කේ.ආර්.අභයසිංහ
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විද්යාපශ්චාත් උපාධි ආයතනයේ බාහිර කථිකාචාර්ය
හේතුවාදි සංගමයේ කුරුණෑගල ශාඛාව මගින් සංවිධානය කොට 2015-04-04 වැනිදා පවත්වන ලද සාකච්ඡාවක සාරාංශයයි.
ලෝකය අදපවතින තත්වය පිළිබඳ කතිකාවකට පෙර, පෘථිවිය ලෙස හ`දුනන ලෝකය සහිත විශ්වයේ ආරම්භය සහ පැවැත්ම සම්බන්ධව ගොඩ නැගී ඇති මිථ්‍යාවන් සහ සංකල්ප මොනවාදැයි කෙටියෙන් විපරම් කරමු. මිනිස් සම්භවය කවදා ආරම්භ වුවත් මිනිසා නම් වූ සත්වයා ‘හු’ හඬ සමඟ පණිවිඩ හුවමාරුව අරඹා අකුරු, වචන සහ වාක්‍ය දක්වා සන්නිවේදන හැකියාවන් දියුණු කරගැනීමේ ඉතිහාසය ඉතා දිගු කතාවකි. එම දියුණුව සමඟම මොළයේ සහ අවබෝධයේ වර්ධනය සිදු වීම ද කණ්ඩායම් වශයෙන් ගෙවූ වන ජීවිතය අතහැර කණ්ඩායම් ලෙස සමහර විටක ද යුගල වශයෙන් තවත් සමහර විටක ද වසමින් සංස්කෘතිකමය සංවර්ධනයක් හරහාද වසර ලක්ෂ ගණනාවක් සැරිසරා ඇත.
සන්නිවේදන හැකියාවක් දියුණු කාලයකට පත් වූවාට පසු වුවද පාරිසරික විපර්යාස සහ සිදුවීම් පිළිබඳව යථාර්ථය අවබෝධ කරගැනීමට තරම් ආදි මිනිසා දැනුවත් නොවූ හෙයින් ඒ ඒ සිද්ධියට හේතු ලෙස සංකල්ප බිහි වී ජනතාව වෙත සන්නිවේදනය වී ඇත. සංකල්පයක් ප්‍රථමවරට ඉදිරිපත්කළ මිනිසාගේ කණ්ඩායමට එතෙක් ලෝකයේ සහ විශ්වාසයේ සිදුවී ඇති යම්කිසි හෝ විකාශනයක් පිළිබඳව වැටහීමක් නොමැති වූ නිසාම ඒ යථාර්ථය ඔවුනගේ සංකල්ප වලින් වසා දැමිණි.
ස්වාභාවික සංසිද්ධීන් හා සම්බන්ධ කළ සංකල්පවලට පසුබිම් වූයේ අද්භූත බලවේග, දෙවිවරු, යක්ෂයින්, භූතයින්, බ්‍රහ්මයන් හෝ ප්‍රේතයන් වැනි මනඃකල්පිත චරිත සහ ආශ්චර්යමත් බලවේග වූයෙන් කිසිදා කිසිවෙකුට එම චරිත හෝ බලවේග දැකීමට, ඇසීිමට හෝ ස්පර්ශ කිරීමට නම් හැකි නොවේ. මිනිස් පරම්පරාවෙන් පරම්පරාවට ඒ සංකල්ප පිළිබඳ විශ්වාසයන් ළදරුවන්ගේ ඔලූවට රිංගවා ඒ ඒ චරිතවල ලක්ෂණ ද වචන හරහා බාලපරම්පරාවේ මතකයට ඇතුල් කිරීම නිසා, කවදා හෝ යථාර්ථය අවබෝධ කර ගන්නා තෙක් මිනිස් සංස්ථා තුළ එම සංකල්ප ප්‍රචාරණය වන්නේය.
