කේ.ඒ.කුලතිලක
ක්‍රි.පූ 3 වන සියවසේ දී මිහිඳු හිමියන් විසින් පාලි පිටක ග්‍රන්ථවල ඇතුලත් බුදුදහම මෙරටට හඳුන්වා දෙනු ලැබීය. පාළි පිටක ග්‍රන්ථවල ඇතුළත් වී තිබුණේ බොහෝ දුරට බුදුන් විසින් දේශිත මුල් බුදු දහම වන අතර එය ථේරවදී බුදු දහම ලෙස හැඳින්විණ. එම “ථේරවාදී පිරිසිදු බුදුදහම ලක්දිව එලෙසම පැවතියේ ශත වර්ෂ 2 ක් පමණ කාලයක් බවත්, එතැන් සිට පිරිසුදු බුදු දහමට දකුණු ඉන්දියාව මුල් කර ගෙන බිහිවූ විවිධ මතවාද එකතු වූ බවත්, ශාසන ඉතිහාසය තුළ දැකගත හැක.
ලංකා ශාසන ඉතිහාසයේ මුල් වරට ඇතිවූ සංඝභේදය ථේරවාදී බුදු දහම විකෘත වීමට පසුබිම සැකසීය. වලගම්බා රාජ සමයේ (ක්‍රි.පූ 89-77) අභයගිරිය පෞද්ගලිකව පිළිගැනීම නිසා මහාචූල මහතිස් තෙරුන් මහා විහාරයෙන් පළවා හැරීම මුල් කරගෙන පළමු සංඝභේදය ඇතිවිය. මහායානවාදී අදහස් විවිධ වේශයෙන් රටතුළට ඇතුළු වන්නේ ලක් සඟ සසුන මෙසේ දෙදරුම්කා තිබිය දී ය. වෝහාරික තිස්ස රාජ සමයේ වෛතුල්‍යවාදී නමින් නිකායක් බිහිවෙයි. ගෝඨාභය රාජසමයේ (ක්‍රි.ව253-266) මහායානික සංඝමිත්තා භික්ෂුව මැදිහත් වී ඇතිවීමට ගිය තත්වය රජතුමා විසින් මර්දනය කළ ද මහසෙන් රාජ සමයේ (ක්‍රි.ව 276-303) ද රාජ අනුග්‍රහය ඇතිව මහායානය පැතිරීමට සුදුසු පසුබිම සැකසෙයි. මහසෙන් සමයේ මහා විහාරය රාජ උදහසට ලක්වන අතර, මහායානය පිළිගත් අභයගිරිය රාජ අනුග්‍රහය ලබන විහාරය බවට පත්වෙයි. මහසෙන් සමයේ ඉදිවුන ජේතවන විහාරයද අභයගිරියේම ද්වීතීය ආයතනය බවට පත්වෙයි. මේ අනුව ථේරවාදී මහා විහාරය අඩපණ වෙද්දී අභයගිරිය හා ජේතවනය මුල්කරගෙන මහායානය රටතුළ ව්‍යාප්ත වෙයි. කිත්සිරිමෙවන් රජ සමයේ (ක්‍රි.ව 303-331) වැඩම වූ දළදාව ද භාරවූයේ අභයගිරි විහාරයටයි. එම සිද්ධිය මහායානික පූජාක්‍රම මුල්බැස ගැනීමට ප්‍රබල හේතුවක් වන්නට ඇත.
මහානාම රජ දවස (ක්‍රි.ව 410-423) බුද්ධඝෝෂ හිමියන් විසින් සිංහලෙන් ලියා තිබූ අටුවා ග්රන්ථ පාළියට නැගීම, මුල් බුදු දහම විකෘති වීමේ වැදගත් සිද්ධියක් වූ බවට සාධක ඇත. පරිවර්තනයෙන් පසු සිංහල අටුවා පිටපත් විනාශ කිරීම ප්රශ්නකාරීය. මේ පරිවර්තනයට මුල් වූ හේතුව කුමක්ද යන්න ද නොවිසඳුන ගැටළුවකි. පරිවර්තනයේදී මුල් අටුවාවල නොවූ පූජාවිධි, පිරිත් දේශනා අලුතින් ඇතුළත් වී ඇත. මේ සිද්ධි මෙසේ සිදු වෙද්දී මහාවිහාර අභයගිරි භේදය බොහෝ දුරට වර්ධනය වී, අභයගිරි හා ජේතවන විහාරවල මහායානය මුල් බැසගෙන තිබූ බව සැලකිය යුතු කරුණකි. බුද්ධඝෝෂ හිමි දකුණු ඉන්දියාවෙන් පැමිණි අයෙකු නිසා මහායාන ආභාෂය ලැබූවකු විය යුතුය.
