අතීත උත්සව සම්ප්‍රදායනට සාපේක්‍ෂකව අතිශය වාණිජ මුහුණුවරකින් අධික වියදම්කාරී ලෙස සැමරීම සිරිතක් වී ඇත.

ලංකාවේ කිනම් කාලවකවානුවකදී මෙය ආරම්භවූවාදැයි නිශ්චිතව පැවසීමට තරම් සාක්‍ෂි ඉතිහාසය තුළින් හමු නොවේ. එක් පැහැදිලි සඳහනක් ඇත්තේ, ක්‍රි.ව. 1660 දී පමණ ලංකාවේ කන්ද උඩරට දෙවන රාජසිංහ රජුගේ සිරකරුවකු වශයෙන් පුරා අවුරුදු 19 ක් ලංකාවේ ජීවත් වූ ඉංග්‍රීසි ජාතික රොබට් නොක්ස් ලියූ එදා හෙළදිව යන ග්‍රන්ථයේය. රොබට් නොක්ස්ට අනුව මෙම අළුත් අවුරුදු දිනය යෙදෙන්නේ මාර්තු 26,28 හෝ 29 වැනි දිනකය. රාජකීය උත්සවයක් විලසින් පවත්වනු ලබන මෙම උත්සවයේදී රටේ ප්‍රභූවරුන් හා ජනතාව රජුට තෑගි බෝග පිරි නැමීමක් රජු එදිනේදී අළුත් වස්ත්‍රාභාරණයෙන් සැරසී ජනතාව පිළිගැනීමක් සිදුවේ. රටේ සෙසු ප්‍රදේශවල මෙම උත්සවය කෙසේ සැමරුනා ද යන්න සඳහනක් නොමැත. මෙහිදී විශේෂයෙන්ම සඳහන් කර ඇත්තේ එම කාලයේදී, අද දක්නා ආකාරයේ ජ්‍යොතිෂයට අනුව සූර්යයා, හා රාශි යොදා ගනිමින් කෙරෙන නැකැත් කරුවන්ගේ භූමිකාවත් දක්නට නොලැබුණු බවයි.

පුරාණ හින්දු දේව කථා සාහිත්‍යයේ සුදු පැහැති අසුන් යෙදූ අශ්ව කරත්තයකින් පෘථිවියට සම්ප්‍රාප්ත වන සාමයේ කුමරා හෙවත් ඉන්දා (indra) දේවයා පෘථිවියට අවුරුද්ද උදා කරවයි. ආගමික උත්සව සහ ඊට අදාළ පූජා විධි වලදී බෞද්ධ හා හින්දු සම්ප්‍රදායන් අතර ඉතා සමීප සබඳතාවයක් පවතින අතර, ඒ සියල්ල උත්තර භාරතිය ආගමික සම්ප්‍රදායයන් වෙතින් බීඳී ආවා විය හැකිය. මේ අනුව හින්දු සම්ප්‍රදායේ එන ඉන්දා දේවත් සිංහල බෞද්ධයන්ගේ අවුරුදු කුමාරයාත් එකම ආගමික විශ්වාසයක ස්වරූප දෙකක් වැන්න. කෙසේ වෙතත් මෙම උත්සවය හැඳින්වීමට යොදා ඇති නම් වලද කිසිම ඒකාබද්ධතාවයකට එළඹෙන පොදු නමක් යෙදී නැත. සිංහල හින්දු අළුත් අවුරුද්ද යනුවෙන් හැඳින් වුවද සියළුම සිංහලයෝ මෙම අවුරුද්ද සමරන්නෝ නොවෙති.

සිංහල ක්‍රිස්ත්‍රියානි භක්තිකයෝ මෙම අවුරුද්ද තමනට අයත් දෙයක් ලෙස සලකති. සමහර මාධ්‍ය මෙම උත්සවය හඳුන්වන්නේ සූර්ය මංගල්‍යය වශයෙනි. එය ජ්‍යොතිෂයට උත්සවය ගැට ගැසීමට දරණ තවත් ප්‍රයත්නයක් ලෙස පෙනේ.
වසන්ත සැණකෙළිය
මෑත අතීතයේ අළුත් අවුරුදු උත්සවය සැමරූ ආකාරය අනුව මෙය වසන්ත සැණකෙළියක් සේ හැඳින්විය හැකිය. පැරණි ශ්‍රී ලාංකික කෘෂක සමාජයේ වී ගොවිතැනත් එයට අනුශාංගිකව පැන නැගුණ පුළුල් චාරිත්‍ර වාරිත්‍ර හා සංස්කෘතික සම්ප්‍රදායනුත් එම ජන කොටස් වල ජීවිතය හා අවියෝජනීය ආකාරයෙන් සම්බන්ධ වී පැවතින. ඒ අනව මහ කන්නයේ වී අස් වැන්න නෙළා ගෙට ගත් පසු ලබන ඉස්පාසුව ගොවි ජීවිතයේ විනෝදය ලැබීම සඳහා මහ`ගු අවස්ථාවක් උදා කළේය. මිනිසුනට විනෝදාශ්වාදය ලබා ගැනීමට අවශ්‍ය ප්‍රමාණයටත් වඩා අවස්ථා හා නිමිති බහුලව ඇති වර්තමානයට වඩා එදා මෙම වසන්ත උදාව විශේෂ වැදගත්කමක් දැරුවා විය හැකිය. මෙය ශ්‍රී ලංකාවට පමණක් සීමා වූ සැණකෙළි විශේෂයක් නොවේ. මෙබඳු වසන්ත උත්සව දකුණු ආසියානු කලාපයේ වෙනත් රටවල් කිහිපයකම අත්‍යාලංකාරයෙන් සමරනු ලැබේ. කාම්බෝජය, තායිලන්තය, බුරුමය, සහ ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තය ඇතුළු තවත් ප්‍රාන්ත කිහිපයක් නිදසුන් වශයෙන් දැක්විය හැකිය. එම රට වලද උත්සව සමය ලෙස ශ්‍රී ලංකාවේ මෙන් අප්‍රේල් 12, 13, 14 යන දින යොදා ගැනේ.