වසර ලක්ෂ ගණනාවක් තුළ එක් වානර විශේෂයක් ක්‍රමයෙන් පරිණාමය වී මිනිසා බවට පරිවර්තනය වූ බව ඔප්පු කිරීමට සාධක කොතෙක් තිබුනත්, විවිධ සංකල්ප වලට හැකි වුවත් අදවන විටත් ඩාවින්ගේ ප්‍රධානත්වයෙන් හෙළි කොට ඇති පරිණාම වාදය පිලිගැනීමට මැලිකමක් දැක්වීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ තරමක් දියුණු මිනිස් සංස්කෘතීන් තුළ බිහිවූ ආගම්, කතෘවරුන්ගේ ඉගැන්වීම් හිස මුදුනින් පිළිගැනීම නිසාය. ලොව ප්‍රසිද්ධ ආගම්වල මුල්ම ශාස්තෘවරු ලෙස සලකනු ලබන සෑම දෙනාට ඒ ඒ වකවානු වල ජීවත් වූ පණ්ඩිතයන් හෝ දාර්ශනිකයන් ලෙස හ`දුනාගනු ලැබූ ගුරුවරුන් විසින් ලබාදුන් අධ්‍යාපනය ඔස්සේ කරුණු අවබෝධ කරගත් මිනිසුන් මිස, විද්‍යාත්මක විමසුමක් හෝ චින්තනයක් හරහා ස්වභාවධර්මය හ`දුනා ගත්තවුන් නොවූහ.
මීට වසර 2600 කට පෙර උපත ලද සිද්ධාර්ථ කුමරා වුවද අවිද්‍යාත්මක සංකල්ප වලින් හිස පුරවාගත් කොණ්ඩඤ්ඤ, භද්දිය,වප්ප,මහානාම සහ අස්සජි වැනි ගුරුවරුන්ගෙන් ලද අධ්‍යාපනය ඔස්සේ කරුණු කාරණා වටහාගෙන තමාගේ චින්තන ශක්තියද එකතු කොට යම් විශ්ලේෂණයක් ඉදිරිපත් කළේය. චතුරාර්ය සත්‍ය අවබෝධ කරගැනීම හරහා තමන් නිවනට ලඟා වූ බව එතුමා ට (ගෞතම බුදුන්) ප්‍රකාශ කරමින් මිනිස් හැදියාව යහපත් සේ පවත්වා ගැනීමට උපකාරවන දර්ශනයක් උන්වහන්සේ ලෝකය හමුවේ තබා ඇත. එය එක්තරා රාමුවක් තුළ පමණක් වලංගු වන එක් දර්ශනයක් පමණක් නිසා වසර 2600ක් ගත වූ අද වන විටත් මුළු ලොව පුරා පිළිපැදිය හැකි දර්ශනයක් බවට විශ්වාසයක් දිනාගෙන නැත. පසුකාලීනව බිහිවූ කතෝලික දහම, ඉස්ලාම් දහම, මාක්ස් වාදය,ලෙනින් වාදය, කැස්ට්‍රෝ වාදය වැනි දර්ශන පවා පිළිගෙන පිළිපදින ජන කණ්ඩායම් බිහි වී ඇත.
කෙසේ වුවත් ආගමික ශාස්තෘවරු බොහෝ පාරිසරක සහ ස්වාභාවික සිදුවීම්වලදී නැගුන ගැටළුවලට පිළිතුරු දිමේදී මුුහුණපෑ අපහසුතාවයන් අකා මකා ගෙන ඇත්තේ එතෙක් පැවති සංකල්පවලට අමතරව තවත් සංකල්ප රැසක් ජන මනසට ඇතුළත් කිරීම මගිනි. සතර අපාය, සදෙව් ලොව, සතරවරම් දෙවිවරු, මහා බ්‍රහ්මයා, දරුවන් බිහිකළ කන්‍යාවියන්, මැටියෙන් සැදු ප්රතිරූප වලට ජීවය දෙන දෙවිවරු 8400 ක් දෙවිවරු, පෙර ආත්මය, පසු ආත්මය පුනරුප්පත්තිය, මරණයෙන් පසු යළි නැගී සිටින චරිත, මරණින් පසු උට්ඨානය වී දෙව්ලොවට යන චරිත, අහසේ පාවු චරිත, එකවර කිහිප තැනක වැජඹිය හැකි චරිත, පොළොව පළාගෙන එන සහ යන චරිත, දේවත්වයට ඉසිලීම, පෘථිවිය කම්පා වීම, ග්‍රහ තරුවල රූප පින්තාරු කිරීම, කථාකරන සත්වයින්, ගස් සහ ගල්වලට අරක්ගත් බලවේග, මිනිස් ගහ කොළ මවන චරිත, රත්වන දේව ආසන, විශ්ව ශක්තිය, මියගිය පසු තවකෙකුට ආවේශ වන චරිත, ආරාධනා කොට ගෙන්විය හැකි මියගිය චරිත ආදී සංකල්ප හරහා ගැටළුවලට අඥාන පිළිතුරු සැපයීමට බොහෝ ආගමික ශාස්තෘවරු පියවර ගෙන ඇත. මෙම සංකල්ප පසු කාලීනව ග්රන්ථාරූඪවී පරපුරෙන් පරපුරට සම්ප්‍රේෂණය වෙමින් පැවතගෙන ආ දිගු ගමන තවත් ඉදිරියට ගලා යාමට නැවතීමක් තැබෙන්නේ මිනිසා තව තවත් බුද්ධිය වඩ යථාර්ථය අවබෝධ කර ගැනීම තුළින් පමණි. අප අවට සිදුවන ස්වාභාවික සංසිද්ධි අවබෝධ කරගැනිම පවා අපහසු වී ඇත්තේ ව්‍යාජ සංකල්පවල බලපෑම් නිසාය.
