වර්තමානය වන විට රටේ පවතින තරඟකාරිත්වය ජනමාධ්‍ය අතරද නොඅඩුව දක්නට ලැබේ. විවිධ රූපවාහිනි හා ගුවන් විදුලි නාලිකා ද උනුන් පරයා නැඟී සිටීමට නොයෙක් ක්‍රමවේද භාවිතා කරනු ලබයි. කිසියම් රූපවාහිනි නාලිකාවක් නැරඹුවොත් නැතිනම් FM ගුවන් විදුලි නාලිකාවකට සවන් දුනහොත් රු. 10,000, 15,000 තෑගි පිරිනැමීම ඒ සඳහා භාවිතා කරන එක් ක්රමවේදයකි. තෑගි ලබා ගත් විට ඔහු හෝ ඇය තමන්ට හතර මහා නිධානය ලබා දුන් ලෙසට මුළු රටටම ඇහෙන පෙනෙන ලෙස එම රූපවාහිනි චැනලය හෝ FM නාලිකාවෙන් උපරිම ලෙස වර්ණනා කළ යුතුය.
මේ අතරට ළඟදී එකතු වූ තවත් අංගයක් නම් ධාතු ප්‍රදර්ශන රැල්ලයි. කාලයෙන් කාලයට අප අතරට එන විවිධ පූජා රැලි අතර පිච්ච මල් පූජා, නෙළුම් මල් පූජා, අසුහාර දාහේ පහන් පූජා, ගස්වලට රෙදි අන්දන කප් රුක් පූජා, ආදී රැලි මැකී යන විට එයට අළුතින්ම එකතු වූ ධාතු ප්‍රදර්ශන රැල්ලට මාධ්‍යය ද එකතු වූ පසු එය ද බෙහෙවින් තරඟකාරි ස්වරූපයක් ගෙන ඇත.
ධාතු ප්‍රදර්ශනය සිදු වන අතර තුර එයට අනුග්‍රහය දක්වන මාධ්‍ය පිරිස අතරට ගොස් ප්‍රකාශ පටිගත කර තම ප්රවෘත්ති විකාශනය තුළ ප්‍රචාරය කිරීම නිරන්තරයෙන් සිදුවේ. ඒ හැම ප්රචාරයකම ඇති ඒකාකාරි ප්‍රකාශය වන්නේ “අපිට හරි සන්තෝෂයි මේ නාලිකාවෙන් හැමදාම කරන්නේ මේ ධාතු ප්‍රදර්ශනය වගේ හොඳ වැඩ. අනේ ඉතිං මේකෙ සභාපතිතුමා එක්ක වැඩ කරන කට්ටිය නිවන් දකින්නම ඕනෑ” යන්නයි. මේ ඒකාකාරි ස්වභාවය නිසාදෝ එක්තරා ගුවන් විදුලි නාලිකාවකින් තම ධාතු ප්‍රදර්ශන ප්‍රචාරය අළුත් කළේය. ඒ “නිසැක ධාතු ප්‍රදර්ශනය” යන කොටස එකතු කිරීමෙනි. එය එක් අතකින් මේ ප්‍රදර්ශනවලට යෑමට සැදි පැහැදී සිටින්නන් අතරේ මොළේ කළඳක් හෝ ඇති අයකුට යමක් සිතීිමට පොළඹවන ප්‍රකාශයක් නිසා එහි විශේෂත්වයක් ද ඇත. එනම් “නිසැක” ධාතු ප්‍රදර්ශනයක් ගැන කීමෙන් “සැක” ධාතු ප්‍රදර්ශන ද ඇති බවට යම් ඉඟියක් ඉන් ලැබීමයි.
සැබෑවටම බුදුන් සහ රහතුන් වහන්සේලාගේ යැයි පවසමින් පෙන්වන මේ ධාතු ප්‍රදර්ශනවල ඇත්තේ එකී සැබෑ භෂ්මාවශේෂ ද? ඉතිහාස පොත්වල නැතිනම් ජනප්‍රවාදවල එසේ නැතිනම් වෙනත් ක්‍රමයකට “ධාතූන් වහන්සේලා” ලෙස හැඳින්වෙන මේවායේ සැබෑ තත්වය පරීක්ෂා කිරීමට ක්‍රමයක් නැත්ද?
විද්‍යාත්මක ක්‍රමවේදයට අනුව ඕනෑම අස්ථි කොටසක් (දත් ද ඇතුළුව) පළමුව මිනිසකුගේ ද නැත්නම් වෙනත් සත්වයෙකුගේ ද (ගවයෙකුගේ ද- සුනඛයෙකුගේ ද - ඩයිනෝසරයෙකුගේ ද) වශයෙන් පහසුවෙන් තහවුරු කළ හැක. ඉන් පසුව විකිරණශීලි කාබන් කාල නිර්ණය ඇසුරෙන් එහි වයස තීරණය කළ හැක. එසේ වුවද මේවා අසවල් පුද්ගලයාගේම යැයි පැවසිය නොහැක්කේ එම පුද්ගලයන් හා සැස`දීමට ඔවුන්ගේ ජාන පිටපත් නොමැති කම නිසාය. එසේ වුවද අවම වශයෙන් අවුරුදු 2500කට පෙර ජීවත් වූ මනුෂ්‍යයෙකුගේ අස්ථි පවා සැකයෙන් තොරව මිනිස් අස්ථි ද යන්න ප්‍රකාශ කළ හැක. මේ කිසිවක් නොකර අසවල් ධාතු නිසැක ධාතු අනිත් ධාතු සැක ධාතු වශයෙන් වෙන් කරන්නේ කෙසේද?
