ජනාධිපතිතුමාට ලියුමක්
ආගමික ශබ්ද ඝෝෂා ඉදිරියේ අප ඉතා අසරණව සිටිමු.
කේ.ආර්.අභයසිංහ හිටපු කාලගුණ විද්‍යා අධ්‍යක්ෂ
බාහිර කථිකාචාර්ය, විද්‍යා පශ්චාත් උපාධි ආයතනය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය
‘ශබ්ද සිමා ඉක්මවීම සෞඛ්‍ය ප්‍රශ්නයක් වී ඇත’ හිසින් යුතු 20.10.2015 දින දරණ මාගේ ලිපිය ඔබ අත පත් වූවායයි සිතමි. දිවයිනේ විවිධ ස්ථාන වලදී සිදුවන ශබ්ද දූෂණය සම්බන්ධව යළිත් වරක් ලියා එවන්නේ ඔබතුමාගේ සහ මධ්‍යම පරිසර අධිකාරියේ අවධානය මේ ජාතික ප්‍රශ්නය වෙත යොමු කිරීමේ පරමාර්ථයෙනි. ලොව දියුණු රට රාජ්‍ය වල විවිධ රාජකාරි කටයුතු වලට සහභාගි වී ඇති ඔබ තුමාට සහ මධ්‍යම පරිසර අධිකාරියේ උසස් නිලධාරීන්ට මා අවධාරණය කරන්ට උත්සාහ කරන කරුණු පහසුවෙන් වැටහේයයි සිතමි. එම කරුණු වටහා ගෙන එතැනින් නිශ්ශබ්ද නොවී රටේ ශබ්ද ඝෝෂා අවම කිරීමට අවශ්‍ය පියවර හැකි ඉක්මනින් දියත් කිරීම වෙත මධ්‍යම පරිසර අධිකාරියේ උසස් නිලධාරින් යොමු කිරීමට පියවර ගන්නා ලෙස ඉල්ලා සිටීම මේ ලිපියේ ප්‍රධාන අරමුණයි.
මා බෞද්ධයෙකු ලෙස ඉපිද, බෞද්ධයින් බහුතරයක් ජීවත් වන ගම්මානයක වාසය කරමින් බෞද්ධාගමික කටයුතු හා සම්බන්ධ ශබ්ද ඝෝෂා වලින් හිරිහැර විඳින නිසා ඒ සම්බන්ධයෙන් වැඩි වශයෙන් සඳහන් කිරීම වරදවා වටහා නොගනීයයි සිතමි. ශබ්ද ඝෝෂා කුමන ආයතනයකින් නිකුත් කළත් එය පරිසර දූෂණයකි.
යථාර්ථය නොදැනීම අපේ එක් ප්‍රධාන දුර්වල කමක් වන අතර එම දුර්වල කම රටේ ඉදිරි ගමනට විශාල බාධකයක් බව පැහැදිලිය. මෙහිදී අංශ ගණනාවක් කෙරේ අපේ අවධානය යොමු කළ යුතුව ඇත. ඉන් එකක් ගැන කෙටියෙන් විමසමු.
පරිසරය සහ මිනිසා අතර අන්‍යෝන්‍ය සබඳතාව ගැන විග්‍රහයක් මා කළ යුතු නොවන්නේ ඒ පිළිබඳ අපට කරුණු වටහා දීමට සමත් නිපුනයන් බොහෝ දෙනෙක් සිටින නිසයි. ස්වාභාවික හේතු සාධක නිසා පමණක් නොව, මනසින් දියුණුයයි කියා ගන්නා මිනිසා විසින් සිදුකර ගෙන යන විවිධ පාරිසරික දූෂණයන් අපට කියා දෙන වැඩසටහන් රැසක් සම්පාදනය වනවා වගේම රුක්රෝපණ දිනය, ජගත් පරිසර දිනය, ලෝක කාලගුණ විද්‍යා දිනය, ඕසෝන් දිනය, ආදි වශයෙන් වූ තේමාවන් ගණනාවක් පෙරදැරිකොටගෙන , මිනිසා විසින් සිදුකරන පාරිසරික දූෂණයන් ගණනාවක් අද හඳුනාගෙන ඇත. එසේම පාරිසරික දූෂණ නවතා දැමීමට සහ හිතවත් මට්ටමක් දක්වා අඩු කිරිමට ජනතාව යොමු කරන නීතිරීති සෑම රටකම පාහේ බල පැවැත්වේ.
