ප්‍රාතිහාර්යයක් යනු කුමක්ද?


මහාචාර්ය කාලෝ ෆොන්සේකා

මේ ප්‍රශ්නයට සවිස්තර පිළිතුරක් දීමේ දී පළමු කොට ම බැලූ බැල්මට සමාන අර්ථ ඇති වචන තුනක් කෙරෙහි අවධානය යොමු කිරීමට සිදු වේ. ඒ වචන තුන නම් ප්‍රාතිහාර්ය, ආශ්චර්ය සහ මැජික් (මැජික් යනු ඉන්ද්‍රජාල හෙවත් විජ්ජා හෙවත් ඇස්බැන්දුම්) ය. මේ වචන අතරින් පහසුවෙන් ම අපට අවබෝධ කර ගත හැකි වන්නේ මැජික් නමැති සංකල්පයයි. මැජික් සංදර්ශනයක දී සිදු වන දේ අපි කවුරුත් දනිමු. එක්කෝ ලේන්සුවකින් පරවියෙක් ජනිත වෙයි. නොඑසේ නම් හිස් තොප්පියකින් හා පැටියෙක් එළියට පනී. මේවා බැලූ බැල්මට පුදුම එළවන සුලූය. නමුත් අප කවුරුත් දන්නා පරිදි ඒවා හුදෙක් ඇස්බැන්දුම් ය. ආශ්චර්ය යන සංකල්පය ඊට වඩා වෙනස් ය. පළමු කොට ම අපි විද්‍යාවේ හාස්කම්, ආශ්චර්ය ලෙස සලකමු. අඩි 30,000 කට උඩින් ගුවන් යානයක් නිරුපද්‍රිත ව පියාසර කිරීම ආශ්චර්යකි. සනත් ජයසූරිය  ඕස්ටේ්‍රලියාවේ තණ නිල්ලක් මත යෙදෙන පිති හරඹය, ඒ මොහොතේ දී ම ලංකාවේ අපේ නිවෙස්වල සිට අපි නරඹමු. එයත් ආශ්චර්යයකි; මැජික් වාගේ ම පුදුම එළවන සුලූය. මෙහි දී මගේ සිහියට නැඟෙන්නේ ශ්‍රීමත් ආතර් ශ්‍රී ක්ලාක් මහතාගේ එක්තරා රුවන් වැකියකි. එනම් ‘අතිශය සූක්ෂම තාක්ෂණය, ඉන්ද්‍රජාලයකින් වෙන් කර තෝරා බේරා ගැනීමට නොහැකි තරම් සියුම් ය. එය පුදුම එළවන සුලූය.’ ප්‍රාතිහාර්යය මේ දෙකට ම වඩා වෙනස් සංකල්පයකි. ප්‍රාතිහාර්ය පිළිබඳ සුලබ උදාහරණ හමු වන්නේ ලෝකයේ විවිධ ආගමික මතවාද අතරිනි. සීලවතී බිසවගේ පෙකණිය ශක්‍රයා විසින් පිරිමැදීම හේතු කොට ගෙන ඇය ගැබ්ගත් බව කියනු ලැබේ. ජලය වයින් බවට පරිවර්තනය කිරීම ජේසුන් වහන්සේ විසින් සිදුකළ ප්‍රාතිහාර්යයක් බව ප්‍රකට ය. ජේසූන් වහන්සේගේ මවුතුමිය කන්‍යාවක් බව පැවසීම ද එවැන්නකි. හින්දු බැතිමතුන් විසින් නොපිළීස්සී ගිනි පෑගීම සලකන්නේ ප්‍රාතිහාර්යයක් ලෙස ය. ප්‍රාතිහාර්යය සියල්ලම පුදුමඑළවනසුලූය. මේ අනුව බලන විට මැජික්වලටත් ආශ්චර්යවත් දේවලටත් පොදු ලක්ෂණ වන්නේ ඒවායේ පුදුම එළවන සුලූ ගුණයයි. මේ පොදු ගුණය පදනම් කර ගෙන මේ සංකල්ප අතර ඇති වෙනස අපට පහසුවෙන් මතක තබා ගැනීම, මෙලෙසින් කළ හැකිය. ‘ආශ්චර්ය, පුදුමයි, ඒත් ඇත්තයි.’ මැජික් පුදුමයි, ඒත් ඇත්ත නොවේ.’ ‘ප්‍රාතිහාර්යය පුදුමයි, ඒත් සම්මත විද්‍යා විරෝධී යි.’ අද අප රටේ මැජික් දර්ශන පමණක් නොව විවිධ ආකාරයේ ආශ්චර්යවත් දේ සම්බන්ධ ප්‍රාතිහාර්ය ගැනද නොයෙකුත් තොරතුරු වාර්තා වන බව නොරහසකි. මේවා වෙන වෙන ම තෝරා බේරා ගැනීම වැදගත් වන්නේ, එසේ නොවූ විට අප මුලා විය හැකි බැවිනි. මේ සම්බන්ධ ව වඩාත් අප ප්‍රවේශම් විය යුත්තේ ප්‍රාතිහාර්යය අනෙක් ප්‍රභේද දෙකෙන් වෙන් කර ගැනීමේ දීය. එය එසේ වන්නේ ප්‍රාතිහාර්යය අපේ නිර්වචනයෙන් ම විද්‍යා විරෝධී වන බැවිනි. යථාර්ථවාදීන්ගේ මූලික ස්ථාවරය වන්නේ විශ්වය හා එහි අඩංගු සියලූ දේ පිළිබඳ දැනුම ලබාගැනීමට මිනිස් වර්ගයා සතු විශ්වාසකටයුතු ක්‍රමයක් අපට තිබිය යුතු බවය. එවැනි ක්‍රමයක් 18 වැනි සියවසේ විසූ ඬේවිඞ් හ්‍යුම් (David Hume) නමැති බි්‍රතාන්‍ය ජාතික දාර්ශනිකයා යෝජනා කළේ ය. එය අදටත් වලංගු ලෙස සැලකිය හැකිය. ඔහු මේ පිළිබඳ ව ඉංග්‍රීසි බසින් ප්‍රකාශ කළ අදහස පහසුවෙන් තේරුම් ගැනීමට නුපු`ඵවන. එහෙයින් එහි අර්ථය පැහැදිලි කිරීම වඩා උචිත යයි හඟිමි.  ඕනෑ ම ප්‍රාතිහාර්යයක් පිළිබඳ ප්‍රතිපත්තියක් අපගේ අවධානයට යොමු වූ විට ප්‍රශ්න හතරකට පිළිතුරු සෙවීමට අප පුරුදු පුහුණු විය යුතුය. මෙතැන දී විකල්ප පහක් මතු වන්නේය. 
1. එය ප්‍රාතිහාර්යයක් ම විය නොහැකි ද? 
2. එය වැරදි අර්ථකථනයක් විය නොහැකි ද? 
3. එය ඉන්ද්‍රජාලයක් විය නොහැකි ද? 
4. එය මුසාවාදයක් විය නොහැකි ද? 
5. එය මානසික ව්‍යාධියක ප්‍රතිඵලයක් විය නොහැකි ද? 

