බුදුන් උපන් දේශය සසල වන්නේ ඇයි?



“බුදුන් පිරිනිවෙද්දී ඒ පිරිනිවීමත් සමඟම බිය ජනක වූ ලොමු දහ  ගන්වන්නාවූ මහා භූ චලනයක් විය. දෙව්බෙර නාදවිය. හෙවත් අහස් ගෙරවීම් ඇතිවිය.”
(මහා පරිනිර්වාණ සූත්‍රය)
ඒ දේශය බුදුන් දවස ද සසල වන්නට ඇත. ඊට පෙර ද සසල වූවා විය හැක. 1934 වර්ෂයේදී රික්ටර් පරිමාණයේ 8.1 කින් සසල වූ බව වාර්තා විය. 2015 අප්‍රේල් 25 දා රික්ටර් පරිමාණයේ 7.9 ක සසලවීමකට ගොදුරු විය. ඉදිරි සියවස තුළදී අඩුම තරමේ එක වරක් වත්, තවත් එවන් චලනයකට ගොදුරු විය හැක. පෘථිවි ඉතිහාසයේ එක්තරා සන්ධිස්ථානයකින් ඇරඹි මේ ක්‍රියාවලිය මහ පොළොව පවත්නා තුරු චක්‍රීයව නොකඩවා සිදුවනු ඇත.
බුදුන් පිරිනිවීමේදී පමණක් නොව සිදුහත් උපත, බුදුවීම, ප්‍රථම ධර්ම දේශනාව ආදී බුද්ධ චරිතයේ සෑම වැදගත් අවස්ථාවකම මෙවැනි සසල වීම් ගැන බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වේ. දේවදත්ත කතාවේදී පොළොව පැලී ගිය ආකාරය ගැන කියැවේ. මේවා සාහිත්‍යමය සංකල්පය ලෙස බැහැර කළ යුතුද? බොහෝ සාහිත්‍ය කෘතිවලට කිසියම් සත්‍ය බීජයක් පදනම් වී ඇති බව ලෝක සාහිත්‍යයෙන් පැහැදිලි වේ. බුද්ධ චරිතයේ විශේෂිත අවස්ථාවල ආශ්චර්යමත් බව පෙන්වීමට භූමි කම්පා යොදා ගත්තේ එම රචකයන්ට එවැනි අත්දැකීම් ලැබී හෝ ඒවා ගැන අසා හෝ තිබීම නිසා විය යුතුය. ඒ අනුව දැනට වසර 2500 ගණනකට පෙරත් ඒ දේශයේ භූමිකම්පා සිදුවී තිබිය යුතුය. ඒවා නිසි අවස්ථාවන් හා ගැලපීම සාහිත්‍යකරුවන් අතින් සිදුවූයේ ඒවායේ සත්‍ය තත්වය නොදැනීම නිසා විය යුතුය. ඒවා අද්භූත සිද්ධි ලෙසම ඔවුන් තේරුම් ගන්නට ඇත. මෙහි විශේෂත්වය වන්නේ දේවදත්ත කතාවේදී හැර සිදුවූ විනාශයන් ගැන සුළුවෙන් හෝ සඳහන් නොවීමයි. කෙසේ වුවත් බුදුන් උපන් හිමාල අඩවිය එදත් භූමි කම්පා සිදුවන කලාපයක් ලෙස පැවති බව නම් පැහැදිලිය. එම අත්දැකීම් අද අපට දක්නට ලැබෙන්නේ අද්භූත දේට වඩා ජීවිත දේපළ දහස් ගණනක් බිලි ගන්නා ව්‍යසනයන් ලෙසටය.
පසුගිය අප්‍රෙල් 25 දා බුදුන් උපන් නේපාල දේශය රික්ටර් පරිමාණයේ 7.8 ක මහා භූමි කම්පාවකට ගොදුරු විය. අගනුවර වූ කත්මණ්ඩු හා පොකාරා නගර අතර භූමි කම්පාවේ නාභිය පිහිටියේය. එම කම්පනයේ බලපෑම අසල්වැසි ඉන්දියාවටත්, බංග්ලාදේශයටත්, ටිබෙට් දේශයටත් දැණුනි. භූ විද්‍යාඥයන්ගෙන් අදහස අනුව මෙම භූමි කම්පාවෙන් නේපාල සිතියම වෙනස් වී ඇත. කත්මණ්ඩු නුවර මීටර් 3 ක් දකුණට තල්ලූවී ඇත. ලොව උසම ක`දු ශිඛරය වන එවරස්ට් හි උස වෙනස් වී ඇත. ඓතිහාසික ස්මාරක ඇතුලූ බෞද්ධ වෙහෙර විහාර බොහොමයක් විනාශ විය. නිවාස හා ජිවිත දහස් ලක්ෂ ගණනින් විනාශ විය. පසු කම්පන වලින් සිදුවූ බලපෑම නිසා මුල් විනාශය තවත් දරුණු විය. පසු කම්පන 100කටත් අධික ප්‍රමාණයක් සිදුවී ඇත. මහා පරිමාණ පසු කම්පනයක් මැයි 13 දා වාර්තා වූ අතර එහි තරම රික්ටර් මාපකයේ 7 ඉක්මවීය.
