භක්තිය වැඩිවීම සහ ප්‍රඥාව අඩුවීම


භක්තිය වැඩි වු විට ප්‍රඥාව අඩුවෙයි හෝ නැත්තටම නැති වෙයි. එවිට මිනිසාගේ හැසිරිම පුදුමාකරය. භක්තිය නිසා මිනිසා තුළින් පැන නගින විකාර රූපී හැසිරීම් රටා ආදී කල්පික යුගයේ පටන් ම පැවත එයි. එය වඩාත් කැපී පෙනෙන්නේ විද්‍යාව අතිශයින් දියුණු අද දවසේ පවා ඒ සියල්ල කිසිදු වෙනසකින් තොරව එලෙසම සිදුවන නිසාය.
ලෝකයට දාර්ශනිකයින් පහළ විය. විවිධ ක්‍ෂේත්‍රයන් ඔස්සේ ඉදිරිපත් වු එම දාර්ශනිකයන් අදහස් උපයෝගී කරගෙන ලෝකය අද පවතින තත්ත්වයට දියුණු කර ඇත. බොහෝ බුද්ධිමතුන් එම දාර්ශනික අදහස් වලින් විපුල ඵල ප්‍රයෝජන අත්පත්කර ගත්හ. එම දාර්ශනික අදහස් විෂය මූලිකව අවබෝධකර ගනිමින් ලෝකයට බොහෝ දේ දායාද කළහ. වෛද්‍ය විද්‍යාවට එක් කළ දැනුම් සමිභාරය නිසා අද මිනිසාගේ දුක කොතරම් දුරකට අවම කර ගැනීමට හැකි වී ඇද්ද?
මිනිසුන් දෙකොටසකට බෙදිය හැක. එක් කොටසක් ප්‍රබුද්ධ මනසක් ඇති ලෝකයේ ඉදිරිගමනට උරදෙන කලාකරුවන් හා විද්‍යාඥයන්ය. අනෙක් කොටස වන්නේ බහු ජනතාවය. (බුදුන් සඳහන් කළ පෘථග්ජනය මිනිසුන්) ඔවුන් අන්ධය. අවිචාරවත්ය. ලෝකය තේරුම් ගැනීමට අසමත්ය. ඔවුන්ට කළ හැක්කේ වෙනත් අය අනුකරණය කරමින් දුවන්නන් වාලේ දිවීම පමණකි. ඔවුහු විටෙක ආගමික බැතිමත්හුය. තවත් විටෙක මිනී මරුවන් මංකොල්ල කරුවන්ය. පෘථග්ජන මිනිසා තම අවශ්‍යතාව හෝ විශ්වාස වෙනුවෙන් මව්පියන් මැරීම ඇතු`ඵ ආනන්තරීය පාපා කර්ම කිරීමට පසුබට නොවන බව පැවසුවේ ගෞතම බුදුන්ය. භක්තිය නිසා දර්ශනයට නොව දාර්ශනිකයන්ට සු`ඵ කාලයකට වශී වෙති. ධර්මයට නොව තෝරාගත් ධර්ම දේශකයින්ට වැඳුම්පිදුම් කරති. සිත්ගත් අයෙක් කියන  ඕනෑම මුසාවක් විශ්වාස කරති. ඔවුන්ගේ පිළි රූ තනා ගෙන ඒවාට වැඳුම් පිදුම් කරති. විචාර බුද්ධියෙන් තොරව ගස් ගල් වලට පවා වන්දනාමාන කරති. ඉන්පසු තමන්ම තම මතවාදයේ වහලූන් බවට පත්වෙති. එවැනි මිනිසුන් සමඟ ඒවායෙහි සත්‍යාසත්‍ය බව ගැන වාද කළ නොහැකිය. එසේ කළහොත් තමන්ගේ ගෞරවයට පාත්‍ර වී සිටින තැනැත්තාට අපහාසයක් කළා සේ සලකා ඔවුහු විවේචකයා මරා දැමීමට වුවද පසුබට නොවෙති.