ශබ්දයද එක්තරා පරිසර දූෂණ මාධ්‍යයකි. එය පරිසරයට මෙන්ම සෘජුවම සහ වක්‍ර ලෙස ශාරිරික සෞඛ්‍යයට බලපාන වැදගත් සාධකයකි. ශබ්දය විවිධ අයුරින් අපේ කනට (කන්බෙරය වෙත) ළඟා වේ. ශබ්දයක ස්වභාවය අනුව එය සංගීත ස්වරයක් හෙවත් කනට ශ්‍රව්‍ය කළ හැකි තීව්රතා සිමාවේ තිබෙන ශබ්දයක් හෝ කනට අමිහිරි, ශාරිරික අපහසුතාවයට තුඩුදෙන ඝෝෂාව යන ප්‍රභේද දෙකෙන් එක් වර්ගයකට අයත් වේ.
සංගීත ස්වරයක් හෝ කනට ගෝචර ශබ්දය හානිකර නොවේ. එහෙත් දිගුකාලීන ශබ්දයක් මිහිරි වුවද විවිධ ශ්‍රවන දුබලතා වලට මුල පුරන බව මා අසා, කියවා ඇත්තෙමි. කෙසේ වෙතත් ඝෝෂාව අමිහිරි මෙන්ම සෞඛ්‍යමය ලෙස අපට අහිතකරය. ඒවා විවිධ ශ්‍රමණ ආබාධ ගෙන දෙයි.
ස්වභාව ධර්මයා විසින් නිර්මාණය කෙරෙන ඝෝෂා වර්ග ඉතා අල්පය. බහුලව පැන නඟින ස්වාභාවික ඝෝෂා අතරින් ගිගිරුම එකකි. සමහර විට එය ප්‍රධාන ස්වාභාවික ඝෝෂාවක් නොවීමට අවශ්‍යතා ස්වභාවයෙන්ම සකසා ඇත.
කාලගුණික වෙනස්වීම දැනගත හැකි ස්වභාවික ශාරිරික අවයව කිහිපයකින් ළඟ ළඟ එන අකුණු සහිත වැසි ගැන කල්තියා හෝඩුවා ලබාගැනීමට ස්වාභාවික සත්වයා සතු ශක්තියක් ඇත. එසේම දැඩි ගිගිරුමට පෙර ඇසට දැකගත හැකි ආලෝකයක් ආපදා හැඟවීමේ එක් පෙර ලකුණකි. කන වසා ගැනීමෙන් හෝ ආරක්ෂක ස්ථානයකට යොමු වීමෙන් ඝෝෂාවෙන් ලැබිය හැකි ශ්‍රවණ ආපදා හැකි තරමින් අඩුකර ගැනීමට මිනිසාට හැකියාවක් ඇත.
