“ලෞකික තත්වය පිළිබඳ සෑම නොදැනීමක් ම, සෑම අනවබෝධයක් ම අවිද්‍යාවට අයත්ය” (බෞද්ධ දර්ශනය - හේන්පිටගෙදර ඥාණසීහ හිමි)
ඥාණසීහ හිමිගේ අදහසට අනුව “අවිද්‍යාව” යන්න පුළුල් අර්ථයක් ගෙන දේ. ලෞකික තත්වය පිළිබඳ නිවැරදි දැනුමක් නොවීමත්, මිනිසා තුළ ඇති සියලූම වැරදි අවබෝධයනුත් ඊට අයත්ය. ලෝකයේ ආරම්භය, පරිණාමය පැවැත්ම විනාශය පිළිබඳ කරුණු මේ තුළ ගැබ්වේ. එසේම එම තත්වයන් පිළිබඳ ඇති වැරදි අවබෝධයන් ඊට ඇතුළත්ය. මෙවන් තත්ත්වයකදී “මිථ්‍යාව” ඉදිරියටම පැමිණෙයි.
ලෝකය පිළිබඳ නිවැරදි අවබෝධයක් ලැබීම පහසු නැත. බුද්ධකාලීන ඉන්දියාවේ මෙවන් අවබෝධයක් ලබා ගත හැකිවූයේ, ආගමික ශාස්තෘන් දාර්ශනිකයන් වැනි සීමිත කොටසකට පමණක් බව පෙනේ. දැඩි වර්ණාශ්‍රම ක්‍රමය යටතේ පොදු ජනතාවට ඒ සඳහා අවස්ථාව නොලැබුණ අතර ඔවුනට ඒ සඳහා තහංචි පවා පැනවී තිබුණි. බුදුන්වහන්සේ එවන් තහංචි බිඳ දමමින් පොදු ජනතාව අවිද්‍යාවෙන් මුදා ගැනීමට ගත් උත්සහය ප්‍රසංශනීය වේ.
මධ්‍යකාලීන අ`දුරු යුගයෙන් පසු උදා වන ‘පුනරුදය’ තුළ මේ තත්වය ක්‍රමයෙන් වෙනස් වෙයි. ඒ අතිශය දුෂ්කර වූ ක්‍රියාවලියකින් පසුවය. ලෝකය පිළිබඳ යථාර්ථය සෙවීමට උත්සාහගත් බොහෝ විද්වතුන්ට සිදුවූයේ ජීවිතයෙන් වන්දි ගෙවීමටය. නැතහොත් තමා සොයාගත් යථාර්ථය සඟවා තැබීමටය. එහෙත් අවසානයේ සිදුවූයේ කල්පමා වී හෝ ජනතාව යථාර්ථයට පිවිසීමය. ලෝකය ක්‍රමයෙන් මිථ්‍යාවෙන් මිදීමයි. බටහිරින් ඇරඹී මේ බුද්ධි ප්‍රවාහය, බටහිරුන් මගින්ම පෙරදිගට ගලා ආවේය. පෙරදිගදී බුදුන්වහන්සේ වැනි මහා දාර්ශනිකයින් පෙන්වාදීමට උත්සාහගත් යථාර්ථය මේ වන විට මිථ්‍යාමත මගින් යටපත් කර තිබුණි.
බටහිරින් ඇරඹි නව විදු දැනුම ‘මුල් බුදු දහම’ හා බොහෝ දුරට එකඟ විය. පෘථිවිය මුලින් ගිනියම් වී පැවතී, පසුව සිසිල් වී, ඒ මත ජලය හා ජීවය බිහිවූ ආකාරය විද්‍යාවෙන් පැහැදිලි කරන අතර, අග්ගඤ්ඤ සූත්‍රය වැනි බුද්ධ දේශනා ඉතා විමසිල්ලෙන් හදාරන විට ඒ කරුණුම පැහැදිලි වනු ඇත. බුදු දහමේ එන ‘කර්මය’ හා නවීන විද්‍යාවේ ‘ජාන’ අතර මනා සැස`දීමක් ඇත. බුදු දහමට අනුව මනුෂ්‍ය ජීවිතය බොහෝ දුරකට ‘කර්මය’ මගින් හසුරුවනු ලබයි. නවීන විද්‍යාවේදී එම බලපෑම ‘ජාන’ මගින් කරනු ලබයි.