භක්තිය නිසා විකාර රූපී හැසිරීම් රඟ දැක්වීම පිළිබඳ අපූරු පුවතක් අසල්වැසි ඉන්දියාවෙන් වාර්තා වෙයි. අප අසා ඇති පරිදි මිනිසුන් දේවාල ඉදිකරන්නේ මනඃකල්පිත දෙවිවරුන් වෙනුවෙනි. පිළිම නෙලා ගෞරව දක්වන වැඳුම් පිඳුම් ලැබීමට භාජනය වු පුද්ගලයයෝ ඉන්දියාවේ සිටිති. ඉන් එක් අයෙකු වන්නේ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩිය. ප්‍රාන්ත ඇමතිවරයෙකුව සිටියදී ජනතාවගේ ගෞරවාදරයට පාත්‍ර වී සිටි මෝඩි වෙනුවෙන් දේවාලයක් ඉදිකරන ලද්දේ අගමැති ධුරයට පත්වීමටත් පෙර සිට ඔහු උපන් ගුජරාටි ප්‍රාන්තයේ කොතාඩියා නම් ගම්මානයේය. මුලදී දේවාලයෙහි රාමු කරන ලද ඡායාරූපයක් ඉදිරියේ වැඳුම් පිදුම් කළ මිනිසුන් මෝදි අගමැති ධූරයට පත්වීමෙන් පසුව විශාල ප්‍රමාණයේ මෝදි ප්‍රතිමාවක් ගොඩනැගීමටත් කටයුතු කර ඇත. මෝදී ප්‍රතිමාව විවෘත කිරිමේ නිල උත්සවය පැවැත්වීමට නියමිත වුයේ ගුජරාටි ප්‍රාන්තයේ කෘෂිකර්ම ඇමති මෝහන් බායි කළ්‍යාන්ජි බායි ගේ ප්‍රධානත්වයෙනි. මෝදි කෝවිල 2003 දී ආරම්භ කිරීමෙන් පසු මු`ඵ ගමේම සහභාගිත්වයෙන් උදේ සවස පුජා පැවැත් වු බවද, කල්යාමේදි අවට ගම්වල වැසියන් ද ඊට සහභාගි වු බවද ගමේ ප්‍රධානියා වන මන්සුර් කුමාර් පවසයි. පුජාවන් වලදී “නමෝ මෝදි” යනුවෙන් ස්තෝත්‍රයක්ද ගායනා කොට තිබේ. මේ ගැන විමසූ India Today පුවත් පතට ඔහු කියා ඇත්තේ හැම ගමකම මෝදි කෝවිලක් තිබිය යුතු බවය.
ප්‍රබුද්ධ මිනිහෙකු වූ මෝදි මෙම පුවතින් මහත් කම්පනයට පත්ව ඇත. මෙය වහාම නවතාලිය යුතු යැයි පැවසූ මෝදි මෙය ඉන්දියානු මහා සම්ප්‍රදායට පටහැනි බවද, ඉන්දියානු සංස්කෘතිය තුළ එවැනි දෙවොල් ඉදි කිරිමේ සම්ප්‍රදායක් නැතැයිද ටුවීටර් පණිවිඩයක් මඟින් කියා සිටියේය. දෙවිවරුන් නොවන ඉන්දියාවේ ජනප්‍රිය චරිත උදෙසාද මීට පෙර විෂේශයෙන් දකුණු ඉන්දියාවේ දේවාල ඉදිකර තිබේ. ඉන්දිරා ගාන්ධි, රාම රාවෝ, ඇම්.ජි.රාමචන්ද්‍රන්, සෝනියා ගාන්ධි යන අය වෙනුවෙන්ද, දෙවොල් ඉදිකර ඇත. එමෙන්ම එසේ දේවත්වයට පත් වු අයෙකු පිළිබඳ ඔවුන්ගේ ප්‍රතිරූපය බිඳි ගිය විට ඊළඟ මොහොතේ ඔවුන් කරන්නේ එම ප්‍රතිරූප කඩා බිඳ දැමීමට කටයුතු කිරිමය. ජනප්‍රිය සිනමා නිළියක වන කුෂ්බු මෙසේ දේවත්වයට පත්කොට පුද පුජා පවත්වමින් සිටියදී, ඇය තමාගේ අසම්මත ලිංගික ක්‍රියාවක් පිළිබඳව හෙළිකොට ඇත. මෙය ඇසූ බැතිමත්හු ක්‍ෂණයකින් එක්රැස් වී ඇගේ පිළිරුව කඩා බිඳ දමන ලදි.
