එල්ලා මරනු

විමසුම් ඇස 
වීමර්ශී



පසුගිය දසකයකට වැඩි කාලයක් මේ රට ගිලගත් අචිචාර සමයේ ප්‍රතිවිපාක යහමින් පෙනෙන්නට පටන් ගෙන ඇති වකවානුවකි මේ දැන් අප ගෙවමින් සිටින්නේ. මිථ්‍යාව ගැඹුරට මුල් බැසගත්, ආවිචාරවත් බවේ කෙළ පැමිණි, ඊටම ගැලපෙන ලෙස සමාජ දේශපාලන බලවේග පෙළගැසුණු (හරියටම කියතොත් දේශපාලන බල කේන්ද්‍රය විසින් මිථ්‍යාව මෙන්ම අවිචාරය සමාජ ගත කරන්නට ක්‍රියා කළ) කාලවකවානුවේ අස්කොන් තවමත් හොල්මන් කරන සමයකි මේ. 

ඒ අවිචාර සමය තුළ හදි හූනියම් නොවූ විරූ ලෙස පැතිරවිණි. ග්‍රහචාරය ගැන අපල උපද්‍රව ගැන වෙනම පත්තර, පත්තර පිටු, ගුවන් විදුලි හා රූපවාහිනී විකාශ කාලය දැවැන්ත ලෙස අරක් ගත්තේය. කෝටි, ප්‍රකෝටි ගණනින් මුදල් උපයා ගැනීමේ නව මං පෑදිණි. අලියාට පෑගී දරුවා මිය ගියත්, අලියාගේ බඩ යටින් දරුවා ගෙන යාමෙන් වාසි ලබන්නෝ ඒ සඳහා නොපැකිලව ඉදිරිපත් වෙති. ඒ මුග්ධ විශ්වාස කපටින්ගේ, වංචනිකයින්ගේ මුදල් ඉපැයීමට හොඳ තෝතැන්නක් සපයයි. මුග්ධ විශ්වාස පසු පස යමින්, කට්ටඩින් වෙත යන කාන්තාවන් කට්ටඩියන් විසින් අතවරයට ලක් කෙරෙයි. මේවා මාධ්‍ය පුවත් පත් වල පොල්ගෙඩි අකුරින් පල කැරෙන්නේ පාඨකයා නොමඟ යවමින් සිද්ධියේ අනුවේදනීයත්වය හුවා දක්වමිනි. 
මේ සාපරාධී ක්‍රියාවලියට හේතු වී ඇත්තේ රට තුළ පසුගිය කාල වකවානුවේ ගොඩ නැඟු සමාජ සංස්කෘතික පිළවෙලයි. එමඟින් ඒ සිය`ඵ දේ සාධාරණීකරණයකට ලක් කොට, අයසට පත් පුද්ගලයාගේ වරදක් බවට ලඝු කොට ප්‍රශ්නය යට ගසනු ලබයි. 

විචාරවත් ලෙස මෙම ප්‍රශ්න කෙරෙහි අවධානය යොමු කිරීම හැම                     මිනිසකුටම / ගැහැනියකටම පැවරෙන වගකීමකි. ගැට`ඵ ඒ මඟින් අවසන් වන්නේද නැත. මෙවැනි අපරාධකාරි ක්‍රියා වලට ඉඩහසර විවෘත වී තිබීමේ අවකාශය ඉවත් කර දැමිය යුතුය. නව තත්වයට ගැලපෙන ලෙස නව නීති රීති සකසාලීම ඒ සඳහා අත්‍යාවශ්‍යය. 