අභයගිරිය හා ජේතවනය මුල්කරගෙන මෙරට ව්‍යාප්ත වූ මහායානය, ථේරවාදයට වඩා මහජන ප්‍රසාදය දිනා ගැනීමේදී බලපෑ හේතු ගණනාවක්ම විය. මෙරට ප්රාග් බෞද්ධ ජන විශ්වාස එහිදී වැදගත් වන්නට ඇත. ප්රාග් බෞද්ධ ජන විශ්වාස එහිදී වැදගත් වන්නට ඇත. ප්රාග් බෞද්ධ යුගය තූල පැවති ගස්ගල්, යක්ෂයින්, මළවුන් ඇදහිලි මහායාන අදහස් හා සමපාත වන්නට ඇත. මහායානය සමඟ ආ බෝධි වන්දනාව, බෝධිසත්ව වන්දනාව, දේව වන්දනා ජනප්‍රිය වන්නේ fමි පසුබිම තුළය.
පුහුදුන් ජන මනස ක්‍රියාත්මක වන ආකාරයද මහායානය ජනප්‍රිය වීමට හේතු වන්නට ඇත. ථේරවාදය ලෞකික තත්වය කෙරේ අවධානය යොමු කළේ අල්ප වශයෙනි. ථේරවාදයේ අරමුණ වූයේ පර්යාප්ති, ප්‍රතිපත්ති, ප්‍රතිවේධ වශයෙන් ක්රමාණුකූලව නිර්වානය අවබෝධ කර ගැනීමයි. එහෙත් මහායානය මිනිසාගේ ලෞකික ජීවිතයට වඩා ළං විය. මිනිසාගේ පුහුදුන් මානසික අවශ්‍යතා සපුරා ලීමට මහායානයට හැකිවිය. නිර්වාණය ඉදිරියට කල් දැමීමට හැකි විය. එතෙක් ලෞකික සැප සම්පත් විඳීමට අතරක් ලබා ගත හැකි විය. ලෞකික ජීවිතය සාර්ථක වීමට අවශ්‍ය මානසික තෘප්තිය, නිර්මාණ කුශලතා සාමුහිකත්වය, කලාව වර්ධනය කරගැනීමට මහායානය ඉවහල් විය. මහා විහාරය හා අභයගිරි විද්‍යා පීඨවල විෂයමාලාවන් විමසීමෙන් මේ බව පැහැදිලි වේ.
මහා විහාරය මුල් කරගත් ථේරවාදී අධ්‍යාපන ක්‍රමය තුළ, ලෞකික පක්ෂයට බරවූ ඇතැම් විෂයයන් ද පැවති නමුත්, ඒවා වෛද්‍ය ශාස්ත්‍රය, වෙහෙර විහාර මුල්කරගත් ගෘහ නිර්මාණ ශිල්පය වැනි ක්ෂේත්රයන්ට පමණක් සීමා විය. එහෙත් මහායාන ආභාෂය ලද අභයගිරි විද්‍යා පීඨයේ විෂය මාලාවේ මූලික අධ්‍යාපනයට අමතරව යන්ත්‍ර මන්ත්‍ර, සූප ශාස්ත්‍ර, ධනු ශිල්පය, හස්ති අශ්ව ශිල්ප, නගර නිර්මාණය, ජල තාක්ෂණය, සාමුද්‍රික ශාස්ත්‍රය, රන් රිදි යකඩ කර්මාන්ත ආදිය පමණක් නොව, ස්ත්‍රී ලක්ෂණ, පුරුෂ ලක්ෂණ වැනි අංගද ඇතුලත් විය. රන්, රිදි, ලෝහ කර්මාන්ත ශාලා අභයගිරිය ආශ්‍රිතව පැවති බවත් ඒවායේ කාසි නිර්මානය සිදු වූ බවටත් පුරා විද්‍යා ශාක්ෂි හමු වී ඇත. කාසි නිපදවීම රාජ්‍ය ඒකාධිකාරයක් බැවින් රජය හා අභයගිරිය අතර පැවති සමීප විශ්වාසවන්ත භාවය ඔප්පු වේ.
