මිථ්‍යාවෙන් ගැලවෙන්න - බියෙන් මිදෙන්න.

   
   අප සමාජයේ බොහෝ දෙනෙකු අවවාද අනුශාසනා කිරීමට දක්ෂයෝ වෙති. රුචියක් ද දක්වති. එවැනි ඇතැම් දේශනා අසා සිටීම ප්‍රිය ජනකය. ලිපි ආදිය කියවීමට ද ආශාවක් ඇතිකරයි. තවත් සමහර එබ`දු අනුශාසනා ඇසීම කියැවීම නිදිමත දනවන සුුළුය. මේ දෙපිරිසටම අයත් දේශකයන් ලේඛකයන් අතර පැහැදිලිවම දැකගත හැකි දෙකොටසක් ඇත. ඒ තමන් ලියන කියන අවවාද අනුශාසනා තමාගේ ප්‍රායෝගික ජීවිතයට ද සම්බන්ධ කරගෙන ආදර්ශයක් සපයන පිරිස සහ ඒවාට තමන් කිසිම ආදර්ශයක් නොසපයා සමාජ ව්‍යවහාරයේ එන වැදි බණ කියන සහ ලියන පිරිසයි.
හේතුවාදීන් නිදහස් චින්තකයින් ආදී විවිධ නම් වලින් හ`දුන්වන මිථ්‍යා විශ්වාස වලින් බැහැර වූවන්ද වැදි බණ දෙසන්නන් නොවීමට නම් ඔවුන් තම ප්‍රායෝගික ජීවිතයේදී ද හැකි උපරිමයෙන් තමන් අනුන්ට කියන දේ තමන් ද ක්‍රියාකාරීව පෙන්වා ආදර්ශයක් සැපයිය යුතුය.
ඒ සඳහා තමන්ට පැහැදිලි දැක්මක් තිබිය යුතුය. විමසුම් බුද්ධිය හීන මිථ්‍යාවන්ගේ ඇලී ගැලී ජීවත් වන ඇතැමුන්ගෙන් එන අවලාද හමුවේ උපේක්‍ෂාවෙන් සිටිය හැකි පෞරුෂයක් තිබිය යුතුය. තවද තමන් එසේ සපයන ආදර්ශයෙන් තමාට තාවකාලිකව සමාජයෙන් තමාට තාවකාලිකව සමාජයෙන් යම් අඩුපාඩු සිදුවුවද එම ආදර්ශය තුළින් දීර්ඝ කාලීනව සමාජයට හපතක් සිදුවන බව සිතීමට තරම් පරාර්ථකාමී විය යුතුය.
මගේ පෞද්ගලික අත්දැකීම් ඇසුරෙන් පැවසිය හැක්කේ සමාජයේ මුල් බැස ගත් මිථ්‍යා විශ්වාස නොතකා ඒවාට අනුගත නොවී මගේ වැඩ කටයුතු කිරීමෙන් මට කිසිම පාඩුවක් සිදු වී නැති බවත් විශාල වශයෙන් මගේ කාලය ධනය ශ්‍රමය ඉතිරි වී ඇති බවත්ය.
එක් නිදසුනක් ලෙස මගේ නිවස ඉදිකිරිමේදී ජ්‍යෝතිෂ කරුවන්ගේ හෝ වාස්තු  කරුවන්ගේ හෝ උපදෙස් මම නොගතිමි. ඒ, ඒ දෙකම සියයට සීයක්ම මිථ්‍යාවන් බව හේතු සාධක සහිතව මා දන්නා බැවිනි. ඒ නිසා මොවුනට නිරපරාදේ වැය කරන මුදල මට ඉතිරි විය. තවද මට වඩාත් පහසු කාලගුණයෙන් බාධා ඇති නොවන කාලයක එම වැඩ කටයුතු කරගැනීමට හැකීවීමෙන් කාලය මෙන්ම මුදල් ද වඩාත් ඉතිරි කර ගැනීමට හැකිවිය. මගේ රුචිකත්වය අනුව මගේ ඥාති සිවිල් ඉංජිනේරුවරයෙකුගේ උපදෙස් මත සියල්ල සැලසුම් කෙරිනි. ඒ නිසා සුව පහසුව සවි ශක්තිය මෙන්ම අරපිරිමැසුම් දායක ලෙසත් නිවස ඉදිකර ගැනීමට මට හැකිවිය. මා මුලින් සඳහන් කල ජ්‍යෝතිෂ සහ වාස්තු මිථ්‍යාවෙන් ඒ සඳහා කිසිම බලපෑමක් ඇති නොවීය. වැඩ අවුල් නොවීය.
