වෛද්‍ය සේන ද සිල්වා
හේතුවාදීන් සහභාගී වන ප්‍රසිද්ධ සම්මන්ත්‍රණවලදීත්, රූපවාහිනි සහ ගුවන් විදුලි වැඩ සටහන් වලදීත් නිරතුරුවම මතුවන නාමයකි. “එඞ්ගාර් කේසී” බොහෝ විටදී නිදහස් චින්තකයන්ගෙන් අධ්යාත්මවාදීන් අභියෝගාත්මකව විමසන්නේ ඔබ “එඞ්ගාර් කේසී” ගේ පොත් කියවා තිබේද? නැතිනම් දැන්වත් කියවා බලන ලෙසටය. ලෙසටය. දැන් අපි එඞ්ගාර් කේසී ගැන විමසා බැලීමක් කරමු.
එඞ්ගාර් කේසී (1877-1945) බටහිර ගුප්ත වේදීන් අතර කැපී පෙනෙන චරිතයක් ලෙස හැඳින්විය හැකිය. ඇමරිකාවේ වර්ජිනියා ප්‍රාන්තයේ උපත ලද ක්සී පසු කලකදී ලොව පුරා අධ්යාත්මවාදීන් අතර ඉමහත් ජනප්‍රියතාවයට පත්විය. ඔහු ගැන ලියවී ඇති පොත් පත් සිය ගණනාවකි. මේවා අතර ඔහු විසින් ලියන ලද ඒවා මෙන්ම ඔහු ගැන අනුගාමිකයන් පලකල ඒවාද වෙයි. කේසී විසිවැනි සියවසේ වඩාත්ම ලේඛන ගතවූ ගුප්ත අධ්‍යාත්මවාදියා ලෙස හැඳින්වුව හොත් නිවැරදිය. දැනට අන්තර්ජාලයේද ඔහුට සැලකිය යුතු පිවිසුමක් ඇත. ගුප්ත විද්‍යා විශේෂඥයෙකු ලෙස පුළුල් පිළිගැනීමක් ඇති මොහුගේ අදහස් අනුමත කරන සෑහෙන පිරිසක් අද දක්වා ද සිටිති.
මොහුගේ පියා දුප්පත් දුම්කොළ ගොවියෙකු විය. ඔවුන් කිතුණු භක්තිකයන් වූ අතර කේසීට කුඩා කල සිටම දැඩි ආගමික නැඹුරුවක්ද ගුප්ත දෙය කෙරෙහි දැඩි ඇල්මක්ද තිබුන බවද පෙනෙයි. සිතින් මවාගත් ළදරුවන් සමඟ සෙල්ලම් කිරීමට ප්‍රියකළ ඔහුට සිය මියගිය සීයා නිතර පෙනුන බවද සැලයි. මෙම සියළු චරිත ඔහුට පෙනී ඇත්තේ විනිවිද පෙනෙන ස්වභාවයකිනි. අවුරුදු 10 දී බයිබලය කියවීමට හුරුවූ ඔහු වසර 12 වන විට මසකට වරක් මුළු බයිබලයම කියවූ බවද පැවසෙයි. වරක් කුඩා පැල්පතකට වී සිටියදී පියාපත් සහිත ළදක් පැමිණ ඔහුගේ සියළු යාඥාවලට පිළිතුරු ලැබෙන බවත් ඔහුට අසනීපවලින් පෙළෙන කුඩා දරුවන්ටද අසරණයන්ටද පිහිට වීමේ හැකියාව ඇති බවත් පවසා තිබේ. තවද එම කාන්තාව ඔහුගේ පාසල් වැඩ කටයුතු වලදී සාර්ථකව උදව් දුන් බවත් පැවසේ. ඔහුගේ 8 වැනි ශ්‍රේණියෙන් ඉහළට ඉගෙනීම ඇණ හිටියේ මුදල් දුෂ්කරතා මතය. ඉන්පසුව ඔහු විවිධ රැකියා කිහිපයකම නිරත විය. කිතුදහමට තදින් ඇලුම්කළ ඔහු ඉරිදා දහම් පාසල් ගුරුවරයෙකු ලෙසටද සේවය කිරීම ප්‍රිය කළේය. බයිබලය හැරුණවිට ගුප්ත විද්‍යාව, මානසික විද්‍යාව, අධිමානසිකය, ජ්‍යෝතිෂය වැනි වූ විෂයන් පිළිබඳ පොත පත කියවීමට මහත් රුචියක් දැක්වීය. මේ වන විට ඔහුට දේවදූතයන් සමඟ කතාබහ කිරීමටද, මියගිය ඥාතීන්ගේ කටහඬ ඇසීමටද, මිනිසුන්ගේ හිස් වටා පිහිටි රැස්වළලු දැකීමටද හැකියාව ඇති වූ බව සඳහන් වෙයි.