එහෙත් මිනිසා විසින් සිදු කරන, ශාරිරිකවද බලපාන පරිසර දූෂණ වලින් ක්ෂණික සහ දරුණු ආපදා ළඟා කරන, ශබ්ද දූෂණය කෙරේ පාරිසරික හා සම්බන්ධ ආයතන වල ඇස යොමුවීම නම් කෙසේවත් සතුටුදායක තත්වයක නැත. අප රටේ ශබ්ද දූෂණය ඇති කරන අංශ කිහිපයකි. අනුන්ට බාධා වන පරිදි සිය රූපවාහිනී සහ ගුවන්විදුලි යන්ත්‍ර ක්‍රියා කරවන්නන්ද ඒ අතර වෙති. තම නිවැසියන්ට පමණක් ඇසෙන පරිදි එම යන්ත්‍ර වල ශබ්දය පාලනය කිරීම පහසු වුවත් අන් අයට සිදුවන අයහපත නොසලකා විශාල ඝෝෂා ඇති කරමින් එම උපකරන ශබ්ද කිරීමට හෝටල් හිමියන්, ගීත පටි ගත කරන්නන් සහ සමහර නිවැසියන් පෙලැඹී සිටීම කණගාටුදායකය. ලොතරැයි අලෙවි කරුවන් ද දවස පුරා ඝෝෂා ඇති කරන පළමු පෙළේ කණ්ඩායමකි. තැන හෝ අවස්ථාව නොබලා රැස්වීම් සහ විවිධ දැන්වීම් සඳහා අති ප්‍රබල ශබ්ද විකාශන යන්ත්‍ර යොදා ගන්නෝද අප අසහනයට පත් කරන්නෝය. මෙම ඝෝෂාවන් නවතා දැමීමට හෝ ශ්‍රවණය කළහැකි, යහපත් තත්වයක පවත්වා ගැනීමට බලපාන නීතිරීති තිබූ පලියටම යහපතක් නොවන බව ඉතා පැහැදිලිය. ඒවා (නීතිරිති) ක්‍රියාත්මක වියයුතුය. මේ සඳහා වගකිව යුතු අයගේ ඇස් ඉක්මනින් ඇරේවා.
කවුරු මොනවා කළත් අපි සෑම විටම යහපතක් බලාපොරොත්තු වන්නේ ආගමික ආයතනයකින් ය. එය සෑම ආගමකටම පොදු වන බවද සත්‍යයකි. එහෙත් අද පවතින තත්වය ඉතාම කණගාටුදායකය. අද ආගමික ආයතන සම්බන්ධ ශබ්ද ඝෝෂාවන් ජනතාවට ඉතා අහිතකර වී ඇති බවත් එන්න එන්නම තරඟකාරි ලෙස මෙම ආගමික ඝෝෂා තීව්ර වෙමින් ඉදිරියට යන බවත් පැහැදිලිව පෙනේ. සැමට යහපතක් සිදුවිය යුතු ආගමික ආයතන මඟින් විශාල පාරිසරික දූෂණ ඇතිකරමින් මහජනයා අසහනයට පත් කරන්නේ එම ආයතන නායකයින් යථාර්තය වැටහීමේ දුර්වල කමක් නිසාද, පීඩාවිඳින ජනයා නිහඬ වීමද, නැතහොත් අදාල ආයතන ශබ්ද වැලැක්වීමේ නිතිරිතී ක්‍රියාත්මක කිරීමට ඇති බියක් හෝ අලස බවක් දක්වන නිසාදැයි ප්‍රශ්න කළ යුතුව ඇත.
ශ්‍රී ලංකාවේ අප ආගම් හෝ දර්ශන කිහිපයකට අයත් වුවන්ගෙන් සමන්විතය. ප්‍රධාන ආගම් හා සම්බන්ධ ආයතන සියල්ලම පාහේ බොළඳ ලෙස ශබ්ද දූෂණ පැතිරවීමට දායක වී සිටීම අභාග්‍යකි.
රටේ දිනෙන් දින උග්‍ර වෙමින් පවතින ස්ත්‍රී දූෂණ, කොල්ලකෑම්, සොරකම්, මිනී මැරුම් සියදිවිනසාගැනීම්, පැහැරගැනීම්, ඇතු`ඵ අපරාධ රැල්ල දෙස විමසුම් කරන විට හංදියක් හංදියක් ගානේ පන්සලක් පන්සලක් ගානේ, පල්ලියක් පල්ලියක් ගානේ කෝවිලක් කෝවිලක් ගානේ මෙතෙක් පැවැත්වූ ශබ්ද ඝෝෂා වලින් සිදුවී ඇති මෙහෙය කුමක්ද? නැතිනම් ඉදිරියේදී සිදුවන යහපත කුමක්ද යන්න ඇසිය යුතුව ඇත.
