
පසුගිය යුගයේ හිටපු ජනාධිපතිවරයාගේ ජනප්‍රිය තීන්දුවකින් ග්ලයිෆොසේථ වල්නාශකය තහනම් කෙරිණි. එහෙත් ඔහු වේදිකාවෙන් බැසගිය පසුවද තහනම් වල්නාශක අඩුවක් නැතිව රටපුරා විකිනෙයි. නව ජනාධිපතිතුමාද ග්ලයිෆොසේට් තහනම් කිරිමේ ජනප්‍රිය තීන්දුවක් ගනී. ගැසට් නිවේදනයකින් ආනයනයද තහනම් කෙරෙයි. කෘෂිකර්ම ඇමැතිවරයා ග්ලයිෆොසේථ සීමාසහිතව ආනයනය ගැන කැබිනට් සංදේශයක්ද ඉදිරිපත් කරයි. පලිබෝධනාශක පාලන රෙජිස්ට්‍රාර් තහනම ගැන තවත් කථා කියයි. අපට නම් පෙනෙනුයේ දේශපාලන වේදිකාවලදී නායකයින් ගන්නා තීන්දු හුදු නාටක රඟ දැක්වීම් මිස අනෙකක් නොවන බවය. එනිසා පලිබෝධ නාශක ගෙන්වන සහ බෙදාහරින සමාගම් රටතුළ ඔවුනට රිසිසේ හැසිරෙති. සැබැවින්ම මෙම තීරණ ගන්නේ රට වෙනුවෙන් සහ ජනතාව වෙනුවෙන් නම් එය කළයුත්තේ ජාතික කෘෂිකර්ම ප්රතිපත්තියකිනි. රසායනික වල්නාශක-කෘමිනාශක-රසායනික පොහොර භාවිතය යම් නිශ්චිත කාල පරිච්ඡේදයක් තුළ අදියරෙන් අදියර නවතාදමා කාබනික ගොවිතැන රජ්‍ය ප්‍රතිපත්තියක් ලෙස අරඹා, කාබනික පොහොර සහ දේශීය පලිබෝධ නාශක නිපදවා (සු`ඵ කර්මාන්ත වශයෙන්) සොබා දහමේ ගොවිතැනට රට හැරවිය යුතුය. එසේ නොමැතිව ජනප්‍රිය තීන්දු ගත් පමනින් කෘෂිකර්මය අයාලේ යාම නවතින්නේ නැත.
කාබනික ගොවිතැන, වස විසෙන් තොර කෑම බීම ගැන පරිසරවේදී හූ හඬ නගන්නේ මීට දශකයකටත් පෙරසිටය. එහෙත් නාථ දෙවියන් ආසනික් සොයාගන්නා තුරු වගකිව යුත්තන් හැසිරුනේ මේ ගැන වගේ වගක් නොමැතිවය. කාබනික ගොවිතැන නැත්නම් සොබාදහමේ ගොවිතැන යථාර්ථයක් කළ මිනිසුන් ටික දෙනෙකු සහ එහි ප්රතිලාභ ලබන සු`ඵ පිරිසක් මෙරට සිටින නමුදු එය ජාතික නිෂ්පාදිතයෙන් දශම ගණනකි. වස විසෙන් තොර කෑමේ බීමේ අරුමය ගැන දන්නා මිනිසුන්ටවත් වස විසෙන් තොර ආහාර පහසුවෙන් ලබාගන්නට අද පහසුකම් නැත. අප රටේ මිනිසුන්ගේ 95% ක්ම කුමන හෝ ආගමික වෙති. සියලූ සතුන්ට කරුණාව පෑම - මෙත්වැඩීම ගැනද කොතෙකුත් පාරම්බති. එහෙත් අවාසනාව නම් අප රටේ මිනිසුන්ගෙන් 90% ක් ජාතියට වස කවති. අද වෙළඳ පොලේ ඇති සහල්, ධාන්‍ය, එළවලූ, පලතුරු කන මිනිසුන් බේරාගන්නට නම් නාථ දෙවියන්ට තබා සතරවරම් දෙවියන්ටවත් නොහැකිය. මිනිසුන් එතරම්ම වසකති. වසකවති.