රක්ෂණ සමාගමක නියෝජිතයෙකු ලෙස රැකියාව කරමින් සිටියදී 1900 දී ඇති වූ උගුරේ ආබාධයක් නිසා කතා කිරීමේ හැකියාව නැතී වී ගියේය. එම අබාධයට වෛද්‍ය ප්‍රතිකාර කළද යහපත් ප්‍රතිඵලයක් ලැබී නොමැත. පසුව මෝහන ශිල්පියෙකු විසින් ඔහුව මෝහනයට පත්කිරීමෙන් පසුව එම තත්ත්වය සුව කිරීම කරන ලදී. කේසී මෝහනයට පත් වී සිටියදී මෝහන ශිල්පියාට තිබූ ආබාධ ගැන සඳහන් කිරීම නිසා සෑහීමට පත් වූ එම තැනැත්තා මෙම තත්වය වැඩි දියුණු කරන ලෙස උපදෙස් දී ඇත. එම ඔවදන් පිළිගත් කේසී පසුව එය වැඩිදියුණු කර ගැනීමට සමත් විය. යම් ආපදාවක් ඇති අයෙක් ඔහුගේ කාමරයට පැමිණි පසු කේසී ස්වයං මෝහනයට පත් වෙයි. ඉන් පසුව ආතුරයාගේ ආබාධය සහ එයට පිළියම්ද ඔහු මෝහනයේ යෙදී සිටියදීම පවසයි. ඔහු අසල සිටින ලිපිකාරියක් ඔහු පවසන දෙය ලඝු ලේඛනයක් ලෙස සටහන් කර ගනියි. මෝහනයෙන් මිදී අවදිවෙන කේසීට ඔහු පැවසු දෙය ගැන මතකයක් නැත. ඉන්පසුව ඔහු ආතුරයාට උපදේශන සේවාවක්ද ලබා දෙයි. මෙම ක්‍රමවේදය හරහා ඔහු සෑහෙන පිරිසකට සහන ලබාදී ඇති බව පෙනෙයි.
ඔහුගේ ජනප්‍රියතාවය ක්‍රමයෙන් වැඩිවෙයි. ඔහුගේ වත් පොහොසත්කමද දැන් යහපත්ය. මේ අතර සැඟවුන නිධාන සහ දිනන රේස් අසුන් ගැන විස්තර ලබා ගැනීමටද අයවලුන් පැමිණෙති. එම කරුණුවලදී දරන්නාවූ උත්සහයෙන් අසාර්ථක වෙයි. ඉන්පසුව ඔහුගේ අවධානයට ලෙඩුන් සහ අසහනයට පත්වූවන්ට පමණක් සීමා කරයි.
1923 වන විට ඔහු පුනරුත්පත්තිය ගැන කථාකිරීමටද පටන් ගනියි. මෙය කිතුදහමේ මූලධර්මයන්ට පටහැනි වුවද එය තිබෙන බව ඔහු පිළිගනියි. ඔහුගේ නිර්දේශිත ප්‍රතිකාර අතර විද්්‍යුත් ‘චිකිත්සාවන්’ පාරජම්බුල කිරණ භාවිතය, ආහාර වට්ටෝරු, සම්භාහන, මැණික් ගල් පැළදීම විවිධ භාවනා ක්‍රම සහ නානා ප්‍රකාර ගොඩ වෙදකම් ද විය. අනවසරයෙන් වෛද්‍ය වෘත්තියේ නියැලීම පිළිබඳව ඇමරිකානු වෛද්‍ය සභාවේ අවධානය