අවිද්‍යාව වපුරන මාධ්‍ය භාවිතය, රට ගල් යුගයට ගෙන යාමක්, ජනතා ද්‍රෝහි ක්‍රියාවලියක්!


ඒ. වී. ගුණසේකර
හිටපු අධ්‍යක්ෂ - පශ්චාත් උපාධි ගුරු අධ්‍යාපන දෙපාර්තමේන්තුව - ජාතික අධ්‍යාපන ආයතනය

පසුගිය පෝය දිනක විකාශය වූ එක් රූපවාහිනි වැඩසටහනක දක්නට ලැබුණේ නොදියුණු සමාජවල ගෝත්‍රික මිනිසුන් පවා අද කාලයේ සිදු නොකරන දිග මැනීමේ ක්‍රමයකි. යම් තෙලක් ආලේප කළ පසු ගොක් කොළ තීරුවක දිග වෙනස් වේ දැයි සෙවීම සම්මත නියත දිගක් ලෙස මෙම වැඩසටහනේදී භාවිත කළේ යම් පුද්ගලයෙකුගේ උදරයේ පරිධිය හෙවත් වටප්‍රමාණයයි. ගොක් කොළ  තීරුවෙහි තෙල් ආලේප කිරීමට පෙර පැවති දිග උදරයේ පරිධියට සමාන කිරීමට පෙර එම තීරුව උදරය වටා තබා තීරුවෙහි දෙකෙළවර අතින් තඩා එම තීරුවෙහි දිග උදරයේ පරිධියට සමාන කරන ලදි. ගොක් කොළ තීරුවෙහි තෙල් ආලේප කිරිමෙන් පසු එය නැවත උදරය වටා තබා ගොක් කොළ තීරුව කෙටි වී ඇති බව පෙන්වීය. එයින් නිගමනය කරන ලද්දේ එම නිවසේ කොඩිවිනයක් ඇති බවයි.
ආදි කාලයේ මිනිසා විසින් නිපදවන ලද මෙවලම් අතර යම් යම් ද්‍රව්‍යවල බර සහ ප්‍රමාණය මැනීමට යොදාගත් මෙවලම් ප්‍රධාන තැනක් ගත්තේය. නොදියුණු සමාජවල ද ඔවුන්ගේ එදිනෙදා කාර්ය සඳහා මෙම මෙවලම් ඔවුන්ට අවශ්‍ය විය. වාසස්ථාන යම් කිසි විශාලත්වයක් සහ හැඩයක් අනුව තනා ගැනීමට ද, ඇඳුම් සකස් කර ගැනීමට ද, ආහාර හෝ වෙනත් ද්‍රව්‍ය හුවමාරු කර ගැනීමට ද යම් මිනුමක් අවශ්‍ය විය.
මිනිසා මුලින් ම මිනුම් ඒකක නිපදවීමේදී භාවිත කර ඇත්තේ,  තම ශරීරයේ අවයව වල ප්‍රමාණයයි. අතීතයේදී ඊජිප්තුවේ වැසියන් සහ බැබිලෝනියාවේ වැසියන් විසින් තබා ඇති සටහන් අනුව ද, බයිබලය වැනි ග්‍රන්ථ අනුව ද මිනිසා දිග මැනීම සඳහා මිනුම් ඒකක වශයෙන් වැලමිටේ සිට මැඳඟිල්ලේ කෙළවර තෙක් ඇති දිග, අත්ලේ ඇඟිලිවල දිග හෝ පළල වැනි ප්‍රමාණයන් භාවිත කර ඇති බව පෙන්. කාලය මැනීම සඳහා සූර්යයා, චන්ද්‍රයා සහ වෙනත් ආකාශ වස්තු යම් යම් නෙස්වීම් දැක්වූ  අවධි භාවිත කර ඇත. විවිධ ද්‍රව්‍ය වර්ග සහ ජලය රැස් කිරීමට යොදාගත් භාජනවල ධාරිතාව මැන ඇත්තේ, ඒවා ශාක බීජවලින් පුරවා එම බීජ සංඛ්‍යාව ගණන් කිරීම මඟිනි. බර මැනීමේ උපකරණයක් ලෙස තරාදිය නිපදවා ගැනීමෙන් පසු බර දැක්වීමේ මිනුම ලෙස බීජවල බර හෝ ගල්කැටවල බර හෝ කලක් ම භාවිත කර ඇත. අද දක්වා ම මැණික්වල බර දැක්වීම සඳහා යොදාගෙන ඇති කැරට් (ක්‍්ර්එ) යන බර ඒකකය අතීතයේ දී බර ඒකකයක් වශයෙන් භාවිත කැරොබ් (ක්‍්රදඉ) යන බීජ වර්ගයේ නමෙන් ව්‍යූත්පන්න වී ඇත.
