පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ දී පසුගිය අප්‍රේල් 4 වෙනි දින මහනුවර හේතුවාදී සංගමය විසින් සංවාදයක් සහ සංදර්ශනයක් පැවැත්වුණි. ඊනියා දේව අනුහසෙන් සිදු කරන්නේ යැයි පවසමින් දේවාල ආශ්‍රිතව සිදු කෙරෙන ගිනි පෑගීම, කටු ගැසීම අතුරන තෙල් තාච්චියට අත දැමීම ගිනි සිසිල දැල්වෙන කපුරු පෙති දිවේ තබා ගැනීම වැනි සංසිද්ධිවල යථාර්ථය පැහැදිලි කරමින් ඒවා නිවැරදි ක්‍රමවේදවලට අනුව කිසිම අනුහසකින් තොරව සිදුකල හැකි බව එහිදී පෙන්වා දෙනු ලැබීය. නැරඹීමට පැමිණි සරසවි සිසු සිසුවියන්ද සහභාගි කරගනිමින් එම සංදර්ශනය සාර්ථකව පැවැත්වූයේ පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ ආදි ශිෂ්‍ය ගම්පල වැවතැන්න විද්‍යාලයේ ආචාර්ය දයා සිසිර ගමගේ මහතා විසිනි.
සංවාදය සහ සංදර්ශනය නිම වූ පසු ඒ ගැන විශේෂ උනන්දුවක් දැක් වූ සිසුන් සමඟ මධ්‍යම රාත්‍රිය පසුවන තෙක් කථා බහ කරමින් රැදී සිටිමට අපි කටයුතු කළෙමු. එසේ සිටිය දී අසළට පැමිණි එක් සිසුවෙක්
සිසුවා :- “අයියේ ඔය ෆෙංෂුයිවල ඇත්තක් තියෙනවා කියනවා නේද?
මම :- “ඔයා මොන Faculty එකේද මල්ලි ?
සිසුවා :-“Engineering ”මම :- මොන Year එකේද?
සිසුවා :-“3rd Year අයියේ”මම :-“මොනවද කරන්නේ?”සිසුවා :-“ Civil ”
මම :- “එහෙනම් මල්ලි ඔයාට Pass out වුනාට පස්සේ ෆෙංෂුයි Course එකකුත් කරන්න වෙයි නේද? job එකකට යන්න කලින්”
මා එසේ පැවසූ නමුත් තමන්ට හෝ තම පවුලේ අයකුට බරපතල අසනීපයක් ඇති වූ විට, තම බිරිඳගේ දරු ප්‍රසූතියට පෙර භාර හාර වෙන ජ්‍යෝතිෂකරුවන් පසුපස යන විශේෂයෙන්ම නවක වෛද්‍යවරුන්ද දැන් දක්නට ලැබෙන නිසා මෙහි එතරම් අරුමයක් නැති බව පසක් කර ගතිිමි.
වර්තමානයේ නව යොවුන් පරපුර අතර මිථ්‍යාව කෙතරම් දුරට ව්‍යාප්ත වෙමින් පවත්නිනේද යන්න ඒ ගැන විමසිල්ලෙන් සොයන්නෙකුට වටහා ගත හැක. මේ සඳහා ඔවුන්ගේ අධ්‍යාපන මට්ටමේ බලපෑමක් ද නැත.
අදට වඩා බෙහෙවින් අර්බුදකාරී විශේෂයෙන් ජීවිතය ගැන පවා අවදානමක් තිබූ යුගයක අපද විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලැබූ අවධියේ සරසවිය තුළ මිථ්‍යාවට මෙබ`දු තැනක් තිබුනේ නැත. මිථ්‍යා විශ්වාසවල එල්බගත් ඒ අනුව තම ජීවිතය ඒවා සම්බන්ධ කරගත් සිසු සිසුවියන් බහුතරයක් එකල නොවීය. ලෝකයේ බහුතරයක් රටවල ජනතාව අතරින් මිථ්‍යා විශ්වාස තුරන් වෙමින් යද්දී අප රටේ ජනතාව විශේෂයෙන්ම තරුණ පරපුර මිථ්‍යාව දෙසට ඇදී යන්නේ ඇයි?
මේ සඳහා බොහෝ හේතු තිබිය හැකි අතර එයට සෘජුවම දායකත්වයක් දෙන්නේ අප රටේ ජනමාධ්‍යවල හැසිරීමයි. මෙහි සත්‍යතාවය වටහා ගැනීමට වර්තමානයේ ඉරිදා පුවත්පත් කීපයක් සහ දැනට දශක දෙකට පමණ පෙර පළවූ ඉරිදා පුවත්පත් කීපයක් සැස`දීම ප්‍රමාණවත්ය. ජ්‍යෝතිෂය, වාස්තු මිථ්‍යාව, දේව හාස්කම්, ප්‍රේතයින්, යකුන්, මළගිය ප්‍රාණ කරුවන්, ගන්දබ්භයින්, ආත්ම, විශ්ව ශක්ති, ආදි නොයෙකුත් මිථ්‍යාවන් පාදක කරගත් විශේෂාංග ලිපි සම්පූර්ණ පුවත් පතේ ඉඩ ප්‍රමාණයෙන් කෙතරම් ප්‍රතිශතයන් දරනවාද යන්න ඔබටද සොයා බැලිය හැක. මෙම මිථ්‍යාවන්, මිථ්‍යාවන් වශයෙන් විග්‍රහ කෙරෙන ලිපි සඳහා අල්ප මාත්‍ර හෝ ඉඩක් වෙන් නොකිරීමටද බොහෝ පුවත් පත් වග බලාගනී. කලාතුරකින් හෝ එබ`දු ලිපියක් පලවූවද, එමඟින් සංවාදයක් ගොඩ නැගුනඳ එයද මිථ්‍යාවට ආවඩන ලිපි කිපයකින් පක්‍ෂග්‍රාහී ලෙස යටපත් කර දැමීම මෙම පුවත්පත්වල ස්වභාවයයි. ඒ මෙම පුවත් පත් සියල්ලම මිථ්‍යාව විකුණා පුවත්පත් අලෙවි කරගන්නා නිසාය. මිථ්‍යාවට පහර ගැසීම මඟින් තම ව්‍යාපාරයට පාඩු සිදු වෙතැයි යන බිය නිසාය.
