මරණය ගැන ඇති අසහනකාරී සිතුවිල්ලෙන් මිදෙන්න මගක්

මරණය ගැන ඇති අසහනකාරී සිතුවිල්ලෙන් මිදෙන්න මගක්
මරණය ගැන ඇති අසහනකාරී සිතුවිල්ලෙන් මිදෙන්න මගක්

   

          ඇතැම් විශ්වාස යථාර්ථයක් නැතිනම් සත්‍යයක් නොවූවද එම විශ්වාස තුළ සිටින්නාට ඉන් අත්වන මානසික සහනයක් ද ඇත. අප සතුටින් ජීවත් වීමට කැමැත්තෙමු. ඒ සතුට ලබා ගැනීම පිණිස අප කැමති දේ ළංකර ගැනීමටත් අකමැති දෙයින් ඈත් වීමටත් ජීවිත කාලය පුරා අපි වෙහෙසෙමු. එහෙත් ජීවිතය අවසානයේ එසේ රැස් කර ගත් සියළු දේ අත්හැර දැමීම ට සිදුවේ. එය යථාර්ථය පුරුදු පුහුණු නොකළ මානසිකත්වයකින් යුතු අයෙකුට ඉමහත් බියකරු අසහනකාරී තත්වයක් උදා කරයි. එබඳු අවස්ථාවක මරණින් මතුවටද අපට යා හැකි තවත් තැනක් ඇතැයි යන හැඟීම එකී අසහනකාරී තත්වයෙන් මිදීමට බොහෝ දෙනෙකුට උපකාරී වේ. මරණින් මතු යන තැනකට ගෙන යාමට හැකි දේ රැස් කිරීම පිණිස මරණය වෙත ළඟා වෙමින් සිටින වයසේ උදවිය තමාගේ විශ්වාසයන්ට අනුව නොයෙක් දේ කරති. 

         ජීවිතයේ තරුණ අවධියේ රැස් කළ මුදල් වැඩිම පොලිය ලැබෙන බැංකුවක තැන්පත් කර අනාගතය සරු කර ගැනීමට වැඩිහිටි වියට පැමිණි පුද්ගලයෝ උත්සාහ දරති. ඒ අයුරින්ම මරණින් මතු පැවැත්මක් ගැන සිතන්නෝද තම ආගම් හෝ විශ්වාසයන් ගෙන් හෝ ඉගැන්වෙන පරිදි ඊළඟ ජීවිතයට වැඩිම ප්‍රතිලාභ අත්වේයැයි සිතන දේ සිදුකරමින් මරණය සම්බන්ධයෙන් ඇති අසහනකාරී සිතුවිල්ලෙන් යම් තරමකට හෝ මිදෙන්නට උත්සාහ දරති. 
එමෙන්ම මරණින් මතු පැවැත්මක් ගැන විශ්වාස කිරීම තුළින් තම ඥාති හිත මිතුරන්ගේ මරණයේදී ඇතිවන වියෝ දුක තුනී කර ගැනීමට ද ඉඩක් සැළසේ. දුර බැහැරක නැතිනම් දුර රටක සිටින නෑ හිතමිතුරන්ට ෑප්සකල ත්‍්ංල ඵදබැහ ඨර්ප ආදියෙන් පණිවුඩ, මුදල් ආදිය යවන්නා සේ, මියගොස් තවත් තැනක ඉපදී සිටිනවා යැයි සිතා මිය ගිය තම නෑ හිතමිතුරන්ටද එකී විශ්වාසයන්ට අනුකූලව විවිධ ක්‍රම වේදයන් භාවිත කොට නොයෙක් දේවල් යවා ඔවුන් සිටිනා තැනක සුඛිත මුදිතව සිටීවා යැයි ප්‍රාර්ථනා කරන්නෝ වෙති. ඉන් යම් සැනසුමක් ලද හැකිය. 
මේ අයුරින් ආශාවන්ගෙන් පිරුණු මනසක් ඇති යථාර්ථය නොදකින්නෙකුට මරණින් මතු පැවැත්ම මිථ්‍යාවක් වුවද ලබා දෙන්නේ සහනයකි. ඒ හේතුව නිසාම එම විශ්වාසය බිඳ වැටීම එවැන්නෙකුට අසහනකාරී තත්වයක් ඇති කිරීමට හේතු විය හැක. 