ලෞකිකත්වයට බරවූ අතිශය සුන්දර නිර්මාණ බිහිවී ඇත්තේ මහායානය මුල් කරගත් අභයගිරි විහාර පාර්ශ්වයෙනි. සුප්‍රකට සමාධි පිළිමය, සඳකඩ පහණ, අයත්වන්නේ අභයගිරි සංකීර්ණයටයි. ඉසුරුමුණි පෙම් යුවල, කුට්ටම් පොකුණ, දර්ශනීය මුරගල් හා කොරවක්ගල් සියල්ල අභයගිරි විහාර සංකීර්ණයට අයත්ය. මෙම සුන්දර නිර්මාණ ජන හදවත් ඇඳ බැඳ ගන්නට ඇත. දළදාව වැඩම කිරීමෙන් පසු දළදා පෙරහැර සංවිධානය කිරීමේ කාර්ය භාර්ය අභයගිරියට පැවරිණි. නාහිමියන් සඳහන් කරන පරිදි තෙමසක් පමණ පැවති මෙම උත්සවය ධජ පතාක, චිත්‍ර ආදී අංගවලින් සමන්විත වූ දර්ශනීය උළෙලක් විය. මේවාට සහභාගී වීමෙන් සාමාන්‍ය ජනතාව අපමණ ආශ්වාදයක් ලබාගන්නට ඇත.
මුල් බුදු දහමේ සඳහන්වන දෙවියන් යනු මිනිසාට නොපෙනෙන, මිනිසා වෙනුවෙන් කිසිදු උපකාරයක් කළ නොහැකි, මිනිසාගෙන් කිසිවක් (පින් ආදි) ලැබිය නොහැකි ජීව කොට්ඨාශයකි. එහෙත් හින්දු ආගමේ අභාෂයෙන් මෙරටට සංක්‍රමණය වූ දෙවිවිරු මහායානය තුළින් මෙහි පැළපදියම් විය. මොවුන් බෞද්ධ දෙවිවරු ලෙස බෞතීස්ම කරනු ලැබු අතර, ඔවුන් මිනිසාගෙන් පින් ලබා මිනිස් වර්ගයා ආරක්ෂා කරමින් ඔවුන්ට සෙත සලසන කොටසක් බවට පත්විය. ඒ අනුව බුදුන් ගෙන් ලැබිය නොහැකි (බුද දහමට අනුව තමාගේ ස්වාමියා තමාමය) සේවාවක් දෙවියන්ට පුද පූජා කිරීමෙන් ලබාගත හැකි බවට විශ්වාසයක් ඇති විය. බෝධිසත්ව යනු අනාගත බුදුන් ලෙස සැලකීමට අනුබල ලැබුණි. මෙවැනි මහායානික අදහස් සාමාන්‍ය ජනයාගේ මානසික සුවයට හේතුවන්නට ඇත.
පිරිත් දේශනා මහායාන අදහස් ජනප්‍රිය වීමට හේතුවූ නව අංගයක් ලෙස එකතු විය. මහා මංගල සූත්‍රය වැනි දේශනාවලින් බුදුන් වහන්සේ පෙන්වා දුන්නේ විශේෂයෙන් මෙලොව ජීවිතය සරු කරගත හැකි ආචාර ධර්ම මාලාවකි. එහෙත් පසුව එකතු වූ රතන සූත්‍රය වැනි දේශනා, යක්ෂයින් විශ්වාස කළ මුල් බුදු දහමට පටහැනි ඒවා විය. එසේ වුවද එම විශ්වාස ප්රාග් බෞද්ධ ලාංකික විශ්වාසයන් හා සමපාත වීම ජනප්‍රිය වීමට හේතු වන්නට ඇත. ජලනන්දන පිරිත වැනි පසු කාලයේදී ප්‍රචලිත වූ පිරිත් මුල් බුදු දහමට පටහැනි වුවත් ජනමනසට සුව ගෙන දෙන්නට ඇත. බෝධි පූජා, ආහාර පූජා මල් හා සුවඳ දුම් පූජා ජනතා අපේක්ෂා සමඟ සැසදෙන්නට ඇත.