අතීතයට වඩා නූතන මිනිසාට යථාවබෝධය ලැබීමට ඇති අවස්ථා පුළුල්ය. බොහෝ රටවල පවතින ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමය යටතේ, එදා මෙන් සීමා පැනවීමක් නැත. පාසල්වල විෂය මාලා ලෝකය පිළිබඳ පුළුල් දැනුමක් දරුවන්ට ලබා දීමේ අරමුණු ඇතිව සකස් වී ඇත. පොත්පත්, ගුවන් විදුලිය, රූපවාහිනී තුළින් පුළුල්ව ලබා දුන් දැනුම අද අන්තර් ජාලය ඔස්සේ උපරිම තත්වයට පත්ව ඇත.
අද අවිද්‍යාව දුරු කිරීමට නවීන විද්‍යා දැනුම තුළින් ලැබෙන පිටුවහල ඉමහත්ය. එහෙත් ඉතාමත්ම අවාසනාවන්ත තත්වය වන්නේ, අවිද්‍යාව දුරු කිරීමට මහත් සටනක් කළ බුදුන්වහන්සේගේ නිර්මල දහම පදනම් කරගෙන බිහිවූ ලාංකික සමාජය, බටහිර නව විද්‍යා දැනුම උපරිමයෙන් ලබාගෙන තිබුණ ද තවමත් අවිද්‍යාව කරාම ඇදී යාමයි. මේ 21 වන සියවසේ දී පවා, කතරගම දෙවියන් නැවත වඩින තුරු, අපි බලා සිටිමු. බටහිර විද්‍යා දැනුම ලබා විද්වතුන් යයි කියාගන්න අය පවා ගැටළු විසඳා ගැනීමට නාථ දෙවියන් පසු පස යති. ප්‍රතිඵලය වී ඇත්තේ ජාතිය අනාථ කරමින්, ජ්‍යෝතිෂඥයන් කට්ටඩියන් රජවීමකි.
මේ ලිපියේ පරමාර්ථය වන්නේ අවිද්‍යාව හෙවත් නොදැනීම මත මිථ්‍යාව බිහිවී ඇති බව පෙන්වා දීමයි. ලොව බිහිවී ඇති සියළුම පූර්ව දේව සංකල්පයන්ම පාහේ, ස්වභාව ධර්මය හරිහැටි අවබෝධ කර නොගැනීම නිසා ඒ තත්වයන්ට දේවත්වය ආරෝපණය කිරීමක් බව පැහැදිලිය. ඒ අනුව සියළු ස්වාභාවික විපත්, දෙවියන්ට නොසැලකීම හෝ දේවකෝපය හෝ නිසා සිදුවෙතැයි විශ්වාසයක් ගොඩ නැගුනි. සුනාමි, භූමි කම්පා, ගිණික`දු පිපිරීම්, සුළි සුළං ආදී ස්වාභාවික උවදුරුවල සත්‍ය හේතු අද අනාවරණය කරගෙන ඇත.
කැළණිතිස්ස සමයේ සිදු වූ මුහුදු ගොඩ ගැලීම, තත්කාලීනව මහා පරිමාණ භූ කම්පන ඉන්දියානු සාගරයේ හට ගැනීම නිසා සිදුවන්ට ඇත. ආගමික ඇසකින් ඉතිහාසය දෙස බැලූ වංශ කතාකරුවා එය ආගමික සිද්ධියක් හා ගැට ගසයි. ඒ ඔස්සේම විහාර මහා දේවිය වීරවරියක් කර, ඇගේ පුත් දුටුගැමුණු වංශ කතාවේ අසහාය වීරයා කරයි. (විහාර මහා දේවිය කැළණි රාජ්‍යයේ කුමරියක් ද යන්න මත භේදයට ලක් වී ඇත.) බුදුන් මහියංගණයට වැඩියේ යයි කියනු ලබන අවධිය ආශ්‍රිතව මහා සූර්යග්‍රහණයක් ඇති වූ බවට සාධක ඇතැයි පුරාතාරකා විද්‍යාව පිළිබඳ පර්යේෂණ කරන ආචාර්ය කාවන් රත්නතුංග ප්‍රකාශ කරයි. එම සූර්ය ග්‍රහණය පිළිබඳ සත්‍ය බීජය සමාජය තුළ පැවත එන්නට ඇත. වංශ කතාකරු එම සිද්ධිය බුදුන්ගේ ලංකාගමනය සමඟ ගලපයි. බුදුන් ආශ්චර්‍ය්‍යමත් පුද්ගලයකු කරයි. මහා කාරුණික බුදුන් වහන්සේ යකුන් තම ජන්ම භූමියෙන් පන්නා දැමූ බවද කියයි. (බුදුන් වහන්සේ මෙරටට වැඩි බවට මෙතෙක් කිසිදු පුරාවිද්‍යාත්මක සාධකයක් හමු වී නැත.) මේ ආකාරයට ලෝකයේ බොහෝ සාහිත්‍ය ප්‍රබන්ධ කිසියම් සත්‍යබීජයක් වටා ගොතන ලද කතන්දර විය හැක. අදත් සක්‍රීයව පවතින ‘විසුවියස්’ ගිණිකන්ද පිපිරීම වටා රසවත් කෘතියක් නිර්මාණය විය. සාහිත්‍ය රස විඳීම එකකි. එහෙත් ඒවා ඇතැම් විට සත්‍ය බීජයක් වටා ගොතන ලද ඒවා බව අවබෝධ කරගත යුතුය.