ජ්‍යොතිෂයට යට කළ ශ්‍රී ලංකාවේ වසන්ත සැණකෙළිය


සිංහල සහ හින්දු අවුරුදු උත්සවය පොදු ජාතික වැදගත්කමකින් යුත් වසන්ත සැණකෙළියක් බවට පත්වීමට ඉඩ නොහැර, ජ්‍යොතිෂකරුවන්ගේ ආධිපත්‍යයට යට කොට ගෙන තිබේ. එයට බෞද්ධ හා හින්දු ආගමික නායකයන්ගේද නොමඳ සහය පළ වී ඇත. සූර්යයා, මීන රාශියෙන් මේෂ රාශියට ගමන් කිරීම මෙම උත්සවයේ නිමිත්ත බවට ජ්‍යෙතිෂ නැකැත් කරුවන් විසින් කාලාන්තරයක් තිස්සේ කියන කතන්දරයකි. අවුරුදු උත්සවයේ සියළුම අංග මෙම සූර්යයාගේ ඊනියා රාශි මාරුව මත පදනම් කරගෙන නැකැත් මතම සිදු කෙරේ. ඇත්තෙන්ම මොවුන් පවසන ආකාරයේ සුර්යාගමනයක් සිදු වන්නේද? ජ්‍යොතිෂයේ පදනම දෙදරවූ තාරකා විද්‍යාව අනුව මෙම කතන්දරය අමූලික බොරුවකි. නොයෙකුත් උපාධිනාම පටබැඳගත් මහා ජ්‍යොතිෂවාදීන් නොදන්නවා වුවද පස්වන පන්තියේ ඉගෙනුම ලබන දරුවන් පවා සූර්යයා, රාශි 12 න් කිසිම රාශියක් වටා ගමන් නොකරන බව දනී.

ඇත්තෙන්ම සිදු වන්නේ පෘථිවිය සූර්යයා වටේ ගමන් කිරීම පමණි. අහසේ සංකේතාත්මකව බෙදා ඇති රාශි 12 වටා ගමන් කරන්නේ පෘථිවියයි. එයට එක රාශියක් පසු කිරීමට මාසයක් ගතවේ.

පෘථිවියේ මෙම රාශි මාරුව ජ්‍යොතිෂකරුවන් දකින්නේ සූර්යයාගේ රාශි මාරුවක් වශයෙනි. මෙය මායා දර්හනයක් වේ. ඇත්තෙන්ම සිදුවන්නේ පෘථිවිය සූර්යයා වටා භ්‍රමණය වීමේදී මාස 12 කට වතාවක් කන්‍යා රාශියෙන් තුලා රාශියට මාරුවීමයි. වාහනයක නැගී ගමන් කරන්නකුට දෙපස ඇති ගහ කොළ ආදී වස්තූන් තමායන දිසාවට ප්‍රතිවිරුද්ධ දිසාවට ගමන් කරනවා වැනි මායා දර්ශනයක් මැවී පෙනේ. මෙම මායාව අවුරුද්දට ගලපන නැකැත් කරුවෝ තමන්ද රැවටී සෙසු ලෝකයාද රවට්ටති.

මෙහිදී අවධාරණය කළයුතු අවාසනාවන්ත දෙය නම් සූර්යයා රාශි මාරුවක් කරන්නේය යන මිථ්‍යාව මත යැපෙමින් අවුරුදු උත්සවයේ පදනම එය බවට කෙරෙන සඳහන නිසා මෙම වැදගත් සැණකෙළිය ජාතික උත්සවයක් බවට පරිවර්තනය වීම ඇණ හිටුවා ඇති බවයි. සිංහල බෞද්ධයන් හා හින්දුන් හැර, ජ්‍යොතිෂය පිළි නොගන්නා මේ රටේ වසන ක්‍රිස්තියානි හා ඉස්ලාම් භක්තිකයන් විසින් තම ඇදහිලි වලට ප්‍රතිවිරුද්ධ පදනමක පිහිටුවා ඇති උත්සවයක් පිටස්තර දෙයක් ලෙස සැලකීම පුදුමයට කාරණාවක් නොවේ.

ජාතික සමගිය හා ජාතික සංහිඳියාව වෙත කවරදාකටවත් කථාවක් වඩා රටට අත්‍යාවශ්‍ය යුගයක මිථ්‍යා ඇදහීමක් හේතුවෙන් එම අවශ්‍යතාවය ඉටු කර ගැනීමට ජාතික උත්සවයකින් ලැබිය හැකිව තිබූ පිටිවහල ආපස්සට හරවා තිබේ. වෙනත් අන්දමකට පවසතොත් පොදු ශ්‍රී ලාකීය ජාතියක් ගොඩනැංවීමට යොදා ගත හැකිව තිබූ සංස්කෘතික සාධකයක්, ඊනියා ජ්‍යොතිෂයක එල්බ ගැනීම තුළින් මොට කර දමා තිබීම ඛේදජනකය.

එස්. රණතුංග,
සභාපති,
ශ්‍රී ලංකා හේතුවාදී සංගමය,
කොළඹ.

Comments