ආගම පිළිබඳ සම්භාව්‍ය මාක්ස්වාදයේ ආකල්පය

 විප්ලවාදි කෙමියුනිස්ට් සංගමයේ , වර්තමාන -සමාජවාදි සමානතා පක්ෂයේ හිටපු ලෙක්ම් කීර්ති බාලසූරියගේ දේශනයක් ඇසුරිනි.
ආගම වර්තමාන සමාජය තුළ ඉතා දැඩි ලෙස කාවැදී ඇති සමාජ සංස්ථාවකි.  පුද්ගලයෙකුගේ කල්ක්‍රියාවන් පාලනය කිරීමෙහි ප්‍රබල ශක්තියක් දරණ මෙකී සංස්ථාවේ පැවැත්ම හා ක්‍රියාකාරිත්වය සොයා බැලීම වැඩදායකය. ආගම ගැන කථාකරන සාමාන්‍ය මිනිසා එය මිනිසාට වඩා උත්තරීතර පුද්ගලයෙකුගේ නිර්මාණයක් ලෙස සලකන බව නොරහසකි. එහෙත් එය නිර්මාණය කොට එයට ජීව ශ්වාසය පිඹ, එය ක්‍රියාශීලී කරන ලද්දේ භෞතික විඝටනයේ අනුන්තර ඵලයක් වූ මිනිසා විසින්මය. මිනිසා, විසින් නිර්මාණය කරන ලද ආගම, ඔහුගේ තත්වය, සිය පැවැත්ම යටතේ දාසයකු කරගත්තේ මන්ද යන්න විග්‍රහ කර බැලිය යුත්තකි.
ආගමේ නිත්‍ය ස්වරූපය කුමක්ද යනනට එක එල්ලේ දිය හැකි පිළිතුරක් සොයා ගැනුම අපහසුය. එය ස්ථීර ස්වරූපයක් නොදරණ අතර පැවැත්ම විසින් ගුඪ ස්වරූපයක් ගනියි. වර්තමාන සමාජය තුළ නම් ආගම උසුලනුයේ සංකීර්ණ තත්වයකි. එය මනුෂ්‍යයාගේ හදවතේ පවත්නා ගුඪ හැඟීම් මාත්‍රයක සිට,  ඔහුව පාලනය කරවන සංකීර්ණ ආර්ථීක රටාවේ චාලක බලවේගයන් තෙක් විහිදි ගොස් ඇත. 
එහි ස්වභාවය තීරණය කරගැනීමට ඉතා සුදුසු අවස්ථාව වන්නේ එහිම සම්භවයයි. මිනිසා ශිෂ්ට වීමත් සමඟ වාගේ ආගම ඔහුට එක්වීය යන්න විවාද විරහිත කාරණයකි. එහි පරම නීර්මාතෘවරයා ද මිනිසාම මිස වෙන අන් කිසිවෙක් නොවේ. ඇත්ත වශයෙන්ම මිනිසා, යම් යම් දේ නිර්මාණය කළේ, ඒවායින් කිසියම් ලාභයක් හා ප්‍රයෝජනයක් තමන්ට ලැබෙතියි ඔහු විශ්වාස කළ නිසාය. ආගම ගැනද ඔහුගේ බලාපොරොත්තුව එයම වන්නට ඇත.
ප්‍රාග් ඓතිහාසික මානවයා, ස්වභාව ධර්මය හා ගෙන ගිය සටන ඉතා ප්‍රබල වූවකි. ස්වභාව ධර්මයේ බලවේගයන් මැඩ ගෙන නැගී සිටිමෙහිලා, එහි නිත්‍ය ස්වරූපය තීරණය කර ගැනීම, ඔහුට බොහෝ ප්‍රයෝජනවත් විය. එය මේ අයුරින් වඩාත් පැහැදිලි කර දිය හැක. ඉතා මුල් වකවානු වලදි ස්වභාව පරිසරය විසින් තමාට ප්‍රදානය කරන ලද දෙයින් පමණක් ජීවත් වීමට මිනිසාට සිදුවිය. ස්වභාව ධර්මයේ දායාද, ප්‍රදානයෙන් තොරව පැහැර ගැනීම, තම ජීවන කාර්යයට මහත් වාසිදායක විය හැකි බව ඔහු සිතුවේය. ගසක උස් අත්තක තිබෙන ගෙඩියක්, නටුවෙන් වෙන්වූ කල බිම පතිත වේ. බිම පතිතවන ගෙඩියෙන් තම අවශ්‍යතාවය සපුරා ගත නොහැකි වූ කල, තව ගෙඩියක් බිම පතිත කරගත හැක්කේ කෙසේද? යන්න ඔහු කල්පනා කරයි. ගල්කැටයක් උඩ දැමුව විට බිම වැටෙයි. යම් යම් දේ නිරාලම්බකව අහසේ රැඳීතිබෙන්නේ නැත. නිරාලම්බක වස්තුව, ගුරුත්වය විසින් ඇඳ ගනු ලබයි. ආරම්භක  ඵලය  නිරාලම්බක කළ විට එය බිම වැටේ. ඒ සඳහා ඊළගට මග සෙවිය යුතුයි. ගෙඩියත්, ගසකින් බිම හෙලා ගැනීමට මිනිසාට හැකිවූයේ, ගසකින් ගෙඩියක්  බිම පතිත වීම, යන සිද්ධිය තීරණය කර ගැනීම නිසයි. තීරණය වන තරමටම පහසුව දැඩිවේ.  මිනිසා, ශිෂ්ට වූයේද, තමා විසින්  ලබන ලද අත්දැකීම් තුළින්, යම් යම් තීරණ වලට ඔහුව මෙහෙයවනු ලැබු නිසයි.