කනට දරන්නට බැරි තරමේ උග්‍රවූ ඩෙසිබල් ගනන් වලින් හෙබි ඝෝෂා විවිධ ජනකොටස් වලට හානි දායකය. මෙහිදී, කුඩා දරුවන්, වයෝවෘධයින්, පාසැල් සිසුන් සහ රෝගීන් අතිවිශේෂයි. ආරෝග්‍යශාලා සහ පාසල් අසළ යටත් පිරිසෙයින් මෝටර් රථ වල නලාවවත් ශබ්ද කිරීම අයහපත් ලෙස සැලකෙන්නේ මේ නිසාය. එහෙත් නැනවතා අඩියවත් නොතබන තැන මෝඩයා කරනම් ගසනවා යැයි යන කියමන සනාථ කරමින් ආගම් හා සම්බන්ධ ආයතන සිල්ලම පාහේ ශබ්ද දූෂණ පැතිරවීමට දායක වී සිටි.
සමහර ආගමික ආයතන පාසල් පුස්තකාල සහ ආරෝග්‍යශාලා ආසන්නයේ පිහිටා ඇත. ඝෝෂාවෙන් පාසල් සහ ආරෝග්‍යශාලා වැනි මධ්‍යස්ථාන වලට බාධා වන බව ළදරුවෙකුට වුවද වැටහෙන සත්‍යයකි. ආගමික ආයතන වලට සම්බන්ධ නැණවතුන් සෑම ජනයා වෙතම කරුණා බැල්මෙන් බලා කටයුතු කළ යුතු වුවද අද බොහෝ එවැනි ආයතන වල මුදල් රැස්කිරීමේ එකම අරමුණින් විවිධ වැඩසටහන් සම්පාදනය කරන්නන්ගේ තෝතැනි වී ඇත. තවද මුදල් ඔස්සේ හඹා යාමේදී විශාල තරඟයක නිරත වී ඇත. ආගම් වෙනුවෙන් තරඟ කිරීම අනුමත කළ හැක්කේ කාට ද? මෙම තරඟය ජයගැනීමේ මූලික පරමාර්ථයෙන් ඝෝෂාව යොදාගැනීම ඉතාම හානිදායකය. එකිනෙක ආගමික ආයතන අතර ඇති තරඟයටත් වඩා එකම ආගමට අයත් ආයතන අතර තරඟය ඉතා පිලිකුල් සහගතය. මෙම තරඟයේ පෙරමුණ ගෙන ඇත්තේ ශබ්ද ඝෝෂාවයි. අසල ඇත්තේ පාසලද, ආරෝග්‍යශාලාවද මහ`ඵ මඩමද ළදරු පාසලද යන්න මේ ආයතන වල පාලකයන්ට හෝ ඔවුන්ගේ සහායකයින්ට ප්‍රශ්නයක් නොවේ. පිංකැටයට කාසි වැටෙන ප්‍රමාණයෙන් කටයුත්තේ සාර්ථකත්වය මැනේ. කන් බිහිරි කරවන ඝෝෂා උදේ හවා පළාත දෙවනත් කිරීමට යොදා ගන්නේ ඉතා කෲර ලෙසිනි. මේ පිළිබඳ උදාහරණ බොහෝ ඔබ ළඟ ඇතිවාට සැක නැත. එහෙත් මෙම ඝෝෂා වලින් පීඩා විඳින්නෝ බොහොමයක් ඉතාම අසරණ සහ අසීරු තත්වයට පත් වී ඇත්තේ විශේෂයෙන්ම ආගමික ආයතනයකට එරෙහිව චෝදනාවක් ඉදිරිපත් කිරිමට කොහේවත් ඉඩක් නොමැති නිසාය.