ලංකාවේ ද දිග මැනීම සඳහා ඇඟිල්ලක පළල ද, අත්ල දිග හැරිය විට සුළැඟිල්ලේ කෙළවර සිට මහපටඇඟිල්ලේ කෙළවර තෙක් ඇති දිග වන වියත ද, මැදඟිල්ලේ  කෙළවර සිට වැලමිට තෙක් දිග වන රියන ද, දෑත දෙපසට විහිදූ විට දෑතේ මුළු  දුර වන බඹය ද භාවිත කර ඇත. ඇඟිලි 12 ක් වියත් එකක් ලෙසද, වියත් දෙකක් රියන් එකක් ලෙසද සලකා ඇත. පියවර ගණන අනුවද කෙටි දුරක් මැන ඇත. දිග දුර මැනීම සඳහා ගව්ව ද, ගව් හතරක දුර වන යොදුන ද, හූවක් ඇසෙන දුර සඳහා හූව ද භාවිත කර ඇත. වර්ගඵලය මැනීම සඳහා භාවිත කර ඇත්තේ වී ඇට යම් ප්‍රමාණයක් වැපිරීමට අවශ්‍ය බිම් ප්‍රමාණයයි. වී ඇට අමුණක් වැපිරීමට අවශ්‍ය බිම් ප්‍රමාණය අමුණක් වශයෙන් හඳුන්වා ඇත.
මැනීම සඳහා සම්මත මිනුමක් ඇති කිරීම මුලින් ම සිදු කර ඇත්තේ, එංගලන්තයේ පළමුවැනි හෙන්රි (1100-1135) රජු විසිනි.  යාරය යනු ඔහුගේ (රජුගේ) අත දිගු කළ විට නාසයේ සිට මහපටඇඟිල්ලට ඇති දුර විය යුතු යැයි ඔහු ආඥාවක් නිකුත් කළේය. ඉන්පසු පළමුවැනි එලිසබෙත් රැජින විසින් එතෙක් අඩි 5,000ක් සැතපුම් එකක් ලෙස ගත් මිනුම අඩි 5280 ක් සැතපුමක් ලෙස ගත යුතු බවට නිවේදනය කරන ලදී. මේ නිසා පර්ලොම් අටක් හරියට ම සැතැප්මක් විය. 17,18 සහ 19 වැනි සියවස්වල දී බි්‍රතාන්‍යයේ යටත්විජිතවලට ද මෙම මිනුම් පැතිර ගියේය.
මුළු ලොවටම එකම සම්මත මිනුම් ක්‍රමයක අවශ්‍යතාව ගැන සලකා ගේබ්රියල් මූටන් (ඨ්ඉරසැක ඵදමඑදබ) නමැති පූජකවරයා විසින් දිග මැනීමේ ඒකකය ලෙස පෘථිවියේ පරිධියෙන් කොටසක් වන අංශක 1/60 ක් හෙවත් කලා එකක චාපයේ දිග ගත යුතු යැයි 1670 දී යෝජනා කළේය.
මෙම යෝජනාව ක්‍රියාත්මක කිරීම ගැන සලකා බැලීමට 1970 දී කොමිසමක් පත් කළ අතර, එම කොමිසම විසින් මීටරය යන මිනුම් ඒකකය අර්ථ දක්වන ලද්දේ උත්තරධ්‍රැවයේ සිට ප්‍රංශයේ ඩන්කර්ක් (ෘමබනසරන) සහ ස්පාඤ්ඤයේ බාසිලෝනා (ඊ්රජැකදබ්) හරහා ඇති දේශාංශකය ඔස්සේ නිරක්‍ෂය දක්වා ඇති දුර ප්‍රමාණයෙන් මිලියන දහයෙන් පංගුවක් ලෙසය. මෙම දුර ප්‍රමාණය මැන එයට දිගෙන් සමාන ප්ලැටිනම් දණ්ඩක් 1799 දී සාදන ලදී. මෙම සම්මත මීටරය අනුව අනෙක් දිග මිනුම් ද අර්ථ දක්වන ලදී. මීටරයක දිග සෙන්ටිමීටර් 100 ක් විය. සෙන්ටිමීටර් එකක් මිලිලීටර් 10ක්  විය. මීටර 1,000ක් කිලෝ මීටරයක් විය. බර දක්වන ඒකකය ලෙස ග්‍රෑමය යොදා ගත් අතර, එය අර්ථ දක්වන ලද්දේ ජලයේ ඝනත්වය උපරිම වන උෂ්ණත්වයේදී ජලය ඝන සෙන්ටිමීටරක  (පැත්තක දිග මීටර 0.01 ක් වන ඝනකය) ස්කන්ධ ලෙසය. 1889දී ප්ලැටිනම් සහ ඉරිඩියම්  යන ලෝහවල මිග්‍රණයකින් තනන ලද දණ්ඩක ලකුණු දෙකක් අතර වූ දිග ප්‍රමාණය මීටරය ලෙස සලකන ලදී. මෙය ආරක්ෂිතව තැන්පත් කර ඇත.