තමා වෙතට යොමු වී ඇති බව වටහාගත් කේසී, ආරෝග්‍යශාලාවක් වැනි වූ සම්මත වෛද්‍යවරුන් සිටිනා ස්ථානයක ආවරණය ගැනීමට උත්සුක විය. මෙහිදී ඔහුට මූල්‍යමය ප්‍රතිපාදන සැලසුවේ මෝර්ටන් බ්ලුමැන්ඩල් නමැති ධනවත්, යුදෙව් සම්භවයක් ඇති කොටස් වෙළෙඳපොලේ සිට ඉහළ පෙළේ බ්‍රෝකර්වරයෙකි. කේසීගේ උපදෙස්මත කොටස් වෙළඳාමෙන් වාසිදායක ගණුදෙණුවල නිරත වූ ඔහු කේසී ගැන දැඩි පැහැදීමක් ඇති අයෙකු විය. එහෙත් 1929 දී ඇමරිකානු කොටස් වෙළෙඳපොළ ගරාවැටීමක් සිදු වූ අතර ඒ සමඟ කේසී ගැන කළකිරුණ බිලූ මැන්ඩල් තවදුරටත් ක්සීට දැක්වූ අනුග්‍රහය නතර කළේය. පසුව රෝහල වසා දැමීමට සිදුවිය. ඉන් පසුව ඇති වූ ඇමරිකානු ජනතාවට දැඩි පීනයක් දුන් ආර්ථික අවපාත කාල සීමාවේදී කේසීගේ අවධානය නව විෂයන් කෙරෙහි යොමුවිය. ඒවා අතර අනාගතය පිළබඳ අනාවැකි, සිහින තෝරාදීම, අන්තර්ඥාණය, ජ්‍යෝතිෂය සහ පෙර ආත්මවල විස්තර සැපයීම ද විය. 1943 වන විට ඔහුගේ ජනප්‍රියතාවය උපරිම තලයකට පත් වී තිබුණි. මේ වන විට දෙවැනි ලෝක සංග්‍රාමය ඇරඹී තිබුන අතර විදේශ ගතව සිටින සහ අතුරුදහන් වී සිටි ඇමෙරිකානු හමුදා භටයන්ගේ තොරතුරු විමසමින් පැමිණෙන නෑදෑහිතවතුන්ගෙන් කිසිදු අඩුවක් නොවීය. ඔවුන්ගේ අවශ්‍යතාවයන් ඉටු කිරීමට ප්‍රමාණය ඉක්මවා ධ්යානගතවූ හෙතෙම අසනීප වී මොළයේ නහරයක් පිපිරියෑමෙන් 1945 දී මරණයට පත් විය.
කේසී ධ්‍යානගත වී පැවසු කියමන් 14,000 ක් පමණ ඔහුගේ චින්තනයේ මතු පැවැත්ම උදෙසා පිහිටුවා ඇති ්ඍෑ නම් වූ ආයතනයේ ඇත. ඔහුගේ ජීවිත කාලය තුළදීත් හෝ ඉන් පසුවත් ඔහුගේ සංකල්ප කිසිදු ශාස්ත්‍රීය විමසුමකට ලක් වී නැත. එසේ වීමට හේතුව වශයෙන් සැලකිය හැක්කේ ඒවා ඒ තරමට විෂමාකාර සහ හාස්‍යජනක ලෙසට විද්වතුන් සැලකීම නිසාය. මෙම ලියවිලි වල අන්තර්ගත කරුණු කිහිපයක් කෙරෙහි අවධානය යොමු කළවිට මෙය පැහැදිලි වෙයි.
