නේපාලය, ගාධිමායි සහ හිමාල කන්දේ භූතැටි මායිම


          නේපාල් භූමිකම්පාව හා ගාධිමායි නම් සත්ව බිලි පූජාව බොහෝ දෙනා සම්බන්ධ කරගන්නවා. ගාධිමායි නිසා භූ කම්පනය වුනා කියලා බෞද්ධ කර්ම කියවීමෙන් මේක පැහැදිලි කරන්න හදනවා. විශාල විනාශයක් වුනාම ඒක ආගමික ක්‍රමවේදයකින් පැහැදිලි කරන්න හදන එක සුලබ සිද්ධියක්. ඒ මිනිස්සු නරක නිසා,දෙවියන්ගේ කැමැත්ත නිසා, උන්ගේ කරුමේ ආදී ලෙස මිනිස්සු කැෂුවල් තාලෙට ආගම අරගෙන මේවා පැහැදිලි කරන්නේ. එහෙත් ස්වභාවික සංසිද්ධි වලට එහෙම දේවමය හෝ කර්ම බලපෑමක් නැති බවත් ඒවා වෙන්නේ ඒ මිනිසුන්ගේ වරදින් නොවන බවත්, ඒවා ලෝකයේ  සාමාන්‍ය ධර්මතාවක් සේ සිදුවන බවත් අහඹු ලෙස කවුරුන් හෝ ඊට හසු විය හැකි බවත් එක්තරා විද්‍යාත්මක දර්ශනයක් ගෙනාපු ඉපැරණි විද්‍යාඥයෙක් පවසා සිටියා. පාරම්පරිකව එයාට සිද්ධාර්ථ ගෞතම කිව්වට පස්සේ මිනිස්සු ගෞරවණීයව බුදුන්වහන්සේ කියා කිව්වා. බුදු දහමේ එන නියාම ධර්ම පැහැදිලි කිරීම අනුුව මෙය උතු නියාමයක් හෙවත් ස්වාභාවික සංසිද්ධියක් ලෙසයි මට තේරෙන්නේ. බුදු දහම උතු නියාම හා කම්ම නියාම දෙකක් සේ සලකන බව නවය වසරේ බුද්ධාගම පොත ගානට කියවපු අපිත් දන්නවා. ඒත් ඔව්වා බුුදු හාමුදුරුවෝ ම ආපහු කිව්වත් අපේ එව්වෝ පිලිගනී ද?

          අනික තමා ඔය ගාධිමායි නේපාල උත්සවයක් ලෙස සැලකීම වැරදියි. ගාධිමායි කියන්නේ ඉන්දියාව හා නේපාලය අද තියෙන ලෙස වෙන් කර නොතිබුණු කාලේ වර්තමාන නේපාලයේ ඉන්දීය බෝඩර් එක හරියේ ගමක උන්නු රදළයෙක් කල හොරකමක් - සමහරු කියන හැටියට හරක් හොරකමක් - සඳහා දඬුවම් නොලැබුණොත් වාර්ෂිකව සතුන් බිලිදෙනවා කියා ඒ මනුස්සයා ගාධිමායි දෙවඟනට වු පොරොන්දුවක ප්‍රථිඵලයක්. මිනිහා බිලි පූජාව තම හිතවතුන්ටත් විකූණනවා. ඒ අයත් තමන්ගේ හිතේ තියෙන දේවල් කරගන්න සත්තු ගෙනත් බිලිදෙනවා. අර රදළයා මෙතන දේවාලෙකුත් හදනවා. ඒ හරහා මෙතෙක් හොරෙන් කාපු හරක්මස් මිනිහට නීත්‍යානුකූලව නොමිලේ ලැබුනා වෙන්නත් බැරි නැහැ. මොකද හොරුන් හොරෙන් ගන්න දේවල් නීත්‍යානුකූලව ගන්න උන්ටනේ දේවාල අයිතිකාරයෝ කියන්නේ. අදකාලේ ගාධිමායි වල මස් බාරගන්න වෙනම සමාගම් ඉදිරිපත් වෙන්නේ.

