විමසුම් ඇස : ගවමස් රටින් ගෙනෙන විට පවු නැද්ද?


‘හරක් මැරීම නවත්වන්න ගව මස් රටින් ගේන්නැයි යනුවෙන් වූ පුවතක් ජනවාරි මස 19 දා ලංකාදීප පත්‍රයේ පලවිය. ජනපති මුදල් ඇමතිට කියයි යනුවෙන් වූ ඒ පුවතේ, මෙරට ගව ඝාතනය තුරන් කිරීමේ අරමුණෙන් ජනතාවගේ ඉල්ලුමට සරිලන ආකාරයට විදේශ රටවලින් ගවමස් ආනයනය කිරීම පිළිබඳව තමා මුදල් ඇමතිවරයාට අයවැය සකස් කර අතර තුරදී දැනුම් දුන් බවත්, කුමන රටකදී සත්ව ඝාතනය සිදු වුවද කිසිසේත්ම සත්ව හිංසාව අනුමත නොකරන බවත්, සියළු සතුන්ට කරුණාව දැක්විය යුතු බවත් එම පුවතේ සඳහන් වෙයි.
වෙනත් කිසිදු සත්වයකුට නැති අනුකම්පාවක් ගවයා වෙනුවෙන් පැවතීම අපේ රටේ පමණක් නොව තවත් රටවල් ගණනාවකද පවතින්නකි. ඊට හේතු පාදක වූයේ, දියුණු තාක්ෂණය නොපැවතී අතීතයේදී ගවයා ගොවිතැන් කටයුතු සඳහා මෙන්ම භාණ්ඩ ප්‍රවාහනය සඳහා ද ප්‍රමුඛ අවශ්‍යතාවයක් වූ බැවිනි. හින්දු ආගම පදනම් කරගත් අතීත සංස්කෘතික සම්ප්‍රදායයන් ගවයා පිදීමක් බඳුවිය. ගවයාගෙන් ලද පිහිට ඒ තරමටම වැදගත් වූයේය. යැපුම් ගොවිතැන තුළ කිරි ගවයන්ගෙන් ලද ප්‍රයෝජනය ද මහත් සෙතක් සළසනු ලැබුවේය. අවසනාවන්ත තත්ත්වය වූයේ අවසානයේදී ගවයාගේ වහලකු  බවට පත්වන්නට ගොවියාට සිදුවීමය. 
ධනේෂ්වර සංවර්ධනය සමඟ ගොවිතැන කර්මාන්තයක් බවට පත්වීමට සමගාමීව සත්ව වගාවද දියුණු කර්මාන්තයක් ලෙස වර්ධනය වීය. මස් පිණිස සතුන් ඇති කිරීම මෙන්ම මත්ස්‍ය නිෂ්පාදනය ද කිරි නිෂ්පාදනය ඇතුලුව කිරි ආශ්‍රිත අතුරු නිෂ්පාදන ද දැවැන්ත කර්මාන්ත බවට පත්ව තිබේ. ආහාරය පිණිස ගන්නා බැටළු, කුකුළු, එළු, ඌරු ආදී සතුන්ගේ මස් ද වෙනත් නිෂ්පාදන ද එවැනිම මහා පරිමාණ කර්මාන්ත ලෙස ප්‍රසිද්ධියට පත්ව ඇත. සත්ව මාංශ හා කිරි ආශ්‍රිත කර්මාන්ත මේ තරම් දැවැන්ත ලෙස වර්ධනය වූයේ ඇයි?
ඒ ජනතාවගේ පරිභෝජනය සඳහා අත්‍යාවශ්‍ය වූ නිසාය.
මස් මාංශ පරිභෝජනයෙන් තොරව ජීවත්වීම පිණිස පෙළ ගැසෙන සුළු ජන කොටසක් සිටියද, එය මස් මාංශ පරිභෝජනය පහළ මට්ටමකට ඇද වැටීමට හේතුවක් වී නැත. වැඩිහිටි වියට පත් වූ ආගමික මතවාදයන් හේතු කොට ගෙන මස් මාංශ භාවිතයෙන් ඉවත්වන අයත්, පාසල් තුළ ගුරුවරුන් විසින් කරනු ලබන බලපෑම් මත දරුවන් මස් මාංශ භාවිතයෙන් ඉවත්වීම ද වැනි අවස්ථා මෙන්ම, ආගමික අන්තවාදය විසින් විශේෂයෙන් මුස්ලිම් ජනතාවට එරෙහිව මතවාදයක්  ගොඩනගනු පිණිස ගව මසට එරෙහි වීමේ ප්‍රවණතාවයක් පැවතීම දේශපාලකයින් විසින් දේශපාලනය සඳහා භාවිත කිරීම අමනෝඥය.
ආගමික සම්ප්‍රදායයන් මිථ්‍යා හා ගුප්ත සංකල්ප තුළ ගිලී තිබෙන්නකි. වසර 2500කට පෙර ඉන්දියාවට සංක්‍රමණය වූ ආර්යයන් තන බිම් සොයමින් තැනින් තැන යන එf`ඞ්ර ජීවිතයක් ගෙවූවන් වූ අතර, ගවයන් හා අශ්වයින් බිලි දෙමින් පුද පූජා පවත්වා තිබේ. සත්ව මාංශ ආහාරයට ගත් ඔවුනට ගවයා ඉහළ වටිනාකමකින් යුතු සම්පතක් වීය. ආගමික පුද පූජා වලදීත් මංගල අවමංගල අවස්ථාවලදීත් ගවයන් මරා දෙවියන් පිදීම හා මාංශ අනුභවය ඔවුන්ගේ චාරිත්‍රයක් වීය.