1960දී ආලෝකයේ තරංග ආයාමය අනුව මීටරය අර්ථදැක්විය යුතු යැයි සලකා ක්‍රිප්ටොන් වායුවේ විකිරණ රික්තයක දී ඇති තරංග ආයාම 1,650,763.73ට සමාන දුර ප්‍රමාණය මීටරය ලෙස අර්ථ දක්වන ලදී. ලේසර් කිරණ සොයා ගැනීමෙන් පසු 1983 දී මීටරය යන්න ලේසර් ආලෝකය තත්පර 129,97,92458 කදී රික්තකයක් තුළ ගමන් කරන දුර ලෙස අර්ථ දක්වා ඇත. කාලය මැනීමට සීසියම් ලෝහය යෙදු පරමාණු ඔරලෝසුවක් භාවිත කළ යුතුව ඇත. මිනුම් උපකරණය ද අද අතිශයින් දියුණු වී ඇත. දිග මැනීම වඩා නිවැරැදිව සිදු කිරීම සඳහා අද මිනුම්දෝරුවන් විසින් ද භාවිත කරනු ලබන්නේ ලේසර්  කිරණ මඟින් දුර මනින උපකරණයකි.
එවැනි අද කාලයේ සම්මත දුරක් ලෙස උදරයේ පරිධිය ගැනීම සම්මත මිනුමක් ගැන තබා යමක දිග මනින ක්‍රමය ගැන හෝ නොදන්නා පිරිසකගේ ක්‍රියාවක් ලෙස පෙනේ. එම පිරිසට පස්වැනි ශ්‍රේණියට ගණිතය උගන්වන ගුරුවරයෙකු ලවා මිනුම් පිලිබඳව ඉගැන්විය යුතුය.
යම් වස්තුවක දිග මැනීම සඳහා සම්මත ඒකක ලකුණු කර ඇති කෝදුවක් භාවිත කළ යුතු බව පස්වැනි ශ්‍රේණිය සමත් දරුවකු වුව ද දන්නා කරුණකි. යම් වස්තුවක දිග ප්‍රමාණය ආසන්නම මිලිලීටර් එකට මැනීමට අ.පො.ස (සාමාන්‍ය පෙළ)සිසුන් සමත්ය. යම් වස්තුවක දිග සොයන ලෙස මෙම ශ්‍රේණියේ සිසුවෙකුට කිවහොත්, ඔහු ඒ සඳහා මීටර කෝදුවක් හෝ මිනුම් පටියක් අවශ්‍ය බව පවසනු ඇත.
දිග මැනිය යුතු ගොක් කොළ තීරුවේ කෙළවර අතින් කැඩු විට එහි සෑදෙන කඩතොළු නිසා දිග ගැන නිවැරැදි මිනුමක් ගැනීම දුෂ්කර වේ. ගොක් කොළයේ කෙළවර කතුරකින් හෝ පිහියකින් හෝ නොකපා පැහැදිලි කෙළවරක් ලබා ගත නොහැකිය. කැපීම වෙනුවට අතින් කැඩීම මිනිසා විසින් ආයුධ නිපදවීමට පෙර කාලයේ දී සිදු කළ දෙයකි.
නොදියුණු කාලයේ දිග මැනීමේ ඒකක වශයෙන් භාවිත කළ වියත, රියන, බඹය වැනි මිනුම් ද වේලාවෙන් වේලාවට වෙනස් නොවේ. ඒවායේ යම් ස්ථීර බවක් ඇත. එහෙත්, උදරය එබෙනසුලු එකක් වන අතර, යමෙකුට පිම්බීමට හෝ හැකිලීමට හෝ පිළිවන. ආහාර ගත් විට ද එහි ප්‍රමාණය වෙනස් වේ. ඒ බව නොදියුණු මිනිසා ද දැනගෙන සිටි නිසා මිනුම් ඒකකයක් ලෙස උදරයේ පරිධිය භාවිත කර නැත.
මෙම වැඩසටහනේ දී යන්ත්‍රයක බලය පෙන්වීමට අත්දෙකෙන් උසුලා ගත් මෝල් ගස් දෙකක් එකට ළං වීම පෙන්වීම ප්‍රේක්ෂකයන්ගේ බුද්ධියට කරන ලද නිගාවකි. මෙම උපක්‍රමය වැනි පොල්ගෙඩියක් මත හිඳුවා කරකැවීමට සැලැස්වීම, කනප්පුවක් මත අත් තබා එය ගමන් කරවීම ආදිය මන්ත්‍රකරුවන් විසින් ජනතාව රවටා මුදල් ඉපැයීමට භාවිතා කරන ක්‍රම වේ.
විද්‍යාවේ නිපැයුමක් වන රූපවාහිනී මාධ්‍යය භාවිත කර මහජනයා අවිද්‍යාවේ අඳුරු යුගයට කැඳවාගෙන යාම සඳහා මෙවැනි වැඩසටහන් මඟින් දරන ප්‍රයත්නය සමාජද්‍රෝහි ක්‍රියාවකි.

Comments

Post a Comment