මේ කරුණු පහෙන් අවම ප්‍රාතිහාර්යමය ස්වභාවයකින් යුක්ත කාරණය, වඩා නිවැරදි ලෙස පිළිගැනීම යි, අප හමුවේ ඇති වඩාත් බුද්ධිගෝචර ම පිළිතුර වන්නේ.
පෞද්ගලික ව විමසා බැලූ සංසිද්ධියක් ඇසුරින් ඬේවිඞ් හ්‍යුම්ගේ මූලධර්මයට උදාහරණයක් සැපයිය හැකිය. ආගමික වතාවත් ඉටු කිරීමට ගිනි පාගන බැතිමතුන් පවසන්නේ නොපිළිස්සී ගිනි පෑගීම දේව බලයෙන් සිදු වන ප්‍රාතිහාර්යයක් බව යි. ඒ සංසිද්ධියට අදාළ ව අපට ඉහත ප්‍රශ්න පහ මතු කළ හැකිය. 

1. ගිනි පෑගීම ප්‍රාතිහාර්යයක් ම විය නොහැකි ද? 
2. ගිනි පෑගීම වැරදි අර්ථකථනයක් විය නොහැකි ද? 
3. ගිනි පෑගීම ඉන්ද්‍රජාලයක් විය නොහැකි ද? 
4. ගිනි පෑගීම මුසාවාදයක් විය නොහැකි ද? 
5. ගිනි පෑගීම මානසික ව්‍යාධියක ප්‍රතිඵලයක් විය නොහැකි ද? 
මේ විකල්ප පහෙන් වඩාත් ම විද්‍යාවට එකඟ වන්නේ ‘ගිනි පෑගීම වැරදි අර්ථකථනයක් විය නොහැකි ද?’ යන දෙවැනි කරුණට අදාළ ව ලැබෙන පිළිතුර යි. එනම් එය වැරදි අර්ථකථනයක් ම වන බවයි. 1970 වර්ෂයේ මා විසින් සිදු කරන ලද විද්‍යාත්මක පර්යේෂණවලින් තහවුරු වූයේ ගිනි පෑගීමේ දී ගිනි පාගන්නන් නොපිළිස්සෙන්නේ දේවභක්තිය නිසා නොව ගිනි අඟුරු උඩින් ‘ඇරලා’ යන නිසා හෙවත් ඉතා වේගයෙන් අඩිය තබා යන නිසා බවයි. එසේ වන්නේ ගිනි අඟුරු හා යටිපතුල් අතර ඇති වන ස්පර්ශ කාලය අතිශයින් කෙටි නිසාය. 
මේ අනුව නොපිළිස්සී ගිනි පෑගීම, දිව්‍ය බලයකින් සිදු වන්නේ ය. යන්න ‘වැරදි අර්ථකථනයක් නොවේද ’ යන විකල්පය මත පිහිටා මුලික ව එය සලකා බැලීමෙන් අපට අවසානයේ එය වැරදි අර්ථකථනයක් ම ය, යන වඩාත් විදුහුරු (විද්‍යාවට වඩාත් ම අනුකූල) නිගමනයට එළඹීමට හැකියාව ලැබෙන බව පැහැදිලි වන්නේය. 

හම්බන්තොට කන්තා සංවර්ධන මහා සංගමය විනිස් ප්‍රකාශිත ‘සත්‍ය ගවේෂණ’ කෘතියෙන් උපුටා ගන්නා ලදි. 

Comments