මනුෂ්‍යත්වයේ ආරම්භය පිළිබඳව ඔහුගේ කියමන් වල සඳහන් වන්නේ මානව වර්ගයන් පහක් එක් වරම මැවීමෙන් ඇති කළ බවය. ලෝකයේ විවිධ ප්‍රදේශවල මෙම සිදුවීම ඇතිවූ අතර එහිදී ඇති වූ වර්ග සුදු, කළු, රතු, දුඹුරු සහ කහ වශයෙන් විය. රතු පැහැති කොටස ඇතිවුයේ ඇට්ලාන්ටිස් නම් වූ අද්භූත ජනක ප්රදේශයකදීය. ඔවුන්ට තිබුයේ පිට සක්වල ජීවීන් නිසා ඇති වු සම්භවයකි. තවත් සටහනකට අනුව පොළොව මත පවතින “ඇතැම් ආත්මලාභී කොටස්” සත්වයන් හා එක්අඩි 12 ක් පමණ උස ඇති සත්වයන් බිහිකරයි. ඔහුගේ කියමන් අතර විවිධ විෂයන් 10,000කට අධික ප්‍රමාණයක් ගැන විස්තර සඳහන්ය. ඒවා අතර දේව දූතයන්, සුර දූතයන්, ජ්‍යෝතිෂය, පෞරාණික ඉතිහාසය, රෝග සුවකිරීම, දෙවියන් සහ ආගම්, සිහිනවල අරුත සෙවීම, කර්මය සහ ජේසුතුමාගේ සැඟවුණු තොරතුරුද වෙයි. මේ කාලයේදී එංගලන්තයේදී “පිල්ට්ඩවුන් මානවකයාගේ” හිස්කබල සහ හකු ඇටය සොයා ගැනීම සිදුවූ අතර එය මානව පරිනාමවාදීන් අතර මහත් ආන්දෝලනයක් ඇති කිරිමට සමත්විය. කේසීට අනුව එම මානවයා ඇට්ලාන්ටිස් ප්‍රදේශයෙන් නැවත එන්නෙක් බවත් කලකට පෙර ඔහු එංගලන්තය දක්වා ගමන් කොට එහි පදිංචි වූ බව අවධාරණය කළේය. පසු කලකදී “පිල්ට්ඩවුන් මානවයා” වංචාවක් බව හෙලිවයි. ඇට්ලාන්ටිස් පෙදෙසේ විශාල ස්ඵටිකයක් ඇති බවත් එය සූර්යාගෙන් ශක්තිය ලබාගනිමින් මුළු ප්‍රදේශයකට බලශක්ති ලබා දෙන බව ද කේසී විස්තර කොට ඇත.
කේසීගේ වෛද්‍ය ප්‍රතිකාර බොහෝ විටම ඈත අතීතයේ පැවති ගොඩ වෙදකම්වලට සීමාවී තිබුණි. ඒවා බොහොමයක්ම නිෂ්ඵල මෙන්ම ඇතැම්විට හානිකර ඒවාද විය. ලියුම් මඟින් සහ පණිවිඩ කරුවන් මගින් ප්‍රතිකාර නියම කරන ඇතැම් විටදී රෝගියා සිටියේ මළවුන් අතරය. සිය දරුවෙක්ද මරණින් බේරා ගැනීමට කේසීට හැකියාව තිබුනේ නැත. ක්ෂය රෝගයෙන් පෙලුන ඔහුගේ භාර්යාවට නියම කළේ උණ ගසේ අළු භාවිතා කරන ලෙසය.
අස්ථි චිකිත්සකයෙක් හා සමීප ඇසුරක් මොහුට තිබුනි. වාතාබාධ රෝගවලින් පෙළෙන්නන්ට ඔහු දුන් ප්‍රතිකාර වල භාෂා ලක්ෂණ අස්ථිචිකිත්සකයන්ගේ භාෂා විලාෂයට බොහෝ දුරට සමාන විය. ඔහු සාමාන්‍යයෙන් ලබා දුන්නාවූ උපදෙස් බොහෝ දුරට අනුමානයෙන් කරන ලද ඒවා මිස එක එල්ලේ පැහැදිලි ලෙස පවසන අදහස් නොවේ. මනඃා්කල්පිත ලොවක් තුළ ජීවත් වූ ක්සීට තමන් හරහා දෙවියන්ගේ ආශිර්වාදය අන්‍යයන්ට ලබාදිය හැකි බව තරයේ විශ්වාස කළේය. එතෙක් ඔහුගේ ඇතැම් අදහස් සම්මත ක්‍රිස්තියානි සංකල්පවලට අනුකූල වූයේ නැත. ඔහුගේ පුනරුත්පත්තිය පිළිබඳ විශ්වාසය එවැන්නකි. ඔහු සිය පසු ආත්මයන් මෙන්ම ඉදිරියටත් ඉපදෙන්නාවූ ස්ථාන ගැනද සඳහන් කර ඇත. කේසී ගැන සටහනකදී අමතක කල නොහැකි අංගයකි ඔහු විසින් කරන ලද අනාවැකි. විවිධාකාර විෂයන් රාශියක් පිළිබඳව ඔහු කර ඇති අනාවැකි සංඛ්‍යාව 21,000ක් පමණ වෙයි. සමහර අනාවැකි නිවැරදි වුවද වැඩි හරියක්ම වැරදි ඒවාය. ඒවා අතර බරපතල වැරදි තැන් කිහිපයක් මෙසේය.
- “ 1933 වසර ලොවට ඉතාමත් ඵලදායක වසරක් වෙනු ඇත.” මෙම වසරේදී හිට්ලර් ජර්මනියේ නායකයා බවට පත්වෙයි. ඇමරිකාවට එතෙක් මෙතෙක් දක්වා ඇතිවූ දරුණුතම ආර්ථික අවපාතය පටන් ගන්නේය.
