
අහස් ගෝලයේ තාරකා පොකුරු හෙවත් රාශි 88ක් නම්කර තිබේ. ඒවායින් ජ්‍යොතිෂය විසින් සලකා බැලෙන්නේ හිරුගේ දෘශ්‍ය ගමන් මාර්ගයට පසුබිමන් පිහිටා ඇති තාරකා රාශි 12 ක් පමණි. අනෙක් තාරකා රාශිවලට මිනිසුන්ගේ දෛවය සම්බන්ධ උනන්දුවක් හෝ තැකීමක් නැත්තේ කුමක් නිසාදැයි ජ්‍යොතිෂය මගින් පැහැදිලි කෙරෙන්නේ නැත. අහස් ගෝලය ඉහත රාශි 12 අතර සමානව බෙදීමෙන් එක් රාශියකට අංශක 30ක් වෙන්කර ඇතත් රාශිය නම් කිරීමට පාවිච්චි කළ අදාළ තරු පොකුර රාශිය තුළ මධ්‍යගතව පිහිටා නැත. ආදි කාලයේ මෙම රාශි දොළහ නම්කර ඇත්තේ ඒවායේ පිහිටි ප්‍රධාන තාරකා සිතින් යාකිරීමෙන් යම්කිසි හුරුපුරුදු රූපයක් සාදා ගැනීමෙනි. උදාහරණයක් ලෙස තරාදි හැඩයක් සිතාගෙන ඇති තුලා රාශිය ගතහැක. මෙම හැඩය සිතින් මවාගෙන ඇත්තේ අදාළ තාරකා ද්විමාන ලෙස එකම තලයක පිහිටා ඇතැයි වැරදි ලෙස සිතමිනි. ඒවා ත්‍රිමාන ලෙස එකිනෙකට බොහෝ දුරස්ව පිහිටා ඇති බවත් ඒ ඒ රාශිවලට ලබා දී ඇති රූප සැබවින්ම නැති බවත් තවත් උදාහරණයකින් දැක්විය හැකිය.
ඒ අනුව තුලා රාශියේ පිහිටි ප්‍රධාන තාරකා අතර ආලෝක වර්ෂ 300ක දුරකින් පිහිටි අල්ෆා ලිබ්රායේ තරුවත් ආලෝක වර්ෂ 300 ක දුරකින් පිහිටි ඩෙල්ටා ලිබ්රායේ තරුවත් ආලෝක වර්ෂ 185 ක දුරකින් පිහිටි බීටා ලිබ්රායේ තරුවත් ආලෝක වර්ෂ 152 ක දුරකින් පිහිටි ගැමා ලිබ්රායේ තරුවත් ගතහැකිය. ආලෝක වර්ෂයක් යනු තත්පරයට කිලෝමීටර් තුන්ලක්ෂයක වේගයෙන් වසරක් පුරා ගෙවීයන දුරයි. ඒ අනුව ඉහත තාරකා අපට සිතා ගැනීමටවත් නොහැකි තරමේ එකිනෙක අතර විශාල දුරකින් පිහිටා ඇතිබව පෙනේ.
මේ නිසා එම තරු පොකුරට තරාදි හැඩයක් සැබවින්ම නැති අතර ජ්‍යෙතිෂඥයින් සිතන පරිදි එයට සාමුහික බලපෑමක් කිරීමේ හෝ සාධාරණ විනිශ්චයන් ලබා දීමේ හැකියාවක්ද නැත. අනෙක් රාශි ගැනද කිවහැක්කේ එයමය.
තවද රාශියක් ලෙස පියවි ඇසින් බැලීමේදී තරු කිහිපයක් පමණක් පෙනෙන නමුත් දුරදක්නයක ආධාරයෙන් බැලූවිට තරු දහස් ගණනකි. තවත් සියුම් උපකරණයක් තුළින් බැලූවොත් තරු බිලියනයකටත් වැඩියෙන් එක රාශියක් තුළ දැකිය හැකිවනු ඇත. ඒවායින් තෝරාගත් ඒවා යාකොට තම සිතැ`ගි පරිදි කැමති රූපයක් සාදාගත හැකිය. ඒ අනුව මීන රාශියට පහසුවෙන්ම පක්ෂියෙකුගේ හැඩයක් ලබාදිය හැකිව තිබුණි. එසේ වූවානම් එය පක්ෂි රාශිය ලෙස නම් කෙරෙන අතර ජ්‍යොතිර්වේදින් එයට ජලය නොව වාතය සහ නිදහස පිළිබඳ ගතිගුණ ආරෝපණය කරනු නොඅනුමානය. ඒවිට මීන රාශියේදී ජලගැලීම් වෙනුවට පක්ෂි රාශියේදී චණ්ඩමාරුත ගැන අනාවැකි ඔවුන්ගෙන් කියවෙන්නට ඉඩ තිබුණි.