වර්තමානයේ බහුලව සිදුවන ස්වාභාවික උපද්‍රවයක් වන්නේ වායුගෝලීය විපර්යාසයන් මත සිදුවන ඒවාය. නිවර්තන කුණාටු (සුළි සුළං) පිළිබඳව ඒවායේ ආරම්භයේ සිටම අද අනාවැකි කිව හැක. හදිසියේ මාළු හෝ ඉබ්බන් අහසින් වැටුනොත් අද අරුමයක් නොවේ. ඒ ‘ටෝනාඩෝ’ වර්ගයේ ක්‍ෂණික වාසුළියක බලපෑමකි. නිවර්තන වායු ගෝලය ආශ්‍රිතව වසර 5-6 කට වරක් ඇති වන දරුණු නියඟය හෝ ගංවතුර දේවකෝපය නිසා නොව නිවර්තන වායුගෝලය ආශ්‍රිතව චක්‍රීයව හටගන්නා
El-NINO හෝ
LA
-NINO ක්‍රියාවලියේ ප්‍රතිඵලයකිි. ලංකාවේ ජනයා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකි උපහාසයට ලක් කරනු බොහෝ විට අප අසා ඇත. නිවර්තන වායුගෝලය පිළිබඳ අනාවැකි කීම සෞම්‍ය කලාපයේදී තරම් පහසු නැත. හේතුව නිවර්තන වායුගෝලීය තත්වයන් ක්‍ෂණිකව වෙනස් විය හැකි බැවිනි. (මේ අවිනිශ්චිතතාවය මත මුල්කාලින දේශගුණ විද්‍යාඥයන් නිවර්තන වාසුළි සඳහා කාන්තා නම් භාවිතා කර ඇත.) මේ තත්වය ගැන අවබෝධයක් ඇති කර ගතහොත් අපගේ කාලගුණ විද්‍යා අනාවැකි ඔය තරම් උපහාසයට ලක් නොවනු ඇත. සුනාමි පිළිබඳ ජපනුන්ට මෙන් අපට ද මනා අවබෝධයක් තිබුණි නම් පසු ගිය සුනාමියේදී ඒ සා විශාල විපතක් සිදු නොවනු ඇත. එවන් විපතකට මුහුණ දිමේදී කළ යුතු වන්නේ වෙරළ දිගට පිළිම ගොඩ නැගීම නොව අනතුරු හැඟවීම් ස්ථාපන පද්ධති සවි කිරීමත්, වෙරළ බඩ ශාක ප්‍රජාව රැක ගැනීමත්ය.
මානවයා බිහි වූ අවධියේ සිටම බිය සැක ඔහුට ආවේණික ලක්ෂණයක් විය. ඔහුගේ මුල් ජානවල ඇති එම ලක්ෂණ අද දක්වා පැමිණීම වැළැක්විය නොහැක. ඒ නිසා වර්තමානයේ වුවද යම් යම් විශේෂිත සිදුවීම් අද්භූත බලවේග නිසා සිදුවන බව සැලකීමට ඇතැම්හු පෙළඹෙති. 1983 ජූලි කලබල සමයේ උඩරට ප්‍රදේශයේ හින්දු කෝවිලක් කඩා රත්රන් ආදිය මංකොල්ල කෑවා යයි කියන එක්තරා පුද්ගලයෙක් පසු කාලයේ දී හින්දු පූජකයෙකු ලෙස සැරසී, නගරයේ ඇවිදිමින්, ද්‍රවිඩ වෙළඳසැල් කරා ද යමින් සිඟමන් යදිනු අපි දුටුවෙමු. බොහෝ දෙනා ප්‍රකාශ කළේ ඔහුට දේව සාපය වැදී ඇති බවයි. නමුත් සත්‍යවශයෙන්ම සිදුවන්නට ඇත්තේ, රටේ පැවති රැල්ලට තමා ද නතු වී සහෝදර ද්‍රවිඩ ජනයාට තමා කළ ද්‍රෝහිකම පසුව අවබෝධ වීමෙන් ඔහු තුළ මානසික පෙරළියක් ඇතිවීම විය හැක.