ඉතිහාසයේ මුල් යුගතුළ මෙසේ විපර්යාසයන්ට බඳුන් වෙමින් ආ බුදු දහම මහනුවර යුගය වන විට අතිශය පරිහානි තත්වයට පත්වූ බව පෙනේ. මහනුවර මුල් රජුන් පවා (විමලධර්මසූරිය වැනි) බෞද්ධයන් ලෙස පෙනී සිටියේ නමින් පමණක් නිසා රාජ අනුග්රහයද ඉතිහාසයේදී තරමි ආගම වෙත යොමු නොවන්නට ඇත. පෘතුගීසීන් යටතේ කතෝලික ආභාෂය මැද වැඩුන විමලධර්මසූරිය, දෝන කතිරිනා මෙන්ම ඔවුන්ගේ දරුවන් ලෙස දෙවන රාජසිංහ පවා බෞද්ධාගමට විශේෂ අනුග්‍රහයක් නොදැක්වූ බවට ඓතිහාසික සාධක ඇත. අවිචාර සමයක් වූ මහනුවර යුගයේදී බුදු දහම අන්තයටම පිරිහුන අතර බුදු දහමට බෙහෙවින් පටහැනි වු අංග එකතු විය. මළවුන් පිළිබඳ විශ්වාස, යක්ෂ ප්‍රේත විශ්වාස, නව දෙවිවරු ඔවුන්ට කෙරෙන පුද පූජා, අලුතින් බිහිකරගත් විවිධ පිරිත් දේශනා බුදු දහමට ඇතුළු විය. ඒවා බොහෝ දුරටම එකල සිටි ගණින්නාන්සේලා ස්වකීය ලාභ ප්රයේජන තකා නිර්මාණය කරගත් ඒවා වූ අතර පොදු ජනතාවට ඒ පිළිබඳ නිවැරදි වැටහීමක් නොවීය.
බි්රතාන්ය පාලන යුගය තුළ මෙරට බෞද්ධාගමික පුනරුදයක් ඇති වුවද එය විශේෂයෙන්ම බෞද්ධාගමේ සුපිරිසිදු භාවය අරභයා කෙරුනක් නොවීය. මෙම පුනරුද ව්‍යාපාරයේ පසුබිමෙහි වූවන්ගේ අභිමතය වූයේ සුපිරිසිදු බුද දහම සොයා යාම නොව සමාජයේ ඉහළට නැගීමත් රටේ පාලන බලතල ලබා ගැනීමත් විය. හුදෙක් අමද්‍යප ව්‍යාපාරයට සහය දැක්වූවත් මොවුහු අරක්කු රේන්ද ඇසුරෙන් ධනය උපයා ගත් නව ධනපති පංතියේ දරුවන් විය. මේ ප්රයත්නය තව දුරටත් නව ධනපතියන් බවට පත් වූ කරාව, කුලය ගොවි කුලය අභිබවා ඉහළට නැගීමට දැරූ ප්රයත්නයකි. ඔවුහූ තමන් උපයාගත් ධනයෙන් කොටසක් බුද්ධාගම වෙනුවෙන් ආයෝජනය කර එම ජනප්‍රියතාවය තුළින් රාජ්‍ය මන්ත්‍රණ සභාව වැනි පාලන ආයතන වලට ඇතළු වීමට ගන්නා ලද ප්රයත්නයකි. ඒ තුළ ශුද්ධ වූ ආගමික ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයක පරමාර්ථ කොහොත්ම නොවීය.
