ශල්‍යකර්මවල දී සහ මරණාසන්න අත්දැකීම්වල දී මිනිස් සිරුරෙන් ආත්මයක් මිදී යනවාද?

වෛද්‍ය සෙනරත් වේරගම 

     මරණින් පසු පැවැත්ම තහවුරු කිරීමට කුඩා දරුවන් තම නොමේරූ මනසින් කරන ප්‍රකාශ පුනරුත්පත්ති කථා වශයෙන් ප්‍රසිද්ධ කිරීමත්, එහි සැබෑ තත්වයත් පසුගිය කලාපයෙන් නිදසුන් සහිතව පෙන්වා දුනිමු. 
මීට අමතරව එබඳු පැවැත්මක් ඇතැයි කීමට දරන තවත් උත්සාහයක් වන්නේ ශල්‍යකර්ම සහ මරණාසන්න අත්දැකීම් ආදියේදී රෝගීන් කරන ප්‍රකාශයි. 

     හදිසි අනතුරු දියේ ගිලීම් වැනි අවස්ථා වලට මුහුණ දී ගැලවුන ඇතැම් අය තමන් තම සිරුරෙන් මිදී පාවෙමින් සිට නැවතත් තම සිරුරට ඇතුළු වූ බව පවසනු ඔබ අසා ඇත. තමන් එසේ පාවෙමින් තම සිරුර දෙස බලා සිටි බවත් රැස්ව සිටි තම ඥාති හිතමිතුරන් තම සිරුර අසල යම් යම් දේ කරනු දුටු බවත් ටික වේලාවකින් තමන් නැවතත් තම සිරුරට ඇදී ආ බවත් මෙම කථාවල පොදු තේමාවයි. 

     අපගේ සිතුවිලි එනම් සංවේදී ඉන්ද්‍රියන්ගෙන් ලබා ගන්නා උත්තේජනය, විශ්ලේෂණය, මතකය හා ඒ ඇසුරෙන් නිගමනයන්ට එළඹීම ආදිය සිදුවන්නේ ඒවාට අදාළ මොළයේ එක් එක් ප්‍රදේශවල ඇති ප්‍රකෝටි සංඛ්‍යාත න්‍යුරෝනවල සිදුවන අති සංකීර්ණ විද්‍යුත් රසායනික ක්‍රියාවලි මගිනි. මෙම ෙසෙලවල නිසි ක්‍රියාකාරීත්වයට ද සිරුරේ අන්  ෙසෙලවල ක්‍රියාකාරීත්වයට මෙන්ම නිසි රුධිර සැපයුමක් අත්‍යාවශ්‍යය. එමගින් එම ෙසෙලවලට අවශ්‍ය ඔක්සිජන් ග්ලූකෝස් වැනි අමුද්‍රව්‍ය මෙන්ම ඒවායින් බැහැර වන අපද්‍රව්‍ය ඉවත් කිරීමද සිදුවේ. මෙම රුධිර සැපයුම අඩාල වූ විට මොළයේ  ෙසෙලවල ක්‍රියාකාරීත්වයද අනිකුත් ෙසෙලවල ක්‍රියාකාරීත්වය මෙන්ම අඩපණ වේ. එය අපට දැනෙන එක් අවස්ථාවක් නම් ක්ලාන්ත වීමයි. එවිට සිදුවන දේ මෙම මරණාසන්න අත්දැකීම්  ලෙස විග්‍රහ කරන අවස්ථාවලදීද මොළයට සිදුවන රුධිර සැපයුම සහ අනෙකුත් හෝමෝනවල සිදුවන මෙනස්කම් ආදියෙන් මොළයේ මෙම සිතුවිලි හා සම්බන්ධ  ෙසෙලවලද නිසි ක්‍රියාකාරීත්වයේ අඩපණ වීමක් සිදුවේ. තදබල ලෙස සිහි මූර්ඡා තත්වයට පත් නොවී ඇතිවට මෙම විපරීත සිතුවිලි නැවත එම පුද්ගලයා යථා තත්වයට පත්වූ පසුද මතකයේ තැන්පත්වී තිබිය හැකිය. මෙවැනි සිතුවිලිවල හට ගැනීම ගැන විද්‍යාත්මක සරල පැහැදිලි කිරීමක් සිදු නොවන තාක් මේවා අසන සාමාන්‍ය පුද්ගලයින් සැබෑවටම යමක් සිරුරෙන් පිටවී ගොස් නැවත සිරුරට ඇතුළුවූවා යැයිද එය ආත්මය හෝ විඥානය යැයි සිතීමටද පෙළඹේ. 

     මොළයේ  ෙසෙලවල මිය යෑමකින් තොරව යථා තත්වයට පත්විය හැකි අයුරින් ඒවාට හානියක් වූ විටද එම  ෙසෙලවල නිසි ක්‍රියාකාරිත්වයට තාවකාලිකව බාධා පැමිණේ. එම කාලය තුළදීද ඉහත දැක්වූ ආකාරයට විපරීත සිතුවිලි ඇතිවේ. 