ස්වභාවධර්මයේ සහ එහි සංසිද්ධිවල යථාර්ථය වටහා ගැනීමට අසීරුවීමට බාධාවන සාධක වලින් මහාබ්‍රහ්ම වාදය වගේම මිනිසා සහ ලෝකය මැවීම පිළිබඳ මැවුම් සංකල්පය ද ප්‍රධාන වනවා විය හැකිය. මහා බ්‍රහ්මයා අප ලෝකය සිය මහපටඇඟිල්ලේ සංතුලනය කරගෙන සිටින අතර ලොව සිදුවන නරක හෝ අයහපත් ක්‍රියාදාමයන් හමුවේ මිහිකත සෙලවීම භූමි කම්පන වැනි දරුණු ආපදාවලට හේතුව ලෙස විශ්වාස කළ ජනතාවක් ද විය.
සිය ස්වරූපය සහිතව මිනිසා මවා, මිනිසාට අවශ්‍ය පරිදි සෙසු සත්වයින්ද, ගහකොළ ද, පරිසරය ද, අහස ද, හිරු ස`දු ආදී ග්‍රහවස්තූන් ද මවා ඇත යන මැවීම් සංකල්පය පිළිගන්නා හෙවත් එය විශ්වාස කරන ජන කොටස් රාශියක් ලෝකයේ විවිධ කොටස්වල ජීවත් වේ. මෙය කොපමණ දරුණු ලෙස යථාර්ථයට පහරක් වී ඇත්ද යන්න ඇමෙරිකාව වැනි දියුණු යයි සැළකෙන රාජ්‍යයක් තුළ පවා ප්‍රාන්ත රැසක පාසැල්වල ඩාවින්ගේ පරිණාමවාදය ඉගැන්වීම තහනම් වීමෙන්ද සූර්යයා වටා අප පෘථිවිය ගමන් කරනවාය යන ගැලීලියෝ මතය ඉතා මෑතක් වනතුරුම කතෝලික සභාවලින් ප්‍රතික්ෂේප වීමෙන්ම පැහැදිලි වේ.
අන්තගාමි ආගමික ඉගැන්වීම නිසා විශ්වය, අප සෞරග්‍රහ මණ්ඩලය , සූර්යයා සහ එහි ගති ලක්ෂණ, සූර්යාලෝකය, වායුගෝලය, පෘථිවියේ විවිධ පෘෂ්ඨවල ලක්ෂණ ආදී දේ පිළිබඳ විද්‍යාත්මක අවබෝධය මොට කිරීමට හේතු වී ඇතිවාට සැක නැත.