ගොවිබිම් නිත්‍ය වාසස්ථාන බවට පත්කර ගනිමින් කෘෂිකාර්මික රටාවකට හුරුවන්නට වූ පසුව ගවයන් ඇතුළු වෙනත් ගෘහාශ්‍රිත සතුන් කෘෂි නිෂ්පාදනය සඳහා වඩ වඩාත් ප්‍රයෝජනවත් වීය. බිලිපූජා සඳහා ගවයන් යොදා ගැනීම හා සත්ව මංශ අනුභවයට ඒ මගින් තහංචි පැනවිණි. ගවයාගෙන් සමාජයට ලැබුණු ආර්ථිකමය දායකත්වය ඊට ප්‍රධාන හේතුව වූ අතර, බෞද්ධ- ජෛන අවිහිංසාවාදී ආගමික ඉගැන්වීම් ද අතිරේක කාරණාවක් වීය.
ඉස්ලාම් ආගමිකයින්ගේ ඉන්දීය සංක්‍රමණය සමඟ ගව ඝාතනය යළි ප්‍රචලිත වූ අතර, හින්දු- ඉස්ලාම් ගැටුම් වලටද එය හේතුවීය.
කාර්මීකරණයේ ප්‍රතිඵල ලෙස නූතන යුගයේ මස් කර්මාන්තය ඉතා දියුණු ස්වරූපයක් ගෙන ඇත. ඉන්දියාවේ දී කිරි නිෂ්පාදනය සඳහා යොදා ගන්නා කිරි ගවයින්ගෙන් බිහිවන පිරිමි සතුන් මස් කර්මාන්තයට යෙදුවේ මාංශ අනුභව නොකරන හින්දූන් ජීවත්වන ප්‍රදේශවලින්  පිරිමි සතුන් මාංශ අනුභව කරන වෙනත් වාර්ගිකයින් ජීවත්වන ප්‍රදේශවලට සැපයේ. එමඟින් කිරි කර්මාන්තය මෙන්ම මස් කර්මාන්තය ද සුරැකේ.
මස් මාංශ අනුභවයට කැමැත්තෝ ඒ අනුභව කරත්වාෟ නොකැමැත්තෝ අනුභව නොකරත්වාෟ අනුභව කරන්නන්ගේ කැමැත්තට බලෙන් තහංචි දැමීමට ක්‍රියා කිරීම නිදහස් අයිතියට බාධාවකි. මස් මාංශ අනුභවය කළ යුතුද නැද්ද යන්න ඒ ඒ පුද්ගලයාගේ නිදහස් අයිතිය පිළිබඳ කරුණකි. මස් අනුභව නොකරන්නෝ මත්ස්‍ය මාංශ අනුභව කරති. කරවල, හාල්මැස්සන් හෝ අනුභව කරති. තවත් සමහරු මාංශ අනුභව නොකළත් හොද්දේ රස බලති. තවත් උදවිය හරක් මස් පමණක් අනුභව නොකරන අතර ‘චිකන්’ රස බලති. හරකකු මැරීම පවක් ලෙස අර්ථ දක්වන බොහෝ උදවිය දස දහස් ගණන් කූනිස්සන්, ඉස්සන් හාල්මැස්සන් හා වෙනත් මත්ස්‍යයන් මැරීම ගැන වදනක් නොවදාරති. මසුන් මැරීමේදී උනට සිදුවන දැවැන්ත හිංසාව ගැන පවා නොවදාරති. මේ කුමනාකාරයේ කුහක කමෙක් දැයි විමසා බලත්වා
දේශපාලනඥයෝ බණ දෙසා වදාරන පැවිද්දන්ගේ තැනට පත්වීම මහා ව්‍යසනයකි. එවැනි හැසිරීම් නැවත දේශපාලන බලය ලබා ගැනීමේ ව්‍යාපෘතියක් වග අපේ රටේ සිටි දේශපාලන බලවතුන්ගේ අතීත හැසිරීම දෙස බැලීමෙන් වටහා ගත හැකිය. එබැවින් දේශපාලකයා බැඳි සිටින වියගහෙන් තම හිස නිදහස් කොට ගෙන රට ගැන සිතන රාජ්‍ය තාන්ත්‍රිකයන්ට මාරුවෙන්නට බුද්ධිය පාදා ගැනීම අත්‍යාවශ්‍යය.
ඊට අදීන නිවහල් චින්තනයක් මෙන්ම අධිෂ්ඨාන සහගත එළඹුමක්ද අවශ්‍යයි. ආගම අලෞකික වන බැවින් හා රාජ්‍යය ලෞකික වන බැවින් තෝරා ගත යුත්තේ විද්‍යාව විනා මිථ්‍යාව නොවන වගද වටහා ගත යුතුය. පටු අදහස් නම් පවුරින් ගැලවී ගන්නට බුද්ධිය මෙහෙය වන්නේදැයි අපි නිරතුරුව බලා හිඳින්නෙමු.

විමර්ශි

Comments