ජ්‍යොතීර්වේදීන් ග්‍රහමාරු ගැන කියමින් ජනතාව බියගන්වන අයුරු ජනමාධ්‍ය තුළ විටින් විට දැකිය හැකිය. ඇත්තටම ග්‍රහමාරුව යනු කුමක්ද? උදාහරණයක් ලෙස සෙනසුරු මාරුව සලකා බලමු. සෙනසුරු හිරුවටා පරිභ්‍රමණය වීමට දළ වශයෙන් අවුරුදු 30 ක් පමණ ගතවේ. මෙම එක වටයක් යාමට අහස් ගෝලයේ 360ං ක් පසුකළ යුතුය. ජ්‍යොතිෂයේ සම්මතයක් ලෙස අහස 30ං රාශි 12 කට බෙදා ඇති හෙයින් සෙනසුරුද සෑම රාශියක් තුළම අවුරුදු දෙකහමාරක් පමණ ගතකරමින්ද, වෙනත් ග්‍රහලෝකමෙන් අංශක 30 න් 30 ට රාශි මාරුකරමින්ද, පෘථිවියේ මිනිසුන් ගැන තැකීමක් නොකොට තමන්ගේ පාඩුවේ හිරු වටායන සිය ගමන යයි. ජ්‍යොතිෂයට අනුව 2011 නොවැම්බර් 15 දිනද සෙසුරුගේ රාශි මාරුවීමක් සිදු විය. ඒ කන්‍යා රාශියෙන් තුලා රාශියටය. එය කිසිසේත් බියට පත්වියයුතු දෙයක් නොවේ. අහස් ගෝලය 30ං කොටස්වලට බෙදා දැක්වීම ජ්‍යොතිෂයේ සම්මතයක් පමණි. ඕනෑනම් එය 10ං න් 10ං ට හෝ අංශකයෙන් අංශකයට බෙදා දැක්විය හැකිය.
රාශි වෙන් කිරීමේ සම්මතය 60ං වූවාවම් සෙනසුරු එක් රාශියක අවුරුදු පහක් පමණ සිටිනු ඇත. රාශි වෙන් කිරීම 10ං න් 10ං ට වූවානම් සෙනසුරු එක් රාශියක ගතකරන්නේ මාස දහයකි. 1ං බැගින් වෙන්කළා නම් සෙනසුරුගේ රාශි මාරුව මසකට වරකි. එසේ මාසිකව රාශි මාරුව සිදුවූවානම් සෙනසුරු පිළිබඳ බිය පහවගොස් ජ්‍යොතිර්වේදීන්ගේ රැකියාවටද බලපෑමක් වනු ඇත.
පෘථිවිය එක් රාශියක මසක පමණ කාලයක් ගතකරයි. පෘථිවිය සූර්යයා වටා එක පරිභ්‍රමණයක් සිදුකිරීමට මාස 12 ක් ගතවන බැවින් එක රාශියක් පසු කිරීමට මසක පමණ කාලයක් ගනී. පෘථිවියේ රාශි මාරුව අපට පෙනේනනේ සුර්යයාගේ රාශි මාරුවක් ලෙසිනි. අප වාහනයක ගමන්කරද්දීත් අප නිශ්චලව සිට දෙපස වස්තු ආපස්සට ගමන් කරනවා මෙන් පෙනෙන්නාක් මෙනි. ජ්‍යොතිෂය එදත් අදත් එම මායා දැලේ පැටලී සිටී.
සිංහල අවුරුදු නැකතට සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට ගමන් කරන්නේ නැත. ජ්‍යොතිර්වේදීහු තමනුත් රැවටී ජනතාවද රවටති. සූර්යයා ගමන් කරනවා මෙන් පෙනෙන්නේ මායාකාරී දසුනකි. හිරු, ග්‍රහයන් මෙන් රාශි මාරු කරන්නේ නැත. පෙනෙන දෙය මායාවකි. ඇත්තටම සිදුවන්නේ පෘථිවිය සූර්යයා වටා කෙරෙන පරිභ්‍රමණයේදී කන්‍යා රාශියෙන් තුලා රාශියට මාරුවීමයි. එය පෘථිවියේ සිටින අපට පෙනෙන්නේ අපට විරුද්ධ දෙසින් සූර්යයාට පසුබිමින් පිහිටි මීන රාශියෙන් මේෂ රාශියට සූර්යයා ගමන් කරන ආකාරයයි. පහත දැක්වෙන රූප සටහන අධ්‍යයනය කිරීමෙන් එය පැහැදිලි වනවා ඇත.