ඒ කෙසේ වෙතත් බුදුන් වහන්සේ තම ශරීරය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක මෙසේ සඳහන් වේ. එක්තරා භික්ෂුවක් බුදුන් වහන්සේගේ දර්ශනයට වශී වී නිතර උන්වහන්සේ ළඟ රැ`දී සිටිද්දී “ඔබේ විමුක්තිය උදෙසා මා පහදා දුන් මාර්ගයේ ගමන් නොකර මගේ මේ නිසරු කය දෙස බලා සිටීමෙන් ඇති ඵලය කුමක් ද? යන්න එම ප්‍රකාශයයි. එසේ වුවද අද වන විට “අපි බුද්ධාගමේ” යැයි පැවසෙන්නේ වඩාත් සමීප මෙම ප්‍රකාශයට ද නොඑසේ නම් කය තරම්වත් නොවටිනා ධාතු (සැක නිසැක ලෙස හැඳින්වෙන) වලට ද යන්න විමසා බැලිය යුතුය. මෙය අවබෝධ කරගතහොත් මිනිසුන්ගේ අන්ධ භක්තිය දඩමීමා කරගෙන ලකුණු දමා ගැනීමට වලිකන අප රටේ ජනමාධ්‍යවලට ඒ සඳහා ඉඩක් නොලැබෙනු ඇත.
ඒ සමඟම ධාතු ප්‍රදර්ශන සම්බන්ධයෙන් සිදු වූ සත්‍ය සිදුවීමක් මෙහිලා සඳහන් කළ යුතුය. මෙය සිදුවූයේ මගේ සේවා ස්ථානය ද වන මාතලේ මහ රෝහලේ ලේ බැංකුවේදීය. එදින සේවයේ යෙදී සිටි හෙද නිලධාරිනිය බෙහෙවින් ආගමට ලැදි භක්තිවන්තියකි.
ලේ අවශ්‍ය රෝගියෙකුගේ ලේ සාම්පලයක් හා ඒ සඳහා වන අයදුම් පත්‍රයද රෝගියාගේ BHT පතද රැගෙන කඩිමුඩියේ වාට්ටුවක උපස්ථායිකාවක් ලේ බැංකුව වෙත දිව ආවාය.
උපස්ථායිකාව - “මිසීි ඉක්මනට මේක චෙක් කරලා ගන්ට. අපි යනවා ධාතු බලන්ට”
මිසී - “අනේ හොඳයි ...... ඔයා දැන් නුවර යනවද?”
උපස්ථායිකාව - “නුවර? නුවර නෙවෙයි මිසීි මෙහෙ මාතලේ...... මාතලේ”
මිසීි - “ මාතලේ ? එහෙනම් මටත් යන්ඩ පුළුවන්, මාතලේ කොහෙද?”
උපස්ථායිකාව- “මෙහෙ මිසී, හොස්පිටල් එකේ ලැබ් එකේ”
මිසීි - “අනේ සාදු, ඒත් ලැබ් එකේ ධාතු ප්‍රදර්ශනයක් කොහොමද තියන්නේ? හරිම අමුතුයි”
උපස්ථායිකාව - “මිසීි මොනවද මේ හිතාගෙන ඉන්නේ ...... අපි ලැබ් එකට යන්නෙ අපෙ බෑනගෙ ධාතු බලන්ට”
මිසීි - “චික් ඒයියා මොන මල ජරාවක් ගැනද ඔයා මේ කියවන්නේ,”
උපස්ථායිකාව - ‘ජරාව නම් තමයි මිසීි, ඒත් ඉතිං මොකද කරන්නේ - අපේ දුව බැඳලා අවුරුදු තුනයි. තාම බබාලා නෑ. ඔක්කොම වැරැද්ද කියන්නේ මගේ දුවට. මං අපේ VOG සර් ගාවට දුව එක්කගෙන ගියා. VOG සර් දුව බලලා report එක අරන් එන්ට කියලා. අනේ මිසීි ඒක අපේ බෑනට කියපු වෙලාවේ ඉඳලා බෑන කට්ටි පැන පැන හිටියේ එන්නෙ නැතුව. අද එයාගේ අම්මයි තාත්තයි ආව ගමන් විස්තරේ කියලා ඒ අයත් එක්කම බෑනත් ඇදගෙන ලැබ් එකට ආවා. දැන් දෙක හමාරට ධාතු බලනවා කියලා ලැබ් එකේ මහත්තයා කිව්වා මං අපේ වාට්ටුවේ වැඩ ඉවර කරලා ලැබ් එකට යන්ට ඕනෑ. කෝ කෝ මිසීි ඕක චෙක් කරලා ඉවර නම් BHT එක මෙහෙ දෙන්න. අපි යනවා ධාතු බලන්ඩ ...... අපෙ බෑනගෙ ධාතු බලන්ඩ. ආපසු දිව යන උපස්ථායිකාව දෙස බලමින් සිනහව නවතා ගත නොහැකිව සිටි මා දෙස බැලූ මිසීි “අනේ හැබෑට කිසි ලැජ්ජාවක් නැතුව ඔහේ කියවන හැටි” කියමින් නිහඬ වූවාය.
ඒ “නිසැක” ධාතු සහ “ධාතු ප්‍රදර්ශනයක්” අතර සිදුවූ පැටලිල්ල නිමාවූ ආකාරයයි.
වෛද්‍ය සෙනරත් වේරගම - මහ රෝහල මාතලේ - 077-32312130
Comments
Post a Comment