සූර්යයාට ලං වෙමින් අප සිසිල් වන කාලයයි මේ


කේ.ආර්.අභයසිංහ,
බාහිර කථිකාචාර්ය, විද්‍යා පශ්චාත් උපාධි ආයතනය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය 
නිශ්චලව තිබෙන අපේ ලෝකය වටා හිරු සහ අනෙක් ග්‍රහ වස්තු ගමන් කරන බව විශ්වාස කිරීමට පුරුදුව සිටි මිනිසාගේ ඒ විශ්වාසයන් උඩු යටිකුරු කිරීමට හේතුවූ විද්‍යාත්මක සත්‍ය හෙලිකළ සමහර දාර්ශනිකයන්ට ජිවිතයෙන් පවා වන්දි ගෙවීමට සිදුවු බව නොරහසකි. එසේ වුවද අද වන විට විශ්වය සහ අපගේ සෞරග්‍රහ මණ්ඩලයේ හිරු සහ අප පෘථිවිය අතර සිදුවන ගමන ගැන සාධක බොහෝමයක් පාසල් සිසුන්ගේ පොත පතටත් එකතු වී ඇත. 
සූර්යයා වටා ඉලිප්සාකාර මාර්ගයක දින 365.24 ක් තුළ අප ලෝකය එක් වටයක් ගෙවන අතරතුර පෘථිවිය සිය උත්තර සහ දක්ශිණ ධ්රැව (North and south poles) යාවන අක්ෂය වටා පැය 23 මිනිත්තු 56 තත්පර 4.1 කදී එක් පරිභ්‍රමණයක් සිදුකරයි. එසේ භ්‍රමණය වනවිට සූර්යයා නැගෙනහිරෙන් උදාවී ආසන්න වශයෙන් පැය 12කට පසුව බටහිරෙන් බැස යන බව දිස්වේ. සූර්යයා සෑමදා එකම මගක් හරහා නොයන බව ඔබ නිරික්ෂණය කර ඇත. පෘථිවියේ අක්ෂය හිරු-පෘථිවි යාවන තලයට ලම්භක නොවී, අංශක 23.5 ක කෝණයකින් ඇලවී තිබීම මීට හේතුවයි. 
අංශක 23.5 ක් ඇලව අක්ෂය තබා ගනිමින් පෘථිවිය ගිරු වටා ගමනේ යෙදෙන නිසා දිනෙන් දින හිරු මුදුන් වන පොලවේ ස්ථානය (අක්ෂාංසය) වෙනස්වේ. පෘථිවි තලයට හිරු එළිය සහ තාපය ලඟා වීමේ විශමතාවයන් ඇති වීමට බලපාන එක් ප්‍රධාන සාධකයක් නම් පෘථිවිය සහ හිරු අතර දුරප්‍රමාණයයි. පෘථිවියේ ගමන් මඟ ඉලිප්සයක් නිසා පෘථිවිය සහ හිරු අතර ඇති දුර මොහොතින් මොහොත වෙනස්වේ. හිරුගේ සිට අප සිටින දුර කිලෝ මීටර 152000000000 ක් (කි.මී. මිලියන 152) වන ජුලි 5 දා අපට හිරු ඈතම දවස වන අතර එම දුර කිලේ මීටර 147000000 ක් (කි.මී.මිලියන 147ක්) වන ජනවාරි 3 දා අප හිරුට ආසන්න දිනයයි. 
එසේනම් මේ අප ගෙවන්නේ හිරුට ළංළං වන වකවානුවයි. නමුත් අප දිවයිනට සීතළ කාලගුණ තත්වයන් බලපාන කාලය දෙසැම්බර් - ජනවාරි බව අප සැම දන්නා කරුණක් නොවේද? මෙසේ හිරුට ළඟා වෙද්දීත් අප සිසිල් වන හේතුව වටහා කුමක්ද? 
හිරු වටා පෘථිවියේ ගමන් මග පිහිටි තලයට ලම්බක දිශාව සමඟ, පෘථීවියේ අක්ෂය සාදන කෝණය 23.5 නිසා හිරු මුදුන් වන අකක්ෂාංශය උතුරු අංශක 23.5 සහ දකුණු අංශක 23.5 අතර වෙනස්වේ. සූර්යයා දක්ෂිණ අර්ධ ගෝලයේ ඉතා ඈතින්ම එනම් අක්ෂාංශ 23.5 හේ පිහිටන දිනය දෙසැම්බර් 22 දා හෝ 23 දාය. එදා සිට ක්‍රමයෙන් වෙනස් වෙමින් අප්‍රේල් මාසය වන විට හිරු අප රටට මුදුන් වන කාලය එළඹෙයි. දෙසැම්බර් - ජනවාරි කාලයේ අප හිරුට ළං වුවත් හිරු සිට එන තාප කිරණ ඇළව ළඟාවන නිසා අප පරිසරය උණුසුම් කිරීම දුර්වල වීම සිසිල් පරිසරයක් වර්ධනය වීමට හේතුවන්නේය. අප රටට මෙන් නොව නිරක්ෂයට ඉතා ඈත උතුරු භුමිභාග වල අයිස් මිදෙන තරමට සිසිල් වන්නේද මේ කාලයේමයි. 
එල්නිනෝ තත්වයක බලපෑම නිසා අප රටේ ප්‍රදේශ බොහෝමයක දිගු වර්ෂා දින පැවති නිසා පසුගිය ඔක්තෝබර් - නොවැම්බර් කාලයේ වැඩි දින ගණනක් තරමක් සිසිල් විය. ඒ තාවකාලික සිසිල් වීමකි. එහෙත් ළඟ එන වකවානුවේ හිරු තාපයේ අවම බලපෑම නිසා වැසි වැටුනත් නැතත් වැඩි දින ගණනාවක් සීතළ වාතාවරණයෙන් අප අවට පිරි යනු ඇත. බොහෝ දිනවල කාලගුණය යහපත් වුවත් සමහර සාධක ආපදාකාරි වන්නටද අවකාශ ඇත. ඒ පිළිබඳවද පසුව සාකච්ඡා කරමු. 


Comments