පෘථිවිය කන්‍යා රාශියෙන් තුලා රාශියට මාරුවීමේදී අපට පෙනෙන්නේ සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට මාරුවන සෙයකි.
වෙනත් ග්‍රහලෝක සූර්යයා වටා කෙරෙන පරිභ්‍රමණය නිසා සිදුවන රාශි මාරුව අප පෘථිවියේ සිට දකින්නේ පෘථිවියේ චලනයන්ට සාපේක්ෂවය. ග්‍රහයන් ආපසු ගමන්කිරීම හෝ වක්‍රවීම් ගැන ජ්‍යොතිර්වේදීන් කතා කරන්නේ එහෙයිනි. එයද මායාවකි.
සෙනසුරු වටා පිහිටි කක්ෂයක පැයකට එක වටයක් ගමන් කරන අභ්‍යවකාශ ගාමියෙකුට පෙනෙන්නේ සෙනසුරු පැයක් තුළ රාශි 12 ම පසුකරන සෙයකි. ගගනගාමියා ග්‍රහතාරකා සරණ යන කෙනෙකු වූයේ නම් කොයි තරම් බියට පත්වනු ඇත්ද? ආරක්ෂාවට නූලක් බැඳගැනීමටවත් කාලයක් නැත.
ජ්‍යොතිෂයේ රාශි නම්කර ඇත්තේ පියවි ඇසින් දැකිය හැකි ඒ ඒ තරු පොකුරුවල හැඩයන් සැලකිල්ලට ගනිමිනි. ඒ ඒ රාශිවලට අයත් තරුපන්ති සහ ඒවායේ හැඩයන් ප්‍රමාණයෙන් එකිනෙකට වෙනස්ය. කන්‍යා රාශිය වඩාත් විශාලය. මේ නිසා රාශි 12 ට 30ං බැගින් ජ්‍යාමිතිකව අහසේ ඉඩ වෙන්කිරීම කළ නොහැකි දෙයකි. නමුත් ජ්‍යොතිෂය විසින් එසේ කිරීම නිසා ඔවුන්ම විශාල අර්බුදයකට තල්ලූවී ඇත.
එම අර්බුදය කැපී පෙනුන අවස්ථාවක් ලෙස පසුගිය 2011 නොවැම්බර් 15 දින ජ්‍යොතිෂයට අනුව සිදුවූ සෙනසුරු මාරුව සැලකිය හැකිය. එදින සෙනසුරු කන්‍යා රාශියේ සිට තුලා රාශියට මාරුවන බව පැවසූ ජ්‍යොතිර්වේදීහු ප්‍රවේශම් වන ලෙස ජනතාවට අනතුරු ඇ`ගවූහ. ඒ අනුව රටපුරා බෝධිපූජා පැවැත්වුන අතර සමහර සේවකයන් නිවාඩු දමා ගෙදරට වී දුරකථනයද ක්‍රියාවිරහිත කරදමා ‘ආරක්ෂා සහිතව’ සිටිබව වාර්තා විය. එහෙත් ‘තුලා රාශියට මාරුවුණා කියු සෙනසුරු තවමත් කන්‍යා රාශියේ බව තාරකා සිතියම් සහිතව පෙන්වාදෙමින් බි්‍රතාන්‍ය රාජකීය තාරකා විද්‍යා සංගමයේ සාමාජික තාරකා විද්‍යාඥ අනුර සී. පෙරේරා මහතා 2012 පෙබරවාරි 12 දින සති අන්ත පුවත්පතක ලිපියක් පළකළේය. සෙනසුරු පියවි ඇසට දක්නට ලැබෙන අවසාන ග්‍රහලෝකය වන අතර එය කන්‍යා රාශියේ විශාලම තරුව වන ‘ස්පයිකා’ අසල මෙදින රාත්‍රියේද දැකගත හැකිබව ඔහු සිය ලිපියෙන් පෙන්වා දුන්නේය.
Comments
Post a Comment