වැඩට යෙදවූ පෙදරේරු වඩුකාර්මික කම්කරු ආදී සේවකයින් මිථ්‍යා විශ්වාස අනුව සාමාන්‍යයෙන් වැඩ කරන්නෝ වූහ. එහෙත් ඔවුන් කිසිවකුත් මගේ වැඩවලදී පසු බෑමක් පෙන්වූයේ ද නැත. ඇතැම් කටයුතු වලදී වස් දොස් නැකත් ආදිය ගැන මොවුන් තුළ බිය ඇති බව දන්නා නිසාම එබ`දු අවස්ථාවලදී මම අදාළ කටයුතු සඳහා ඉදිරිපත් වූයෙමි. එබ`දු එක් අවස්ථාවක් වූයේ උළුවහු පැනීමයි. එම අවස්ථාවලින් පසු ඔවුන් තුළ පවා මේවා කෙරෙහි තිබූ මිථ්‍යා විශ්වාස අඩපණ වී ගිය බව මම නිරීක්‍ෂණය කළෙමි.
අප රටේ ජ්‍යෝතිෂ්‍යයට අනුව ගෙවල් හදන්නේත් ව්‍යාපෘති ව්‍යාපාර අරඹන්නේත් බෞද්ධ හා හින්දු භක්තිකයන් පමණි. (මේ දෙපිරිස අතරිනුත් බෞද්ධ වශයෙන් හැඳින්වෙන පිරිසෙන් බහුතරයක් මීට අමතරව  ඕනෑම තැනකින් එන  ඕනෑම මිථ්‍යාවක් තම ජීවිතයට සම්බන්ධ කර ගැනීමට සැදී පැහැදි සිටින්නෝය. චින්හුන්ගේ ෆෙංෂුයි එකත්  ඕනෑය. ගොළු බෙලි කට්ටෙන් වාසනාව ගෙනෙන වාලම්පුරියත්  ඕනෑය. යාඥාවත්  ඕනෑය.) එසේ වුවද ඉස්ලාම් සහ කතෝලික ක්‍රිස්තියානි භක්තිකයන්ගෙන් බහුතරයක් ජ්‍යෝතිෂය පසෙකලා තම නිවාස ඉදි කරති. ව්‍යාපෘති ව්‍යාපාර අරඹති. ඔවුන්ගේ නිවාස ගොඩනැගිලි ඉදිකරන, ඔවුන්ගේ ව්‍යාපෘති ව්‍යාපාරවල සේවය කරන බහුතරය අප රටේ සාමාන්‍යයෙන් පවතින මෙම ජ්‍යෝතිෂ මිථ්‍යාව විශ්වාස කරන්නෝය.
ඔවුන්ගේ මිථ්‍යාව බැහැර ලා කටයුතු කිරීම මඟින් පැහැදිලිව පෙන්වා දිය හැක්කේ, එම විශ්වාසවලින් ගැලවුන අයෙකුට මෙබ`දු කටයුතුවල දී කිසිම බියක් ඇති කර නොගත යුතු බවය.
එසේ වුවද එම බිය ඇති හෝ වෙනත් හේතුවක් මත තමන්ගේ ජීවිතයට මෙබ`දු මිථ්‍යාවන් සම්බන්ධ කර ගන්නා හේතුවාදීන් සිටිය හැක. ඒ තුළින් ඔවුන් සමාජයට සපයන්නේ මිථ්‍යාව අගයමින් මිථ්‍යාවට අනුව වැඩ කටයුතු කරන්නන්ට වඩා බෙහෙවින් නරක ආදර්ශයකි. විශේෂයෙන් එබ`දු හේතුවාදීන් සමාජයේ ප්‍රකට විද්වතුන් නම් සමාජයට කරන මෙම හානිය තවත් බරපතල වේ. එබ`දු හේතුවාදීන්ට සමාජයට කළ හැකි මහ`ගු සේවයක් ඇත. ඒ තමන් හේතුවාදීන් යැයි ප්‍රසිද්ධියේ නොපවසා, එබ`දු මිථ්‍යා විශ්වාස ප්‍රසිද්ධියේ විවේචනය නොකර නිහඬව සිටීමෙනි.

වෛද්‍ය සෙනරත් වේරගම
077-3232130
මහරෝහල
මාතලේ

Comments