ළඟම සිටින ග්‍රාම නිළධාරිවරයාට පැමිණිලි කිරීමෙන් වැඩක් නොවු තැන සමහර අය පොලිසියේ පිහිට පැතුවද ආගමික ආයතන ඉදිරියේ නීතිය ක්‍රියාත්මක කරීමට තරම් පොලිසියේ කොන්ද සවිමත් නැත. සමහර ජන මාධ්‍ය පවා යථාර්තවාදීව අදහස් පලකිරීමට දක්වන්නේ පුදුමාකාර බියගුලු බවක් වීම ජනතාව ඉතාම අභාග්‍ය සම්පන්න තත්වයට පත්වීමට හේතුවී ඇත. දේශපාලන නායකයින් හෝ පරිසර අමාත්‍යංශය ඊටත් වඩා ජනතාවගෙන් ඈත්ව සිටින සේය.
පුදුමාකාර ලෙස පරිසර ආයතන මෙහිදී මුනිවත රැකීම රටේම කරුමයකි. එය ආයතන වල උස් පුටු වල වැජඹෙන්නන් ඝෝෂාව පරිසර හානිකාරකයක් බව අන්තර්ජාතික (හෝ ජාතික) සමු`ඵ වලදී පසක් කර ගෙන සිටි, නැතහොත් ශබ්ද දූෂණය අවම ලෙස යොදා ගන්නා මිනිස් ශ්‍රවණයට ගෝචර ශබ්ද මට්ටම් ගැන මනා දැනුමක් ඇත්තෝය. මේසා හානිකර ඝෝෂා නිෂ්පාදනය කරන සෑම ප්‍රභවයක්ම පාලනය කිරීමේ නීතිරිති වහා සකස් කළයුතුව ඇත. ආගමික වේවා නෙවේවා ශබ්ද දූෂණ වහා නැවැත් විය යුතු නීතිරීති අදම ක්‍රියාවට නැඟිය යුත්තේය.
පාසලක් අවට පවතින ඝෝෂාවන් නිසා සිදුවන බාධාව අමුතුවෙන් කිවයුතුද? ආරෝග්‍යශාලාවක් අසල වාහන නලා ශබ්ද කිරීම පවා තහනම් කාර්යයක් ලෙස සැලකුවේ අද ඊයේ නොවේ. රෝගීන්ගේ තත්වය උත්සන්න කිරීමට ඝෝෂා කාරි උස් හඬවල් හේතු වන බව ආගමික නායකයින්ට පහදා දියයුතු කරුණක්ද? අප නිතර අසන ඔවුනගේ දේශන වල ගැබ් වන කරුණු වලින් එය මනාව පැහැදිලිය.
ආගමික ශබ්ද ඝෝෂා බොහෝවිට ආරම්භ වන්නේ ළදරුවන් සහ වයස්ගත අය මෙන්ම රෝගීන් හොඳින් නිදන හිමිදිරියේය. තවද බොහෝ පාසල් සිසුන් පත පොත කියවන හෝරාවේය. මුස්ලිම් පල්ලියේ, කතෝලික පල්ලියේ පමණක් නොව, සත්ව කරුණාව පෙරදැරි කරගත් පන්සලේ කියා වෙනසක් නොමැතිව උච්ජ ඝෝෂාව බොහෝවිට පෙරවරු 5 ට පමණ හෙනයක් ගසන ස්වභාවයෙන් ආරම්භ වන්නේ බොහෝ අය අසීරුවට පත් කරමින්ය. නගර වල හංදි ගානේ මෙන්ම ගම්දනව් වලද දැන් දැන් රෝගයක් මෙන් පැතිරෙන පිරිත්, කවි බණ ශබ්ද පටි සහ විඩීයෝ තාක්ෂණය බුද්ධ දර්ශනය බිඳක්වත් නොදන්නා වුන් විසින් පරිශීලනය කිරීම තවත් අභාග්‍යයකි. සමහර පන්සල් වල අලුයමේ පමණක් නොව සවස හෝරා ගනන් දිගු වන ඝෝෂා පැවැත්වීම ජනතා රාජකාරී සහ සෞඛ්‍යයට විශාල බාධාවක් වී ඇතත් මේ යථාර්තය පෙන්වා දීමට පාරිසරික අමාත්‍යාංශයවත් ඉදිරිපත් නොවන්නේ මන්ද?