මිනිසා කණ්ඩායම් වශයෙන් විවිධ ක්‍රියාවන්හි යෙදුන කාලය තුළ මිහිතලය, අහස, වලාකූළු, ගහකොළ ග්‍රහලෝක සහ තාරකා, ආදිය නිරීක්ෂණය කළ අතර ඒ ඒ දේ පිළිබඳ විවිධ සිතිවිලි පහළ කළා පමණක් නොව, එවන් අදහස් ප්‍රචාරය කළේ ඒ අදහස් සත්‍යයැයි සළකාගෙනය. විශේෂයෙන් මිනිස් සංස්කෘතීන් තරමක් දියුණු වී තිබුණු මීට වසර 10,000 කට පමණ පෙරයුගවල ආරම්භය ලබා කතාබහ ආරම්භය කොට විවිධ කටයුතු (කෘෂිකර්මාන්තය ගමන් බිමන් ගෘහස්ථ ඉදිකිරීම් ආදී) වල නිරත වූ වකවානු වල සීඝ්‍රලෙස සංකල්පමය මත ව්‍යාප්තිය වැඩි විය. පැතලි පෘථිවිතලය වටා සූර්යයා ගමනක යෙදෙනවාය යන සංකල්පයට අමතරව ත්‍රිමාණ විශ්වයේ තාරකා සහ ග්‍රහවස්තු චලනය වන බව නොදැන ඒවා ද්විමාන තලයක පිහිටා ඇත්තේ යයි සිතා තාරකා රටා පිළිබඳ සංකල්ප ද මිනිසා ව්‍යාප්ත කළේය. එම තත්වය ක්‍රමයෙන් වර්ධනය වී සංකල්ප මිලියන ගණනින් ඉතිහාසය පුරවාදමා යථාර්ථය වසා දැමීමේ නරක ප්‍රතිඵල අදත් ජනතාව භූක්ති වි`දිති. පසු කාලීනව රාශි සංඛ්‍යාව වසරේ මාස සංඛ්‍යාව, කිරුම් මිනුම් වල භාවිතා වූ දා සිට භාවිතා වන ඒකකය ඔරලෝසුවේ පැය ගණන ආදි බොහෝ දේවල් දේව විශ්වාසයන් පසුබිම්කොට දොළහකට (12) ලඝු කොට එම අහඹු අගය පසුබිම් කළ කථා ස්වාභාවික සංසිද්ධි වලට සම්බන්ධ කිරීම නිසා යථාර්ථයට තව තවත් පහර වැදිනි. මිනුම් සඳහා එදා යොදා ගත් අඩියක (feet) දුර අ`ගල් 12 ට බෙදීම මෙන්ම දිගු දුර මනින සැතපුම අඩි දොළහේ (12) ගුණකාරයක් (සැතපුම = අඩි 5280 = 12×440) ලෙස තීරණය කිරීමත් දහතුන (නරක) හෝ ආපදාකාරී අංකයක් වන බවට සංකල්පයක් මිනිසා අතර ව්‍යාප්ත වී බොහෝ ස්වාභාවික සංසිද්ධි වල යහපත් හෝ අයහපත් බව තීරණය කිරීමට 13 හා සැස`දීම වැනි සංකල්පද ලොව ව්‍යාප්ත වී ඇත. නමුත් එය යථාර්ථය නම් නොවේ. 13 ත් සාමාන්‍ය අංකයකි.
එදා විශ්ව දැනුම ඉතා දුර්වල අවධියේදී අහඹු ලෙස තීරණය කළ බොහෝ සාධක ස්වාභාවික සංසිද්ධි වලට සම්බන්ධ කිරීම නිසා මිනිසා නොමග ගියා මිස ඉන් යථාර්ථය වටහා ගැනීිමට උපකාරයක් ලැබී නැත. අහඹු ලෙස දින යෙදූ දින කැලැන්ඩර වල ප්‍රථම දිනය මෙන්ම දෘශ්‍ය අහසේ රාශීන් මාරුවන අවස්ථා අති විශේෂ වකවානු ලෙස සැලකීම ද මිනිසා නොමඟ යාමට සාධක වී ඇත.