මේ පුවත් අසන ශ්‍රී ලාංකිකයන් වන අපට ඉන්දියානුවන්ට ඇඟිල්ල දිගු කොට සිනා සිය හැකිද? කිසිසේත් නොහැකිය. ප්‍රබුද්ධ මිනිසෙකු වු නරේන්ද්‍ර මෝදි මෙන් නොව තම ප්‍රතිරූපය ඉහළ නංවා ගැනීම වෙනුවෙන්  ඕනෑම දෙයක් කරන අපරටේ නායකයින් නම් කරන්නේ මෙවැනි දේවාල සෑදීමට ඉදිරිපත් වන්නන්ට රාජ්‍ය අනුග්‍රහය දැක්වීමය. ඊනියා ජෝතිෂ වේදීන්ගේ මුසා බස්වලට රැවටුණු මිථ්‍යා විශ්වාස වල අන්තයටම ගිය හිටපු ජනාධිපතිතුමා වුවද, තමා මේසා  විශාල පරාජයකට භාජනය වු බව ඇස් පනාපිට මු`ඵ රටටම ඔප්පු වී තිබියදීත්, තවමත් මිථ්‍යා විශ්වාස වල විපාක තේරුම් ගෙන නැත. පසුගියදා කතරගම දේවාලයට ගොස් බාරයක් ඔප්පු කිරීම සඳහා දෙවියන්ට රත්තරනින් තැනු ත්‍රීශූලයක් පූජා කළ බව මාධ්‍ය ඔස්සේ වාර්තා විය. කලකට ඉහත තවත් අප රටේ ජනාධිපති වරයෙක් අපල දුරුවන්නට කියා නිරුවතින් සිටිමින් කන්‍යාවන් ලවා පිච්ච මල් මිශ්‍ර ජලයෙන් ස්නානය කරගත් බව මිනිසුන් කියනු අසා ඇත්තෙමි. මෙහෙව් රටක සාමාන්‍ය මිනිසුන් ගැන කියනුම කවරේද? ඉන්දියානුවන් එසේ කරන්නේ හින්දු ආගමේ ආභාෂය නිසාය. එහෙත් පිරිසිදු ථෙරවාදී බෞද්ධයන් යැයි සිතා බුද්ධාගම අදහන අය කරන්නේ කුමක්ද? විභාග සමත් වන්නට, නඩු හබ ජය ගැනීමට, මැතිවරණ ජය ගන්නට, හතුරන් විනාශ කිරිමට, ලෙඩ රෝග සුව කිරිමට යනාදී නොයෙකුත් කටයුතු නූගත් කට්ටඬින් හරහා දෙවිවරුන්ට බාර හාර වීමය. බෝ ගස් වලට විශේෂඥ වෛද්‍යවරු පත් කර සිටින රටක් ගැන අසන්නට තිබේද? කාලය පැය භාගයක් ඉතිරිකර ගැනීම සඳහා වැඩකරන මිනිසුන් සිටින ජපානය පසුගිය කාලයේ වෙනම අධිවේගී මාර්ගයක් ඉදිකරද්දී, නිකම් හිඳීමට කැමති මිනිසුන් සිටින අප රටේ දන්ත ධාතුවට හානියක් වේයයි බියෙන් විනාඩි දහයකින් යා හැකි ගමන විනාඩි හතලිස් පහක් බවට පත්කර ගෙන ඇත. ඉතින් අපට ඉන්දියානුවන්ට සිනා සිය හැකිද?

විජේරත්න ගනේගොඩ 

Comments