කරදරයකදී හෝ උවදුරකදී මිනිසා උදව් සහ සහනය පතා දිව යන්නේ ආගමික ආයතනයකටය. අපට මුහුණ පෑමට සිදුවන විවිධ ගැහැට පිළිබඳව යථාර්ථවාදීව බලා ගැලපෙන විසඳුම් නොබියව ගැනීමට අප පමණක් නොව පාලකයින් පවා පෙලැඹවීමේ මහා සද්කාර්යය ආගමික ආයතන හා සම්බන්ධ ප්‍රභූ වරුන්ගෙන් අපි බලාපොරොත්තු වෙමු. යථාර්ථය එසේ තිබියදී විවිධ දූෂණයන්ට එම ආයතනම දායක වේනම් එය රටේම අභාග්‍යයක් වන්නේමය.
මේ ටිකත් අප වටහා ගත යුතුය. කිසිම ආගමක ශාස්තෘවරයෙක් සංගීතඥයෙක් නොවනවා සේම, සංගීතය ඔස්සේ මිනිස් සිතට ආගම් ඇතුල් කිරිමට උත්සාහ කොටද නොමැත. ඔවුන් ඒ උත්තම දේශනා වල වචනයක් වචනයක් පාසා ගැඹුරු අරුතක් ගැබ් කළේය. බුද්ධ දර්ශනය මෙයට ඉතාම හොඳ නිදසුන වන්නේය. ආගමික දෙසුමක වැදගත්ම කොටස එහි අර්ථයයි. අසන දේශනාවේ ගෝ ගැයුමේ අරුත නොදන්නේ නම් එය එක්කෝ කන පිනවන සංගීතයකි. නැතිනම් අසහනකාරී ඝෝෂාවකි. ආගමික ඝෝෂාව මෙතරම් ව්‍යාප්ත වෙද්දීම රට අභාග්‍යයට යන්නේ මෙනිසාය. තමන් අදහන ආගම වටහාගත් අයට මේ දෙකම අනවශ්‍යය.
විවිධ උපක්‍රම සහ බලපෑම් වලින් මානසික ලෙස දූෂණයට භාජනය වී සිටින අසරණ ජනතාව තවතවත් රවටමින් ආගමික ආයතන ආමිස පූජාව යන වචනය කඩතුරාව සේ අල්ලා ගෙන විවිධ නම් යෙදූ උත්සව හෙවත් මඟුල් සංවිධානය කොට මුලාව සහ විනෝදය තුළින් පිංකැට පුරවාලීමක යෙදී සිටියි. මෙය තරඟකාරිව සිදුවන අතර තරඟයෙන් ජය ලැබීමට ශබ්ද ඝෝෂාව යොදා ගනී. මේ පරිසර දූෂණය සාර්ථක කරගැනීම උදෙසා ශබ්දවාහිනි යන්ත්‍ර පූජා කරන (අන්ධ) බැතිමතා මහා පිනක් කර ගත් තැනැත්තකු කර ශබ්දවාහිනිය ඔස්සේම ස්වර්ගස්ථ කෙරේ,