          දැන් ඔය බිම්කඩ අයිති වෙන්්නේ ටෙරායි කලාපයට. ටෙරායි කියන්නේ ඔය භූ පැලූම් නිසා ඉන්දීය තැටිය හිමාලයේ යටට රිංගද්දී හැදුනු මුහුදු මට්ටමට ආසන්න පහත් බිම. මෙහි හිමාලයේ වතුරෙන් ගලන ගංඟා හා යමුනා නදී දෙකෙන් සශ්‍රීක වෙන සරු ගොවිබිමක් හැදෙනවා. මේ තමා ඉන්දියාවේ ආර්ය ශිෂ්ටාචාරයේ තොටිල්ල. ටෙරායි කිව්වම උත්තර්කන්ද, උත්තර ප්‍රදේශ් බිහාර් හරහා බංග්ලාදේශය ආසන්නයට එනවා. ටෙරායි වල වැඩි හරිය තියෙන්නේ ඉන්දියවේ. එහෙත් එහි සුළු කොටසක් නේපාලයේ දකූණු දේශ සීමාව දිගේ පටියක් සේ විහිදෙනවා. අන්න ඒ පටියේ තමා ගාධිමායි දේවාලේ තියෙන්නේ. ටෙරායි වල බෝඩර් එකේ දෙපැත්තම ඉන්නේ ඉන්දියානු සම්භවය සහිත මාදේසි (මධ්‍ය දේශි) කියන මිනිස්සු. මේ අය චීන ආර්ය මිශ්‍ර කත්මන්ඩු ප්‍රජාවෙන් සපුරා වෙනස්. ඒ මිනිස්සු බෝඩර් එකවත් හරියට ගණන් ගන්නේ නැහැ. ගාධිමායි උත්සවයට එන්නේ වැඩිපුර ඉන්දියානුවන්. මරන්න සත්තු වැඩියෙන් ගේන්නේ ඉන්දියාවෙන්. නේපාලය කරන එකම බලූ වැඬේ තමන්ගේ වාසියට මේ උත්සවයට ලොකු කොක්කක් දාන්නේ නැති එකයි. එහෙත් එක අතකින් එය රටේ සුලූ ජාතියකගේ ආගමික අනන්‍යතාවය සම්බන්ධ කතාවක් (මම පුද්ගලිකව ඔය “ආගමික අනන්‍යතාවය යොදාගෙන කුප්ප වැඩ කිරීමට” එකඟ නැති වුනත්) 
මුහුදු මට්ටමෙන් මීටර එක්දාස් පන්සීයක් උස කත්මණ්ඩු සහ ඊටත් ඉහළ කඳුවල වසර දහස් ගානක තිබ්බ රාජ්‍ය අනාර්ය එකක්. චීන සම්භවයෙන් එන කිරාට (හෙවත් ආර්ය බසින් යක්ඛ) ප්‍රජාවක් එහි පාලනය ගෙනියන්නේ. ආර්යයින් තමන් නොවන හැමෝටම යක්ඛ කිව්ව බවක් පෙනෙනවා. රාවණාගේ ගෝලයින්ට “අවදි වෙන්න” අවශ්‍ය නැහැ ඒ නිසා. මේ නේපාල යක්ඛ හෙවත් කිරාට ප්‍රජාව පැහැපත් චීන ලකුණු සහිත අයයි. ඒ කත්මන්ඩු හා කඳුකර ජනයා ගාධිමායි එකට කැමති නැහැ. 
දැන් භූ කම්පනයෙන් මැරුණේ කවුද? ගාධිමායි පහත් බිම් වල මිනිස්සුද? නැතිනම් ඊට එරෙහි කඳුකර මිනිස්සුද?

           2009 ගාධිමායි ඝාතන ලෝකයට රිදෙන්න වදිනවා. ඒ නිසා සත්ව හිංසන විරෝධී කණ්ඩායම් ක්‍රියාත්මක වෙලා 2014 උත්සවයට ඉන්දියාවෙන් ගෙනෙන සතුන් බෝඩර් එකෙන් ගේන්න නොදෙන තැනට දෙරටේ බලධාරීන් තල්ලූ කරනවා. ඒ නිසා 2014 ගාධිමායි එකේ මරන්නේ පෙර උත්සව වලින් බාගෙටත් අඩුවෙන්. දැන් මෙන්න ඉන්දියන් කාරයෙක් කියනවා “අන්න දැක්කනේ බිලිපූජාව අඩු කළ නිසා දෙවඟන කෝප වෙලා” කියලා. මිථ්‍යා වීශ්වාස කියන්නේ සුදු හිස් කඩදාසියක දෑස පියාගෙන අඳින බලි කුරුට්ටක්. හැරෙන හැරෙන අතට කරකැවිය හැකියි. 

          කෙසේ වෙතත් මේ තුළින් හෝ ලෝකයා ගාධිමායි ගැන දැනගෙන නේපාල වාසීන්ට එය තහනම් කරන තැනට එන්න කටයුතු සලසන්නේ නම් එය සතුටට කාරණයක්. එහෙත් ගාධිමායි තිබ්බත් නැතත් තාවකාලිකව ඉහළට එසවුණු දිනෙන් දින බරින් වැඩිවන අස්ථාවර හිමාල කඳුවැටියේ ජීවිතවල හෙට දවස එක සේ ම අවිනිශ්චිත වේවි.

සුජීව් කොකාවල

Comments