බුදුන් උපන් දේශය මෙසේ සසල වන්නේ ඇයි? මෙහි ඉතිහාසය බෞද්ධ සාහිත්‍ය මෙන්ම රසවත්ය.  පෘථිවිය මතුපිට දැනට ඇති මහද්වීප පෘථිවි ඉතිහාසයේ පැරණි අවධියක, එකම මහාද්වීපයක් ලෙස පැවති බව, පුරා දේශගුණ විද්‍යාඥයෙකු වන ඇල්ප්‍රඞ් වේග්නර් 1915 දී පෙන්වා දුන්නේය. ‘පැංජියාව’ ලෙස ඔහු නම් කළ එකී මහාද්වීපය පසුව කැඞී වෙන්වී පාවී ගොස් අද ඇති මහද්වීප නිර්මාණය වූ බව ඔහු පෙන්වා දුන්නේය. විශේෂයෙන්  විරුද්ධ අත්ලාන්තික් වෙරළ දෙපස ඇති භූ විද්‍යාත්මක, ජීව විද්‍යාත්මක හා පාෂාණවල සබඳතා ඔහු තම මතය සනාථ කිරීමට සාධක ලෙස ඉදිරිපත් කළේය. මෙසේ අලූතින් හැඩ ගැසුණ සාගර හා මහාද්වීප වලින් යුතු පෘථිවි පෘෂ්ඨය එකිනෙකින් වෙන්වූ තැටි කිහිපයක් ලෙස පවතින බව පසු කාලීනව “භූ කාරක තැටි සංකල්පය මඟින් භූ විද්‍යාඥයෝ සනාථ කළහ. පෘථිවි අභ්‍යන්තරයේ දැඩි තාපය නිසා ඇතිවන ද්‍රව්‍යමය තත්වය අනුව මෙම තැටි එහා මෙහා පාවෙමින් එකිනෙක හා ගැටෙමින් පවතී. මෙසේ තැටි එකිනෙක හා ගැටෙන කලාප ලෝකයේ භූ කම්පන කලාප වශයෙන් පවතී.
බුදුන් උපන් නේපාලය පිහිටා ඇත්තේ උතුරින් යුරේෂියානු භූ තැටියත්, දකුණේ නිරන්තරයෙන් උතුරට තල්ලූවෙමින් පවතින ඉන්දියානු භූ තැටියත් ගැටෙන කලාපයේය. හිමාලයේ උපතද මේ ගැටීමේ සෘජු ප්‍රතිඵලයකි. අදත් හිමාලය නොකඩවා උස් වෙමින් පවතින්නේ ඒ ගැටීම නිසාය. මෙසේ නිර්මාණය වූ හිමාලයානු නැමි ක`දු පද්ධතිය නිතර වෙනස්වීම් වලට ලක්වන නිසා පෘථිවි පෘෂ්ඨයේ අස්ථාවර භූමි ස්කන්ධ ලෙස සැලකේ. එම නිසා කැඞීම් බි`දීම් වලට නිතර ලක්විය හැක. (ලංකාවේ මධ්‍ය ක`දුකරයද මේ තත්වයට තරමක් සමාන ලක්ෂණ පෙන්වයි.)
භූ තැටි ගැටීමේදී සුළු පරිමාණ භූමි කම්පන නිතර ඇති විය හැකි වුවත්, මහා පරිමාණ විනාශකාරි භූ කම්පාවන් ඇතිවන්නේ වසර 60-80 පමණ කාල පරාසයකින් බව භූ විද්‍යාඥයන් දැන් සොයාගෙන ඇත.  එසේ වන්නේ කාලාන්තරයක් තිස්සේ තැටි එකිනෙක ගැටීම නිසා එකතු වන අධික ශක්තිය එකවර මුදා හැරීම නිසාය. නේපාලය ආශ්‍රිතව මීට පෙර ආසන්නම එවැනි විනාශකාරි කම්පනයක් ඇති වූ බවට වාර්තා වී ඇත්තේ 1934 දීය. මෙවැනි මහා පරිමාණ භූ කම්පනය පසු ඇතිවන “පසු කම්පන” වලට  හේතු වන්නේ  ගැටීමේදී වෙනස් වුන භූ තලය (එකිනෙකට කා වැදුන) නැමති නැවත යථා තත්වයට පත්වීමට ගනු ලබන ස්වාභාවික උත්සාහය නිසාය. කෙසේ වුවද පසු කම්පන වල ප්‍රතිඵලය වන්නේ මුලින් සිදු වූ මහා විනාශය තවදුරටත් තිව්‍ර කිරිමයි.
මේ කරුණු විශ්ලේෂණය කිරිමේදී නේපාල භූමි කම්පාව ආශ්චර්යමත් සිද්ධියක් හෝ දේව කෝපය නිසා හෝ සිදු වූවක් නොව, චක්‍රීයව අදාල කලාපය තුළ භූ අභ්‍යන්තරයේ සිදුවන ක්‍රියාවලියක නියත ප්‍රතිඵලයකි. අතීතයේ දී ද එසේ වන්නට ඇත. සාහිත්‍යකරුවා තමා අසා තිබූ ඒ සිද්ධි බුදුන්ගේ ශ්‍රෙෂ්ඨත්වය පෙන්වීමට බුද්ධ චරිතය හා සසඳන්නට ඇත.

කේ.ඒ.කුලතිලක - මහරගම
0774-106350

Comments