ශ්‍රී ලංකික අප ආගම් කිහිපයකට අයත් වන අතර අපේ රටේ තම තමන්ගේ ආගම ඇදහීමේ පුදුමාකාර නිදහසක් භුක්ති විඳිමු. සමහරුන්ට ආගමේ පිලිපැදිය යුතු කරුණු නිතර ඇසීමේ අවශ්‍යතාවයක් ඇත්තේ ඔහේ චාරිත්‍රයක් ලෙස තම ආගම අදහන හෙයින්ය. ආගමේ අන්තර්ගතය වටහා ගැනීමටවත් පිළිපැදීමටවත් විශේෂ උනන්දුවක් ඔවුන්ට නැත. සමහරු ආගම ධර්මය යහමින් වටහාගෙන හැකි පමණින් එය පිළිපදින අතර පිරිසිදු සිතින් ආගමික ආයතන වලදී වතාවත් වලට සහභාගී වෙති. ඉතා හොඳින් ආගම අවබෝධ කළ තවත් ජන කොටසක් එය හැකි පමණ පිළිපදින අතර ඔවුනට විවිධ උත්සව වලට සහභාගී වීමේ විශේෂ අවශ්‍යතාවයක් නොමැත්තේ එම නාඩගම් වල අර්ථයක් නොපෙනෙන නිසාය. මේ කවරනම් කෙනෙකුට හෝ ශබ්ද ඝෝෂාව මඟින් බලෙන් අවශ්‍ය අනවශ්‍ය ලෙස හිරිහැර කිරීම මහා පාපයකි.
තමන් අදහන ආගම තමන් කැමති ශබ්ද තීව්රතා වලින් රූපවාහිනියෙන් හෝ ගුවන්විදුලියෙන් ඇසීමේ හා බැලීමේ හැකියාව අප රටේ බහුතරයකට ඇත. මේ නිසා අනවශ්‍ය, පදනම් රහිත ඝෝෂා වලින් සෑම ජන කොට්ඨාශයක්ම පෙලීම අනවශ්‍යය. එසේ කිරීම අපරාධයක් වේ. ජනාකීර්ණ නගරබද ස්ථාන වල කාර්ය බහුල වේලාවල පවා විදුලි කණු ගානේ ශබ්දවාහිනි යන්ත්‍ර ගැටගසා සමහර ආගමික ආයතන කරන ශබ්ද ඝෝෂාව මෙවන් අත්තනෝමතික කාර්යයකි. තමන් අදහන ආගම තමන් කැමති ශබ්ද තීව්රතා වලින් රූපවාහිනියෙන් හෝ ගුවන්විදුලියෙන් ඇසීමේ සහ බැලීමේ පහසුකම් නොමැති අතලොස්ස පමණක් තම ආයතනය වෙත කැඳවා ඔවුනට ඇසෙන ප්‍රමාණයේ ශබිදයකින් දේශනාවක් පැවැත්වීම හොඳටම සෑහෙන බව උගත් වගේම බුද්ධිමත් හැමට වැටහෙන කරුණකි. මෙම යථාර්තය සියලුම ආගමික ආයතන වලට සම්බන්ධ වී ශබ්ද ඝෝෂාව මඟින් අප පෙලන හැමට වැටහේවායි පතමු.
අප රට අද පත් වී ඇති අභාග්‍ය සම්පන්න තත්වයෙන් ගොඩ ගැනීමට මඳකින් හෝ රුකුලක් දීමට අවස්ථාවක්ද උදා කර ගැනීමේ පින ලබා ගැනීමටද එමඟින් හැකි වනු ඇත. ශබ්ද දූෂණ සඳහා වැය වන ලක්ෂ ගණන් වූ ධනය ව්‍යසනයට මුහුණ දී සිටින අපේම සොහොයුර සොහොයුරියන්ගේ මොකක් හෝ අවශ්‍යතාවයක් පිරිමැසීමක් සඳහා වෙන් කිරීම ඉතාම කාලෝචිත වන බව අවධාරණය කර සිටිමි.
Comments
Post a Comment