අනගාරික ධර්මපාල තුමාගේ ව්‍යාපාරය තුළද බි්රතාන්ය විරෝධි බවක් විනා පුළුල් බෞද්ධ ප්‍රතිසංස්කරණ වයාපාරයක් දක්වා වර්ධනය වීමේ අභිලාෂයක් නොවීය. ව්‍යාපාරික සුළු ජන කොටස් ඔහුගේ දැඩි විරෝධයට ලක්විය. බි්රතාන්ය අනුකාරකයන් වීම හෙළා දැකීමටත්, ඉන්දියාවේ බෞද්ධ සිද්ධස්ථාන රැක ගැනීමටත් විනා පිරිහි තිබුන බුද දහම පිරිසිදු කර ගැනීමේ පුළුල් අරමුණක් ඒ තුළද නොවීය. මේ අවධිය තුළ විද්‍යෝදය හා විද්‍යාලංකාර පිරිවෙන් බිහි වුවද බුදු දහමේ නියම හරය සොයා යන සංගායනාවක් කෙරෙහි ඒවායේද අවධානය යොමු නොවීය.
1956 න් පසු විද්‍යෝදය, විද්‍යාලංකාර විශ්ව විද්‍යාල බවට පත් කිරීමේදී ද බුදු දහමේ සංවර්ධනය පිළිබඳ අරමුණක් වූවාද යන්න පැහැදිිලි නැත. සිදුවිය යුතුව තිබුනේ ඒවා බෞද්ධ විශ්ව විද්‍යාල (පුරාණ මහා විහාර, අභයගිරි, නාලන්ද,තක්ෂිලා වැනි) බවට පත්කර බොහෝ දුරට භික්ෂූන්ට සීමාකර උසස් බෞද්ධාගමික ජාත්‍යන්තර මධ්‍යස්ථාන බවට පත්කිරීමයි. අතීතයේ රාජ්‍ය පාලනයට භික්ෂූන්ගේ බලපෑම පැවති බව සැබෑ වුවත්, වර්තමාන භික්ෂු දේශපාලනය ආගමික සීමා ඉක්මවා ගිය බවක් පෙනේ. තමන් අයත්වන ඕනෑම දේශපාලනයක ප්‍රතිපත්ති විචාරාත්මකව නොවිමසා, ඒවා වෙනුවෙන් පෙනී සිටීමට මේ නිසා භිකෂූන්ට සිදුවිය.
මේ අනුව අතීතයේ සිටම විකෘති වෙමින් ආ බුදු දහම ප්‍රකෘති තත්වයට ගෙන ඒමේ අවංක ව්‍යාපාරයක් 19,20, ශතවර්ෂ වලදී ද දක්නට නොවීය. පොළොන්නරු, දඹදෙණි කතිකාවත් බිහිකිරීමට තරම් ප්‍රබල ආගමික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක් ඒ යුගවලින් පසු බිහි නොවූ බව මේ අනුව පැහැදිලිය. එවැන්නකට උරදුන් නායකත්වයක් බිහි නොවීම කණගාටුදායකය.