     ශල්‍යකර්මවලදී රෝගියා නිර්වින්දනය කිරීමට භාවිතා ඇතැම් නිර්වින්දන ඖෂධ මගින්ද මෙම සිතුවිලි වල විපරීත බවක් ඇතිවේ. එය සිතුවිලි යනු විඥානය වැනි අද්භූත යමක් නොව මොළයේ සිදුවන රසායනික ප්‍රතික්‍රියාවන්ගේ ප්‍රතිඵලයක් බව දැක්වීමට හොඳම නිදසුනකි. මක් නිසාද යත් ඖෂධ වර්ගද රසායනික ද්‍රව්‍ය බැවින් ඒවා ප්‍රතික්‍රියා මගින් වෙනස් කරන්නේද තවත් රසායනික ක්‍රියාවක් නිසාය. කෙසේ වෙතත් ඔබ ශල්‍ය වාට්ටුවකට ගොස් ඇත්නම් ඇතැම් රෝගීන් ශල්‍ය කර්මවලින් පසු වාට්ටුවට රැගෙන ආ විගස නොයෙක් විකාර කථා කියනු අසා ඇත. ඇතැම් විට ඔවුහූද වෙනත් ලෝකවල සැරිසරනවා යැයි කියති. තම මිය ගිය ඥාතීන් සමග කථාබහ කරති. නිර්වින්දන ඖෂධවල ක්‍රියාකාරීත්වයද අනිකුත් ඖෂධවල ක්‍රියාකාරීත්වය මෙන්ම යම් කාල සීමාවකින් පසු ක්‍රමයෙන් නතරවන නිසා රෝගියාගේ ඉහත විකාර කථාද ක්‍රමයෙන් නතරවේ. නමුත් මෙම විකෘති වූ සිතුවිලි ගැන මතකයක් ඔහුට ප්‍රකෘති සිහියට පත්වූ පසුද තිබිය හැක. හරියටම අප සිහිනයත් දුටු විට එය සැබෑවක් නුවූවද අපට පසු දින උදේ ඒ ගැන මතකයක් ඇති අයුරිනි. ඒ නිසා මෙබඳු සිතුවිලි ඇසුරින් රෝගියා තමාගේ ශල්‍යකර්මය කෙරෙද්දී ශල්‍යාගාරයේ සිවිලිමේ සිට තමා ඒ දෙස බලා සිටියේ යැයි පවසන්නේ එබැවිනි. තමා ශල්‍යාගාරයට ගිය අයුරු, එහි කාර්ය මණ්ඩලය, උපකරණ ආදිය ගැන ශල්‍ය කර්මය සඳහා නිර්වින්දනය කිරීමට පෙර දකින රෝගියා ඒ මතකයත් නිර්වින්දනයෙන් නැවත පූර්ණ ප්‍රකෘති සිතුවිලි ඇතිවීමට ප්‍රථමයෙන් ඇතිවන ඉහත දැක්වූ තත්වයත් අතරින් ගොඩනැගෙන මතකයත් නිසා මෙබඳු ප්‍රකාශ කළ හැක. 

     මෙය එබඳු තත්වයක් විනා සැබෑ තත්වයක් නොවේ යැයි ඔප්පු කර පෙන්වීමට අවශ්‍ය නම් ශල්‍යකර්මය අතරතුර රෝගියා ඒ වන විටත් නොදුටු උපකරණයක් වැනි යමක් හෝ වෙනත් ඇඳුම් සහිත කාර්ය මණ්ඩලයක් හෝ ශල්‍ය කර්මයට යෙදවුවහොත් කිසිවිටකත් අළුත් ස්වරූපය පාවෙන ආත්මයට හඳුනා ගැනීමට හැකනොවේ. ඒ, එබඳු පාවෙන යමක් නොමැති නිසාය. එනම් එයද මිථ්‍යාවක්ම නිසාය. 
තවද මොළයේ ෙසෙලවල ජෛව රසායනික ක්‍රියාකාරකම් වෙනස් කළ හැකි මත් ද්‍රව්‍ය මගින්ද මෙබඳු “පාවෙන” අවස්ථා ඇතිවේ. එහෙත් මෙම පාවීම ආත්මයට හෝ විඥානයට සම්බන්ධ කිරීමට කවුරුන් හෝ උත්සාහ දරණු ඇසීමට නැත්තේ මත්ද්‍රව්‍ය සමග එය සම්බන්ධ කිරීම මේ සංකල්පයට අවමානයක් ලෙස සලකා විය හැකිය. 

වෛද්‍ය සෙනරත් වේරගම 
මහ රෝහල මාතලේ 
077-3232130   

Comments