අප පෘථිවියේ සහ වායුගෝලයේ පමණක් නොව, අප සෞරග්‍රහ මණ්ඩලයේ සහ විශ්වයේ සිදුවන ස්වාභාවික සංසිද්ධි වලට පසුබිම් වන භෞතික සාධක සහ ක්‍රියාවලි වටහා ගෙන අන් අයටත් එය වටහාදීමේ ප්‍රමුඛයන් වූ විද්‍යාඥයන් සහ දාර්ශනිකයන් රැසක් පසුගිය ශතවර්ෂ තුන, හතර තුළ නිර්භීතව ඉදිරිපත් වී ඇත්ත හෙලිදරවු කිරීම නිසා අදවන විට ස්වාභාවික සිදුවීම් බොහොමයකට පසුබිම්වන යථාර්ථය හ`දුනාගැනීිමේ අවබෝධය ලොව සතුය. එම අවබෝධය නොමැති යුගවල හිරු උදාව සහ බැසීම, සඳ නැගීිම සහ බැසීිම, අහසේ විවිධ වර්ණ දිස්වීම සූර්යයා සෙලවෙන්නා සේ දර්ශනය වීම, මහා ආපදා ගෙන එන සුළි සුළං ටෝනේඩෝ සහ අකුණු ඇතිවීම, භූ කම්පනා ඇතිවීම, මුහුදගොඩ ගැලීම (සුනාමි), දේදුන්න දර්ශනය වීම, බහු දේදුනු දර්ශනය වීම, සූර්යයා හෝ චන්ද්‍රයා වටා රශ්මි වළලූ දර්ශනය වීම, සූර්යග්‍රහණ සහ චන්ද්‍රග්‍රහණ දර්ශනය වීම, ගිගිරුම් ශ්‍රවනය වීම, ප්‍රතිමාවලින් විවිධ වර්ණ රටා නිකුත් විම ආදී ස්වාභාවික සිදුවීම් වලට ආශ්චර්යයක් හෝ දේව, යක්ෂ, ප්‍රේත සහ අද්භූතබල සම්බන්ධ බවට විස්තර කළවුන් අතර ඒ ඒ කලට සමාජය විසින් පණ්ඩිතයන් ලෙස පිළිගත් මිනිසුන් පවා සිටීම යථාර්ථය යට යාමට හෝ සැඟවී යාමට හේතු වූ බාධක විය.
විශේෂයෙන් ශ්‍රී ලංකාව වැනි රටක විශ්වවිද්‍යාල අධ්‍යාපනය පවා ලබාගෙන බිහිවූ සමාජයේ උසස් නිලතල වල වැජඹෙන බොහෝ අයගේ විද්‍යා අවබෝධය සහ විද්‍යා චින්තනය පහත් මට්ටම්වල තිබීම නිසා යථාර්ථය යටකොට මිථ්‍යාවන් සහ සංකල්පයන් ඉස්මතු වීමේ ඛේදවාචකයට යටත් වීමට අපට සිදු වී තිබේ.
යථාර්ථය වසා දමා මිථ්‍යාව පෙරටුවට ගෙන ඒම සඳහා එදා සිටම ජනමාධ්‍ය බොහෝමයක් දැනුවත්ව හෝ නොදැනුවත්ව විවිධ වැඩසටහන් ජනතාව වෙත ප්‍රචාරණය කිරීමට ප්‍රධාන හේතුව වන්නේද ජනමාධ්‍යවල මුල්පුටු වල වැජඹෙන අධ්‍යක්ෂකවරු බහුතරයක් විද්‍යා අධ්‍යාපනය ලැබීමට තරම් වාසනාවන්තයින් නොවීමයි. සංකල්පයක් සත්‍යයද, අසත්‍යයද, දූ දරුවන්ගේ අධ්‍යාපනයට බාධාවක් වේවිද, යථාර්ථයෙන් තොරද? යන්න තීරණය කිරීමට තරම් බුද්ධිමය ශක්තියක් නොමැති වුවත් කුමක් හෝ බලයක් මගින් ජනමාධ්‍ය වල ඉහල පුටු වල වැජඹීමට වරම්ලත් නිලධාරීන් සිය මාධ්‍ය හරහා මිථ්‍යාව වපුරාලීිම ඉතා කණගාටුදායකය. දිවයිනේ ජනමාධ්‍ය අතළොස්සක් හැර බහුතරයකම ප්‍රධාන කර්තෘවරුන් පැරණි සංකල්ප වල පිහින පිහිනා ජබුඃගැසීම එක්තරා ලෙසක අධ්‍යාපන අපරාධයක්ද වන්නේය.
විද්‍යාත්මක දැනුම සහ අවබෝධය ඉහළ මට්ටමක තිබෙන මේ වකවානුවේද ස්වාභාවික සංසිද්ධිවලට මිථ්‍යාමත සම්බන්ධ කරන වැඩිහිටියන් පමණක් නොව පාසැල් ගුරුමහත්ම මහත්මීන් පවා දූ දරුවන්ගේ යථා අවබෝධය මොට කිරීමට දායක වන බව වටහාගත යුතුව ඇත.
(ලිපියේ සඳහන් කරුණු පිළිබඳ විවේචන හෝ අදහස් 071-4455774 හෝ 077-7287587 දුරකථන අංක වලට යොමුකරන්න.)
Comments
Post a Comment