         මරණින් මතු පැවැත්මක් ගැන සිතන්නා තම ජීවිතයේදී තමාගේ වරදක් නොමැතිව තමන්ට විඳීමට සිදුවන දුක් ගැහැට වලදී ඒවා පූර්වභවයකට භාර දී සිත සනසා ගනී. එමෙන්ම තමන් කරන යහපත් දෙයකින් හොඳ ප්‍රතිඵල බලාපොරොත්තු වී එය නොලැබී ගිය විට ඇතිවන අපේක්ෂා භංගත්වය හේතු කොටගෙන ඒ දේ මතු භවයකදී හෝ ලැබෙනු ඇතැයි සිතා සැනසෙයි. තවද තමාට පීඩා කරන්නන් යහතින් ජීවිතය ගත කරනු දකින විට ඇතිවන කෝපය එම පුද්ගලයින්ට මතු ආත්මයකදී හෝ පල දෙනු ඇතැයි සිතා කෝපය තුනීකර ගනී. එසේත් නැතිනම් මේ ජීවිතයේදී තමන්ගෙන් ගිලිහී ගිය පලිගැනීමේ අවස්ථාව ඊළඟ ආත්මයේදී හෝ ඉටු කරගන්නේ යැයි සිතා මානසික ආතතිය අඩු කර ගනී. තමන්ට නොලැබුන සැප සම්පත්, ප්‍රියයන් ආදිය මතු භවයකදී හෝ ලැබෙනු ඇතැයි සිතමින් දුක තුනී කර ගනී. 

         මේ අයුරින් මරණින් මතු කිසියම් හෝ පැවැත්මක් අපට ඇතැයි සිතීම තුළින් එකී විශ්වාසයේ එල්බගෙන සිටින්නෝ විවිධාකාර සහනයන් ලබා ගනිති. 

මරණින් මතු පැවැත්මක් විශ්වාස කිරීම තුළින් අපරාධ ආදියෙන් පුද්ගලයින් වැළකී සිටීමට පෙළඹෙතැයි තර්ක කරන්නෝද වෙති. එය නිවැරදි යැයි කිව නොහැක. එක් අතකින් අපරාධ වලට යොමු වන්නන් සියල්ලන්ම පාහේ මරණින් මතු පැවැත්මක් විශ්වාස කරනු දැකිය හැක. අනිත් අතට එම විශ්වාසය නොමැති අය වැඩි වශයෙන් අපරාධවලට යොමු වීමක්ද පෙන්වා දිය නොහැක. එමෙන්ම අපරාධ අනුපාතය ඉහල අගයක් ගන්නා රටවල ජනතාව දැඩි ලෙස මරණින් මතු පැවැත්මක් ගැන විශ්වාස කරති. අපරාධ අනුපාතය සාපේක්ෂව අඩු අගයක් ගන්නා රටවල මරණින් මතු පැවැත්ම ගැන ජනතාව තුළ විශ්වාසයක් නොපවතී. ස්කැන්ඩිනේවියානු රටවල් එයට නිදසුන් වේ. 
මරණින් මතු කන්‍යාවන් සත් දෙනෙකු ස්වර්ගයේදී තමන්ට ලැබෙනු ඇතැයි යන විශ්වාසයෙන් නිව්යෝක් ලෝක වෙළඳ මධ්‍යස්ථාන ගොඩනැගිල්ලේ ගුවන් යානා ගැටීමට සලස්වා මිනිස් ජීවත තුන් දහසකට අධික ප්‍රමාණයක් විනාශ කල ආගමික අන්තවාදීන් ද මරණින් මතු පැවැත්මක් විශ්වාස කළ අය බවද අප සිහි තබා ගත යුතුය. 

         කුඩා දරුවෙකු කරන අයහපත් දෙයකින් සිදුවිය හැකි අයහපත කාරුණිකව සත්‍ය වටහා දීම මගින් වළක්වා ගත හැක. ඒ සඳහා දරුවන් නිරතුරුව හැඩ ගැස්විය යුතුය. ඒ ක්‍රමය ඉතා සාර්ථකය. එමෙන්ම ස්ථීරය. එසේ නොමැතිව දරුවෙකු වරදින් මුදවා ගැනීම පිණිස බැණවැදී හෝ පහර දී හෝ බොරු කථා කියාදී හෝ බිය ගන්වා හෝ සිදුකළ නොහැකිය. ඒ ඔහුට බිය දැනෙන තෙක් පමණි. රැවටීමට හසුව සිටිනා තෙක් පමණි. එය තාවකාලිකය. අසාර්ථකය. 
එමෙන්ම යථාවබෝධයෙන් යුතු ගුණ ගරුක දියුණු සමාජයකට මරණින් මතු පැවැත්මක් වැනි මිථ්‍යාවකින් ප්‍රයෝජනයක් නොවූවද යථාවබෝධයෙන් තොර මිථ්‍යා විශ්වාසයන්ගෙන් පිරුණු සමාජයකට මෙබඳු මිථ්‍යාවකින් තාවකාලිකව හෝ කිසියම් යහපතක් සිදුවේ යැයි යමෙකුට සිතිය හැක්කේ එබැවිනි. 
මිථ්‍යාවන්ගෙත් සමාජය මුදවා ගත හැකි නම් කොතරම් ගුණ ගරුක සදාචාර සම්පන්න සමාජයක් බිහිවේදැයි යන්න විමසා බැලීම ඔබට හා හැම පුරවැසියෙකුටම බාරය! 

වෛද්‍ය සෙනරත් වේරගම 
මහරෝහල, මාතලේ 
077-3232130  

Comments