තීරණය ඉතාම අවශ්‍ය දෙයක් වුවත්, ස්වභාව ධර්මය මුළුමනින්ම වටහා ගැනීමට අවශ්‍ය ඥේය පරිසමාප්තිය ඔහු වෙත නොපිහිටියේය. එබැවින් ඇතැම් දේ ගැන ඔහු තුළ පැවැත්තේ අතීරණයි. තීරණයෙන් තොරව යම් යම් දේ හා සිද්ධි  දෙස ඉඳුරන් යොමා සිටීමට මිනිසා සැබැවින්ම අකැමැති වූවාක් මෙන්ම, එම අතීරණය මිනිසාට මහත් පීඩාවක් ද විය. අතීරණයම, තීරණයක් කරගත් කල්හි, ඔහුගේ හදින් නැගී ආවේ කල්පිත මායාවන්ය. ඒවාට ස්වභාව ධර්මය යටත් කරලීම, එහිම දෙවැනි පියවරයි. ස්වභාව ධර්මය පවා පාලනය කරන බව ඔහු පසුකලෙක විශ්වාස කළේය.
භව්‍ය ලෝකයේ පවත්නා සිද්ධි මිනිස් මොළයට වැද, පරාවර්තනය වූයේ අභව්‍ය මායාවක් බවටය. ඒවා මිනිස් මනසින් එළියට විහිදුවන ලද කල්පනා ලෝක විය. මාක්ස් කී පරිදි, තම ජීවිතය පාලනය කරන සත්‍ය බලවේගයන්, මිනිස් මොළයට වැද, “අතීරණයේ නාමයෙන්” පරාවර්තනය වී නිර්මාණය වූ ගුඪ ලෝකය ආගමයි. එවන් ලෝක මිනිස් මොළයේ විකෘති මායාවන් වුවද, නිපදවන ලද්දේ මිනිසා විසින්මය. තම ජීවන කටයුතු උදෙසා අවශ්‍ය ආධාර හා උපකාර දෙන සර්වබලධාරි බලවේග මෙකී මායා ලෝකවල වීරයෝ වූහ. ආගම් පිළිබඳ අභව්‍ය කල්පනා, මිනිසාගේ ලෝකය තුළ භව්‍ය දේ විය. තමා මෙලොවට ආවේ, එකී මායාවන් තුළිනි යන්න ඔහු විශ්වාස කළේය. මෙලොව විසින් තමා නිපද වූ  බව ඔහු නොදත්තේය. එබැවින් මිනිස් මොළයෙන් පරිබාහිරව, සාතන්ගේ හෝ ඔහුගේ ලෝකයන්ගේ පැවැත්ම ගැන මැත දොඩන්නෙකු අද සමාජය තුළ වෙත්නම් ඔහු ඇතුළු කළ යුත්තේ, දොළොස්වන සියවසේ කටුගෙයකටය.
පන්ති සාමාජයක පහළ වීමත් සමගම, එක් පන්තියක් විසින් අනෙක් පන්තිය සුරා කෑමද ඇරඹිණ. සූරා කෑමේ පිළිවෙත මනා කොට සිදුකර ගෙන යෑමට, පාලක පන්තිය නිතර දෙවේලේ සෙව්වේ ආගමේ පිහිටය, පන්ති සහිත සමාජයක, ආගම විසින් පිඩීතයන් මත පටවන ලද්දේ නියත වශයෙන්ම, ආර්ථික පීඩාවන් විනා වෙනයමක් නොවන බව, මාක්ස් මෙන්ම ලෙනින්ද කීවේය.” “ආගම විසින් මිනිසා මත පටවන ලද බර නියත වශයෙන්ම සමාජය තුළ පවත්නා ආර්ථික පීඩාවෙහි, ඵලයන්ගේ හා අනු ඵලයන්ගේ බරම බව, මන්ද බුද්ධික මධ්‍යම පන්තිකයෝ නොදනිති”. ලෙනින් x ඔන් සෝෂලිස්ට් අයිඩඔලොජි-
අපන්තික සමාජයක් තුළ, ආගම විසින් මිනිසා ගේ හිසමත පටවන ලද්දේ, ස්වභාව ධර්මයේම පැවැති ගුප්ත පීඩාවයි. එම පීඩාව, පන්ති සමාජයක් තුළ, පන්තියක් විසින් වෙනත් පන්තියක් මැඩීමේදී පරිවර්තනය වූයේ පන්ති පීඩාවකටයි. තමා මෙලොව දුක් විඳින්නේ මන්ද යන්න ට ඔවුන්ගේ පිළිතුර පෙර පැවැත්ම හේතු කොටගෙන යන්නයි. එයද, පාගන පන්තිවල බලවේග තීරණය කර ගැනීමට බැරිකමේ අනිටු ඵලයක් පමණි. නිත්‍ය පීඩාවෙන් නිදහස්වීමට මිනිසාට බලකරන ගතියක් ආගමකද තිබේ. එම නිදහසද පවත්නේ කල්පිතය (fantacy) තුළ පමණි. සත්‍ය පීඩාව විසින් මායාකාරි පීඩාව, මෙහෙයවනු ලබන්නේ මේ අයුරිනි.
තමාගේ තත්ත්වය විශ්වය තුළින් තීරණය කර ගැනීමට බැරිවීම නිසා, ඇතිකරගත් මායාකාරි විශ්වාසයක් විනා ආගම වෙනයමක් නොවේ.●

එය පීඩිතයාගේ සුසුමයි
ආත්මයත් නැති ලොවක ආත්මයයි.
හදවතත් නැති ලොවක හදවතයි.
ආගම මිනිසාගේ අභිංය-: කාල් මාක්ස්-

Comments