සබරගමු ප්‍රදේශයේ එක්තරා අවමගුලක දී අකුණු ගැසීමක් සිදු වූ බවත්, එය මරණයට ලක් වූ පුද්ගලයාගේ අවකල්ක්‍රියා ව හේතුවෙන් සිදුවූවක් බවටත් කට කතාවක් පැතිරිනි. ලංකාවේ දේශගුණ රටාව අනුව අන්තර් මෝසම සහ සංවහනය බලපවත්වන සමයේ ක්‍ෂණික ධාරානිපාත වැසි සමඟ අකුණු ඇතිවීම ස්වාභාවිකය. දහවල් පැහැදිලි අහසක් පැවතී, සවස් භාගයේදී, මේ ක්‍රියාවලිය සිදුවේ. අවමංගල්‍ය කටයුත්තක් සිදු කරනු ලබන්නේ ද සවස් භාගයේ දීය. ඉහත දී සිදු වි ඇත්තේ ද එම ස්වාභාවික ක්‍රියාවලිය බව පරීක්ෂාකාරීව විමසූ විට පැහැදිලිය.
ලෞකික තත්වය දැන ගත යුතු තැනැත්තා තම රටේ දේශපාලන-ආර්ථික-සමාජ තත්වයන් ද දැන ගැනීම වර්තමානයේ දී අවශ්‍යම දෙයකි. දැනට අප රටේ පැන නැගී ඇති අර්බුදකාරි තත්වය පිළිබඳ අවබෝධයක් ඇත්තේ ජනතාවගෙන් කී දෙනෙකුට ද? පසුගිය දිනක එක්තරා රූපවාහිනී ආයතනයක් 19 සහ 20 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ගැන අදහස් විමසීය. සාක්‍ෂරතාව ඉහළින්ම වාර්තාවන කොළඹ, ගම්පහ, ගාල්ල දිස්ත්‍රික්කවල සමහරු ඒවා ගැන කිසිවක් නොදන්නා බව කීහ. මෙවන් ජනතාවක් (අවිද්‍යාවේ ගැලී සිටින) සමඟ යහපාලනය ගැන කුමන කතාද? මැග්නා කාර්ටාවට මේ වසරේදී අවු. 800 ක් පිරුණි. අපි තවමත් නීතියේ ආධිපත්‍ය වෙනුවෙන් සටන් කරමින් සිටිමු.
මේ ආකාරයට අවිද්‍යාව හෙවත් අනවබෝධය නිසා මුලාවට පත්වන අවස්ථා පිළිබඳ නිදසුන් අපට නිතර හමුවේ. බුදුන්වහන්සේ එදා දේශනා කළේ අවිද්‍යාව දුරු කළ යුතු බවයි. ඒ එදා බුද්ධකාලීන ඉන්දීය සමාජය වැටී සිටි මුලාවෙන් මිනිසා මුදාගෙන ඔහුට යහපත් ජීවිතයක් ලබා දීම පිණිසය. වර්තමාන සමාජය අද අතිශයින්ම සංකිර්ණ වී ඇත. ඒ අනුව අප දැනගත යුතු දෑ බොහෝය. ඒ වෙනුවෙන් සමාජය සැකසීම නූතන අධ්‍යාපන ප්‍රතිපත්තිවල සහ සමාජ මාධ්‍යවල කාර්යභාරය විය යුතුය. එසේ නොවූවහොත් 21 වන සියවසේ දීත් ජ්‍යොතිෂවේදින් පසුපස යන, දේවාල ගානේ රස්තියාදු වන රාජ්‍ය පාලකයිනුත්, නාථ දෙවියන්ගේ උපදෙස් පතන විද්වතුන් යයි කියා ගන්නා අයත් තව දුරටත් හමුවනු ඇත. අදට අවශ්‍යව ඇත්තේ කතරගම හෝ තිරුපති දේවාලවලට රිංගන අය නොව බටහිර හෝ ජපානය වැනි රටවල තාක්‍ෂණික දේවාලවලට රිංගා දැනුම ලබා ගෙන රට ගොඩනගන පරපුරකි.
කේ.ඒ. කුලතිලක - මහරගම
Comments
Post a Comment