ගොවිතැනේදි රසායනික පොහොර සහ පලිබෝධනාශක අනිසිලෙස සහ අධික ලෙස භාවිතාකිරීමෙන් ඒවායේ අහිතකර ශේෂයන් අපේ ආහාරවලට සහ පානීය ජලයට එකතුවන බව අද පිළිගත් සත්‍යකි. මේ අහිතකර ශේෂයන් ශරිරගතවීමෙන් එක්වර රෝගීවීමක් නොපෙනුනත් කලක් තිස්සේ ශරීර පටකවල තැන්පත් වීමෙන් ශරීර පද්ධතිවලට හානිවිය හැකිය. ඇතැම් ආහාරවල ඇති මේ අහිතකර ශේෂයන් පිලිකා, ස්නායු ආබාධ හා වෙනත් රෝගවලට බලපෑහැකිබව සොයාගෙන බොහෝ කල්ය. මේ බව මුලින් ලොවට හඬගා කිවේ 1950 දශකයේ W.H.O හි පිළිකා පිළිබඳ පර්යේෂණ අංශයේ ප්‍රධානියා වු වසංගත රෝග විද්‍යාඥ ජෝන් ගිහින්ස් (John
Gihins) ය. ලොව පුරා විවිධ වර්ගවල පිළිකා පැතිර ඇති හැටි සහ එයට වගකිව යුතු සාධක හැදෑරූ හෙතෙම මිනිසුන්ට වැළඳෙන පිළිකා වර්ග වලින් 80% 90% ක් සඳහාම පරිසර සාධක වගකිව යුතු බව පෙන්වා දුනි. ශරීරය තුළ ටිකෙන් ටික රසායනික සංචිතවීම ජෛවීය රාශිභූතවීම ලෙස හඳුන්වයි (Bio
accumulation) මේ පිළිබඳ කීර්තිමත් පරිසර විද්‍යාඥ ආචාර්ය රනිල් සේනානායක පෙන්වා දුන්නේ 1980 දශකයේ සිටය. විශේෂයෙන් අප රටේ එළවලූ ගොවීන් පලිබෝධනාශක භාවිතා කරන ආකාරය ගැන 2013 වසරේදී හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ ආයතනය HARTI) කළ සමීක්ෂණයෙන් ඇඟි ලොමුදැහැගන්වන ප්‍රතිඵල පෙන්නුම් කරයි.
i. බොහෝ ගොවීන් පලිබෝධනාශක සීමාන්තිකව යොදනුයේ ඇබ්බැහිය සහ අවිචාරය නිසාය.
ii.බොහෝ ගොවීන් අස්වැන්න නෙලීමට දින දෙකකට පෙරත් කෘෂිනාශක වගාවට යොදයි (අස්වැන්න නෙලීමට දින 10 ක් තුළ නොයෙදිය යුතුය.)
iii. HARTI වාර්තාවේ උත්ප්රාසය දනවන සොයා ගැනීම වන්නේ බොහෝ ගොවීන් තම පවුලේ පාවිච්චිය සඳහා වෙනම පාත්තිවල පලිබෝධනාශක නොමැතිව වගාකරගන්නා බවය. තම පවුලේ පාවිච්චියට නොගන්නා වසමිශ්ර එළවලූ ඔවුන් සහෝදර රටවැසියා සඳහා වෙළඳ පොලට එවති. දැන දැනම මේ හානිය කරන මේ ගොවීන් ජාතියට වස කවන්නෝ වෙති. මොවුන්ගේ සදාචාරය ප්‍රශ්න කළ යුතුය. ආර්ථික වාසියට මුලාවී හෝ ජිවත්වීමට හෝ මොවුන් කරනා විනාශයෙන් රට බේරාගැනීම වගකිවයුතු ආයතනද ඇත. ඔවුහූ මරනින්දේය. මිනිසුන් මිථ්‍යාවේ ගිල්වා සොබාදහමේ ගොවිතැන දියුණුකළ නොහැකිය. ඒ සඳහා විද්‍යාව ලබා ඇති දියුණුව ප්රමාණවත්ය. අවශ්‍ය ප්‍රතිපත්ති කැපවීම සහ උනන්දුවය. අවිචාරයෙන්, ඇබ්බැහිකමෙන් උඩුදුවා ඇති දේශයක් ඔලූවෙන් සිටගෙන සිටින විට කෘෂිකර්මය පමණක් ගැන කවර කථාද? අයාලේ ගිය ගොවිතැන හරිමගට ගත යුත්තේ ගොවීන්ද අතරමං නොකොට රටේ අහාර හිඟයක් අහේනියක් ඇතිනොවන අයුරිනි. මහා පරිමාන වගාවන්ද රැකෙන අයුරිනි.
වල්නාශක, කෘෂිනාශක සහ රසායනික පොහොර අපගේ ආහාර වේලටද, ජලයටද, වාතයටද අහිතකර ශේෂයන් මුදා හරිමින් මිනිසුන් පමණක් නොව අපගේ නෑදෑයින් වන සත්ව ප්රජාවද, ශාකප්රජාවද දිනපතා විනාශ කරයි. ගොවිතැනේ යෙදෙන මිනිසුන් ආත්මාර්ථය තකා මානව සදාචාරයටද පිටුපායි අවු: 2500 ක බුදුදහමින් හා වෙනත් දහම් මතින් ශික්ෂණය වී යැයි කියන මිනිසුන්ගේ ගති ස්වභාවය මෙලෙස නම් අපට වැරදුන තැන අප සෙවිය යුතුය. මිනිසුන් හැසිරෙන්නේ සමාජ ආර්ථික බලවේග හැසිරෙන ආකාරයට මිස වෙනත් අදෘශ්‍යමාන බලවේගයන් අනුව නම් නොවේ. එනිසා අවසන් වශයෙන් කිවයුත්තේ ග්ලයිෆොසේට් වල්නාශකය පමණක් තහනම්කොට නැත්නම් සීමාකොට මෙරට ගොවිතැනේ සීමා මායිම් ලකුණු කරන්නට යාම යථාර්ථය නොවේ. ජතික කෘෂිකර්ම ප්‍රතිපත්තියක් වෙනුවෙන් සිය`ඵදෙනා අරගල කළයුතු වන්නේ එබැවිනි.
අටකලන්පන්නේ කුලරත්න
Comments
Post a Comment