ජනතාවගේ විශ්වාසයන් ගසාකමින් කැරෙන මේ සිය`ඵ දේ අපරාධ ගණයට වැටෙන්නේය. අපරාධයකැයි ප්‍රකාශයට පත්වුණු වහාම මුග්ධ පිරිස් “දියව් අපට - අපි දෙන්නම් දඬුවම්” යැයි කෑ මොර දෙති. නීතිය පසිඳලීමද තමන් අතටම ගැනීමට වළිකති. “මරණ දඬුවම වහා ක්‍රියාත්මක කරනුයි” හඬ ගාති. 
මේ රටේ ඉතිහාසයේ මේ තරම් “ආගමික ප්‍රබෝධයක්” ඇති කළ වකවානුවක් හඳුනා ගැනීම අසීරුය. පෝයදාට පන්සල් තුළ බණ අසන්නට සැදී පැහැදී සිටින්නෝ දහස් ගණන් වෙති. ඉරිදා දහම් පාසල හැර වෙන කිසිවක් නොපැවැතිය යුතු යැයි හඬගාන්නෝ අනන්තය. සිල් ගන්නා උපාසක උපාසිකාවෝ මේ තරම් විශාල ලෙස වැඩි වර්ධනය වූ කාලයක් තවත් ඇද්ද? ඒ මදිවාට කෝටි ගණන්වලින් සිල් රෙදි බෙදූ කාලයක් ඉතිහාසයේ අසා තිබේද? කතා බහේදී හැම මුවකින් ප්‍රාර්ථනා කෙරෙන්නේ බුදු සරණයි කියාය. ගුවන් විදුලිය රූපවාහිනිය උදේට පැය ගණන් බණ නිසයි. පිරිත් සඡ්ඣායනය කරයි. එසේ වීත් අපරාධ අහස උසටය ෟ
එනයින් අප වටහා ගත යුත්තේ ආගම මඟින් විසඳුම් සොයා යාමෙන් පලක් නැති වගය. උත්ප්‍රාසය දනවන්නේ ආගම වෙනුවෙන් මොරගාන උදවියම ‘එල්ලා මරනු’ යි කෑගසන විටය. බුදුන් වදාළේ පර පණ නැසීම වරදකාරී බවය. කුහුඹුවකුව වත් එවැනි ඉරණමක් අත්නොකළ යුතු බවය. 

එහෙත් අපේ බෞද්ධ උපාසක උපාසිකාවෝ ඇහැට-ඇහැක්, දතට-දතක් ම ඉල්ලා සිටිති. ඝාතනයක් වූ වහාම මේ ජනතාවගේ කටට එන්නේ ‘වහාම මරණ දඬුවම දෙනුයි’ යන්නය. අපරාධ මැඬලීමට එමඟින් හැකිවේද? අපරාධයක් කළැයි අධිකරණයකින් තීන්දුවක්වත් නැතිව, මිනිසුන් අතුරුදන් කළ, ඝාතනය කළ අවධියක්ද පෙර තිබිණි. එදා ඒ මරණ දණ්ඩනයට කවුරුන් හෝ බියවූ පාටක් පෙනෙන්නට නැති අතර ආශිර්වාද කළෝද සිටියහ. අදත් අපරාධකාරයෝ යෙහෙන් තම පිළිවෙත ක්‍රියාත්මක කරමින් සිටින්නෝය. ඉදින් එල්ලා මැරීමෙන් අපරාධ වළක්වාගත හැකිවේද? 

අපරාධකරුවන් සම්බන්ධයෙන් කෙරුණු බොහෝ සමීක්ෂ්ණ වලින් කියැවෙන්නේ ඔවුන්ගෙන් අති බහුතරය මත්ද්‍රව්‍යවලට තදින් ඇබ්බැහි වූවන් හෝ මානසික ව්‍යාධීන්ගෙන් පෙළෙන අයව`ඵන් බවය. එහෙත් ‘එල්ලා මරනු’ යි කියන්නෝ මත්ද්‍රව්‍යවලට බරපතල ලෙස එරෙහි නොවෙති. ඒ සඳහා ක්‍රියා කාරකම්වලට නොඑළඹෙති. ඒ වෙනුවට තම ගිණුම් වලට මුදල් කැඳවා ගනිති. 

මානසික රෝගියකු දුටු කළ එවැන්නෙකුගේ තත්වය තේරුම් ගෙන ඊට පිළියම් යොදන්නට කල්පනා නොකරති. පිස්සා යැයි ඇමතීමේ සිට අපහාස - උපහාස ගැරහුම් කිරීම ඔවුන් ගේ විනෝදය බවට පතව තිබේ. අවට සමාජයද ඊට එක්කරගැනේ. මේ මහා ඛේදවාචකයකි. 
එබැවින් සමාජය සුවපත් කිරීමේ ක්‍රියාවලියක් සිය`ඵ සමාජ ව්‍යාපාර විසින් ඇරඹිය යුතුය. එවැනි කටයුත්තකට ‘විදාරණ’ තම පූර්ණ සහාය පළකිරීමට සූදානම්ය. 
එවැනි සමාජ ව්‍යාපාරයක අවශ්‍යතාවය ‘රාවය’ උපදේශක කර්තෘ වික්ටර් අයිවන් මහතාද අවධාරණය කර තිබිණි. පසුගිය මස  ‘විදාරණ’ පුවත්පතේ එය පළ කරනු ලැබිණි. ● 

Comments