විද්‍යුත් මාධ්‍යවල විශේෂයෙන්ම රූපවාහිනි නාලිකාවල ස්වභාවයද එසේමය. අප කුඩා කල රූපවාහිනි නාලිකා තිබුනේ අතලොස්සකි. ඒවායේ විකාශය වූ වැඩසටහන් අතර මිථ්‍යාවට උඩගෙඩි දෙන වැඩසටහන් මෙපමණ ප්‍රමාණයක් නොවීය. අද වන විට ජනතාව එනම් තම ප්‍රේක්ෂකයන් මිථ්‍යාවට වැඩි වැඩියෙන් නතු කර ගැනීම සඳහා රූපවාහිනි මිථ්‍යා වැඩසටහන් අතර පවා ඇත්තේ තියුණු තරඟයකි. එමෙන්ම ඉතා සැලසුම් සහගතව සූක්‍ෂම අයුරින් ප්‍රේක්ෂකයන්ගේ ස්වභාවය හ`දුනාගෙන ඔවුන් රවටා ගැනීමට මෙම විද්‍යුත් නාලිකාවල වැඩසටහන් නිෂ්පාදකවරු දක්ෂය. උදය වරුවේ නිවසේ තනිවන ගෘහණියන් බිලි බා ගැනීමට හැකි තරම් කාන්තා ජ්‍යෝතිෂවේදිනියන් ද එම වැඩසටහන් මෙහෙයවීමට නිවේදිකාවන් ද යොදවන්නේ එයට එක් නිදසුනක් ලෙසිනි. ෆෙන්ෂුයිකරුවන්, වාලම්පුරියන්, කොණ්ඩා රැවුල් වවාගත් ස්වාමිලා, තරඟයට බේගල් ඇද බාද්දි වැඩ සටහන් මෙහෙයවන නිවේදක නිවේදිකාවෝ ඌණ පූරණ සපයමින් ඔවුන් තව තවත් වර්ණනා කරමින් ප්‍රේක්ෂකයින් මුලා කිරීමට තම දායකත්වය සපයති.
මිථ්‍යාවට හසුවීමෙන් යමෙකුට සිදුවන බරපතලම ව්‍යසනය විමසුම් බුද්ධිය අඩපණ විමයි. එලෙස විමසුම් බුද්ධිය අඩපණ වූ පුද්ගලයින් සත්‍ය සේ දකින්නේ වැඩිපුර තමාට අසන්නට දකින්නට ලැබෙන දේය. එමෙන්ම එසේ අසන දකින දේ පිළිබඳව විමසීමට බියය. උනන්දුවක්ද නැත.
දුවන්නන් වාලේ දුවන සහ කරන්නන් වාලේ කරන්නෝය. මිථ්‍යාවෙන් සෘජුවම යැපෙන්නන් මෙන්ම කූට ව්‍යාපාරිකයෝ ජනතාවගේ සුභ සිද්ධිය වෙනුවට තමාගේ තම පවුලේ සහ හිතවතුන්ගේ සුභ සිද්ධිය තකන්නෝය. ඒකාධිපති දූෂිත දේශපාලකයන් මෙම රටාවට බෙහෙවින් ප්‍රිය කරති. එබදු පුද්ගලයින්ගේ ග්‍රහණයේ රටක් සමාජයක් පවතී ද එවිට ජනමාධ්‍ය ආයතන මිනිසුන්ට අදහස් ඉදිරිපත් කරන අවස්ථාවලදී මිථ්‍යාව රජ කෙරේ. ඒ එකී පුද්ගලයින්ගේ අනුග්‍රහය මෙන්ම බලපෑම හේතු කොටගෙනය. තවද සමාජයේ බොහෝ දෙනෙකු මිථ්‍යා ලෝලීන් නම් ඉල්ලූම ඇත්තේද මිථ්‍යාවටය. ව්‍යාපාරික අරමුණින් පවත්වාගෙන යන සියළුම ජනමාධ්‍ය මෙම වැඩිපුර ඉල්ලූම ඇති මිථ්‍යාවම සපයන්නේ ව්‍යාපාරයකින් උපරිම ලාභ ලැබීමට වැඩිපුර ඉල්ලූම ඇති දේ සැපයීමේ ව්‍යාපාරික න්‍යායේ පළමු පාඩම අනුගමනය කරමිනි. කෙසේ වෙතත් මේ සියළු ක්‍රියාකාරකම්වල ප්‍රතිඵල අපි අත්විඳිමින් සිටින්නෙමු. මෙම තත්වය තව දුරටත් පැවතුනහොත් යථාර්ථවාදී නිදහස් චින්තනයෙන් බැහැර වුන “මුග්ධ පරපුරක්” අනාගතයේ බිහි වීම වැළැක්විය නොහැකි වනු ඇත. එවැනි තත්වයක් උදාවීම වළකාලීම බුද්ධිමත් රටවැසියන්ගේ යුතුකම වේ.
වෛද්‍ය සෙනරත් වේරගම
මහ රෝහල මාතලේ
077-3232130
Comments
Post a Comment