මෑත යුගයේ ප්‍රකෘති බුදු දහම සෙවීම පසෙක තබා “ජනප්‍රිය බුද දහමක්” ව්‍යාප්ත වෙමින් පවතී. බෝධි පූජා, පිච්ච මල්, නෙළුම් මල් පූජා, කවි විරිදු බණ අලුතින් බිහිවෙන මහාමායා සුද්ධෝන-යශෝධරා, පෙරහැරවල්, නාගරික අසපු, භාවනා පංති ආදිය මේ ජනප්‍රිය බුදු දහමේ” අංගයන් වී ඇත. මේවාට අනුබල දෙමින් වර්ධනය කරන නව සඟ පරපුරක් බිහිවී ඇත. 70 දශකයේදී පානදුරේ අරියධම්ම නම් භික්ෂුවක් ස්වකීය කාව්‍ය මාධුර්යය උපයෝගි කර ගනිමින් බෝධි පූජාව රට පුරා ජනප්‍රිය කරවීය. ගංගොඩවිල සෝම හිමිගේ ව්‍යාපාරය ද හුදෙක් ජාතිවාදය ඇසුරු කළ ව්‍යාපාරයක ලක්ෂණ පෙන්නුම් කළේය. පැරණි බහුශ්‍රැත ගිහි පැවිදි පඬිවරු වෙනුවට අද දැකිය හැක්කේ, ජනප්රියවීමට මාධ්‍ය අරක්ගෙන බණ කියන අවිචාරවත් භික්ෂු පරපුරකි. වේලාව අවේලාව නොමැතිව අද සියලු විද්‍යුත් මාධ්‍යවල ධර්ම දේශනා ඇසේ. සමහර භික්ෂූන් පැරණි පුස්කොළ වැනි යමක පැවති ගාථා මධුර ලෙස ගායනා කරමින් උදේ හවා යාඥා පවත්වති. හතු පිපෙන්නාක් මෙන් බිහිවී ඇති විවිධ විද්‍යුත් නාළිකා ඒවාට උඩ ගෙඩි දෙමින් ස්වකීය ව්‍යාපාරික අරමුණු ඉටුකර ගනිමින් සිටී. කාලීනව හැඩ නොගැසුන සම්ප්‍රදායික වැඩවසම් නායක හිමිවරු තවදුරටත් මේ සියල්ල ඉවසා වදාරති.
අවසානයේදී සිදුවී ඇත්තේ බුදුන් වදාළ දහම වසාගෙන “ජනප්‍රිය බුදු දහම” නම් වූ පිළිලයක් වර්ධනය වීමයි. “බුදු දහම සම්බන්ධ යෙන් පැන නගින ඕනෑම ගැටළුවක් සූ ත්ර - විනය පිටකයන්හි බහා විමසිය යුතුය.” යනුවෙන් බදුන් වහන්සේ මහා පරිනිර්වාණ සූත්‍රයේදී දුන් ඔවදන ලංකා සාසන ඉතිහාසයේ කිසිදා ක්‍රියාත්මක නොවීය. වර්තමාන අර්බුදයේ මුල එතැනය.
කෙසේ වුවද අධ්‍යාත්මයට බරවූ ථේරවාදී මුල් බුදු දහම, වෙනස් නොවී පැවතියේ නම්, බුදු දහම ලොවෙන් තුරන් වී බොහෝ කල් ගතවී ඇති බවටද, එම දහම ජනසමාජය තුළ මෙතෙක් පැවත ආයේත්, ඉදිරියට යම් තරමකින් හෝ පවතින්නේත්, මෙකී ජනප්‍රිය අංග එකතු වීමෙන් බවට යමෙකුට තර්ක කළ හැක. ප්රශ්නය වන්නේ මේ නවාංගවලින් සමන්විතව ඉදිරියට යන්නේ “බුදුන් වදාළ දහම” ද යන්නයි. ●
‘‘ක්‍රි.පූ 3 වන සියවසේ දී මිහිඳු හිමියන් විසින් පාලි පිටක ග්‍රන්ථවල ඇතුලත් බුදුදහම මෙරටට හඳුන්වා දෙනු ලැබීය.“- මිහිඳු හිමියන්ට පෙර යුගයේ පාලි පිටක ග්‍රන්ථාරූඪ වී තිබුණාද?
ReplyDeleteඔහු අදහස් කොට ඇත්තේ පාලි ත්‍රිපිටකයේ ඇති දහම මිහිදු හිමි විසින් මෙරටට හදුන්වා දුන් බවයි.එනම් මිහිඳු හිමි විසින් හදුන්වාදුන් බුදු දහම පසුකලෙක ග්‍රන්ථාරූඪ කර ත්‍රිපිටකයේ අඩංගු වන බවයි.
Deleteආර්ථික අතින් සහ සෞඛ්‍යයමය අතින් පිරීහෙන බෞද්ධාගමිකයාට මහායානය අත්හැර නිවැරදි බුදුදහම ඇත්තේ ථේරවාදී බුදු දහමේදැයී තර්කානුකූලව සිතා බැලීමට මග පෙන්වන ලීපියකී. මෙය වඩාත් සරලව දේශණයක් ලෙස ලියා ඇත්නම් වඩා යභපත්ය.
ReplyDelete