- “1968 ඇටිලාන්ටිස් මතුවෙයි” අද්භූත භූමි ප්‍රදේශයක් ලෙස මිථ්‍යා ව්‍යවහාරයේ සඳහන් වන මෙම ප්‍රදේශය මුහුදට ගිලා බැස තිබුන බවට විශ්වාසයක් විය. එවැන්නක් සිදු නොවීය.
- 1960 භූමිකම්පාවනට නිතර නිතර ගොදුරුවන කැලිපෝර්නියාවේ කොටසක් වන බාජා අර්ධද්වීපය සහමුලින්ම කැඩී වෙන්වී ගිලා බැසීම 1960 දී වන බව පවසා තිබීම.
- 1968 - මෙම වසරේදී චීනය ක්‍රිස්තියානි රාජ්‍යයක් බවට පත්වෙයි.
- 1999 - ලොව කිසිදිනක සිදුනොවූ අන්දමේ මහා විපතක් සිදුවනු ඇත.
ඉහතින් දැක්වූයේ ස්වල්පයක් පමණකි, තවත් එවැනි වූ ප්‍රෝඩාකාරි අනාවැකි එමට ඇත. මේවා කට කථා නොවේ. ඔහුගේම ලිපිකාරිය අතින් ලියන ලද ලේඛනගතව සුරක්ෂිතව තැන්පත්ව ඇති ඒවාය. මේවා පිළිබඳව කේසීගේ නූතන අනුගාමිකයන්ගෙන් විමසූවිට ඔවුන් කේසීගේ වෙනත් කියමනක් පෙන්වා දෙමින් කාරණාවෙන් බැහැර වෙති.
කේසීගේ පිහිට පතා පැමිණි අයගේ සමාජ තරාතිරම දෙස බලනවිට පෙනීයන්නේ ඔවුන් පැහැදිලිවම මධ්‍යම පන්තිකයන් බවය. අප්‍රිකානු සහ ලතින් ඇමරිකානුවන්ද ඔවුන් අතර සිට නැත. ඇතැම් පුවත්පත් හා සඟරා කේසීගේ හැකියාවන් ගැන අතිශයෝක්තියෙන් වර්ණනා කරමින් ලියා තිබූ ලිපි ඔහුගේ ජනප්‍රියතාවය වැඩිකරවීමට සමත්විය. සමත්විය. මෙවැනිම වූ මාධ්‍ය භාවිතයක් සමහර ඉරිදා පුවත්පත් හරහා අප රටේද දැනටත් ක්‍රියාත්මක වන බවද පැහැදිලි කරුණකි.
කේසී ඔහුගේ පෞරුෂත්වය සහ අනුශාසනා මත සිය ජනප්‍රියතාවය තහවුරු කරගත් බව පෙනේ. මෙවැනි වූ ක්‍රමවේදයන් උපයෝගී කරගනිමින් තමන්ට වසඟවන්නාවූ අහිංසක ජනතාවගේ විශ්වාසය තහවුරු කරගනිමින් විවිධ ගුප්ත සහ ගුප්ත නොවන සේවාවල යෙදෙන්නාවූ මන්ත්රකරුවන්, දේවගැතියන්, ශ්‍රාස්ත්‍රකරුවන් සහ කපුවන්ගේ සම්ප්‍රදායන් අද දක්වා ලොව පුරා පැතිර යමින් පවතී. මොවුන් අතර සුපිරි තත්වයට පැමිණ එක් අයෙකි. - කේසී.
කේසීගේ අදහස් අගයන අයගේ සංවිධාන ලොව බොහෝ රටවල ඇත. ලංකාවේද එවැනි සංගමයක් ඇති දැයි අප නොදන්නා නමුත් කේසීගේ අදහස් කිසිදු පැකිලීමකින් තොරව පිළිගන්නා සෑහෙන පිරිසක් අප අතරද සිටින බව නම් පැහැදිලිය.
කේසී ගේ පොතක් හෝ ඔහු ගැන ලියවුන පොතක් ඔබ අතට පත්වුවහොත් එය කියවා බලන්න. ඉහත සඳහන් කරුණු හා සසඳා බැලීමේදී ඔහු කවරෙක්ද යනු ඔබට හොඳින් වැටහෙනු නොඅනුමානය.
Thanks.
ReplyDelete