වෛද්‍ය සෙනරත් වේරගම
මහ රෝහල, මාතලේ,
077-3232130
රට තුළ අපරාධ ඉහළ යයි. කුඩා දරුවාගේ පටන් වැඩිහිටියා දක්වා සියළු දෙනාම එකිනෙකා කෙරෙහි ද්වේශය වෛරය පතුරුවමින් උනුන් අභිබවා යෑමේ මහා ධාව න තරඟයක යෙදෙති. එසේ වුවද ජනමාධ්‍ය තුළින් නොකඩවා ධර්ම දේශනා ඇසීමට ලැබේ. මෙම දේශනාවලදී පුද්ගලයකු තුළ යහපත් මානසික තත්ත්වයක් යථාර්ථය පෙන්වා මඟින් තුලින් ගොඩනංවනවා වෙනුවට නොයෙකුත් ගුප්ත මිථ්‍යාවන් සහ මිථ්‍යා පුද පූජා ආදිය උලුප්පා දැක්වීම වැඩි වශයෙන් දක්නට ලැබේ. මේ මිථ්‍යාවන්ට වන්දනාමාන කිරීමෙන් තමන්ට තව තවත් සැප සම්පත් (තෘෂ්ණාව) ගොඩ ගසා ගන්නා අයුරු (මේ ජීවිතයේ සහ ඊනියා මතු භවයේ) රස කරමින් දේශනා කෙරෙනු දැක ගත හැක. මේ රටාවේ බණ දේශනා සඳහා එක්තරා තෝරාගත් භික්ෂූන් කොටසක් මාධ්‍ය තුළ සිටීම, විශේෂයෙන් විද්‍යුත් මාධ්‍ය දෙස විමසිල්ලෙන් බැලුවහොත් අවබෝධ කර ගත හැක.
මේ ගුප්ත ධර්ම දේශනා නැතිනම් බණවල පොදු ලක්ෂණයක් ඇත. එනම් බුදුදහම යනු දෙවියන් යකුන් මළගිය ආත්ම වැනි ගුප්ත බලවේග මත පදනම් වූවක් ලෙස ශ්‍රාවකයාට හැ`ගෙන අයුරින් දේශනා කිරීමයි.
ඡායාරූපවලට පෙනී සිටින භූතයින්ගේ ඡායාරූපද මෙම බණ දේශනාවලට එක් කර ගැනීමට පෙළඹෙන එබදු භික්ෂූන් එතනින් නොනැවතී භූත බලපෑම් තිබු පුද්ගලයින් නිවෙස් ආදියෙන් එම භූතයින් පලවා හැරීමේ ශක්තිය තමාට ඇතැයි හීන් සීරුවේ ප්‍රකාශ කර සිටී. බබාලා නැති අම්මලාට බබාලා පවා තමන් ලබා දුන් බව එක්තරා භික්ෂූවක් රූපවාහිනියේ ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේය. මේ සියළු දේශනා සහ පම්පෝරි ගැන මේවාට වැඳගෙන සවන් දෙන බොහෝ දෙනෙක් නොදනිති. මේ ආකාරයේ භික්ෂූන් සියල්ලම පාහේ තමන්ගේ පන්සල් ආශ්‍රිතව කට්ටඩීන් මෙන් හැසිරෙමින් මසකට රුපියල් ලක්ෂ 20-30 අතර ආදායමක් උපයන්නන් බව මෙම ගැටවලට හසුවූවෝ දනිති.
අනිත් ක්‍ෂේත්‍රවල මෙන්ම වර්තමානයේ මිථ්‍යාව ඇසුරෙන් ව්‍යාපාර කරන කට්ටඩි, දේවගැති, කපුවන් ජ්‍යෝතිෂ කරුවන් අතර ද ඇත්තේ තියුණු තරඟයකි. මේ තරඟයෙන් ඉදිරියටම පැමිනීමට චීවරය යොදා ගැනීම අතිශය සාර්ථක ක්‍රමවේදයක් වන්නේ අප රටේ අනුධානුකරණයෙන් බුදු දහම අදහන බහුතරයක් චීවරධාරියෙකු දුටු සැනින් වසඟයට පත්වීම නිසා ය.
ඊළඟ පියවර ජනතාව අතර ප්‍රතිචාරයක් ලබා ගැනීමයි. ඒ සඳහා මුදල් ගෙවා විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍යය වල දැන්වීම් පල කළ හැක. නැතිනම් මුදල් ගෙවා කිසියම් කාලසීමාවක් වෙන් කරගෙන විද්‍යුත් මාධ්‍යයක තමාට රිසි පරිදි වැඩ සටහනක් කළ හැක. මේ ක්‍රමයට වඩා ජනතාව රවටා ආකර්ෂණය කරගත හැකි අති සාර්ථක ක්‍රමයක් ඇත. ඒ ඉහත මා සඳහන් කල බණ දේශනා සහ පෝය ඉරිදා වැනි දිනවල පැවැත්වෙන සාකච්ඡා ආදියට සහභාගී වී ඉහත සඳහන් ආකාරයේ ප්‍රචාරයක් ලබා ගැනීමයි. බැලූ බැල්මට මේවා මුදල් ගෙවා ප්‍රචාරය කරන දැන්වීම් නොවේ.
එසේ වුවද මේවාට සහභාගී වන මිථ්‍යා ව්‍යාපාරිකයින්ට (චීවරධාරීන්ද ඇතුළුව) එම වැඩසටහන්වල හැසිරීමට මාධ්‍ය ඉඩ දී ඇති සැටි බැලීමෙන් මෙම මාධ්‍යවලට අත යටින් හොඳ කුට්ටියක් දී ඇති බවට සාධාරණ සැකයක් මතුවේ.
මෙබදු පෝය දින වැඩ සටහනකට සහභාගී වූ යෝගියෙකු ලෙස හඳුන්වන පුද්ගලයෙකු ජනප්‍රිය ගුවන් විදුලි වැඩසටහනකට පසුව ප්‍රකාශ කර තිබුනේ තමන් එම වැඩසටහනට සහභාගී වූයේ එහි නිෂ්පාදකයා ඇතුලු පිරිසකට අල්ලස් දීමෙන් බවය.
එම වැඩසටහනටම පසුව සහභාගී වූ එක්තරා භික්ෂුවකට එම වැඩසටහන තුළ යකා නැටීමට ඉඩ දී තිබුනේ වැඩ සටහන කිසිම සමබරතාවයකින් තොරව පවත්වා ගෙන යාමෙනි. මිථ්‍යාවට විරුද්ධව අදහස් දක්වන පාර්ශ්වයට මෙන් තුන් හතර ගුණයක කාලයක් එම භික්ෂුවට ලබා ලබා දෙනවාට අමතරව ඉතා අවිනීතව හා කඩාකප්පල්කාරි අයුරින් අනිකුත් කථිකයන්ට බාධා කිරීමටද පූර්ණ නිදහස වැඩ සටහනේ නිෂ්පාදකයා ලබා දී තිබු අයුරු එම වැඩ සටහන වුවමනාවෙන් නැරඹූ අයෙකුට ප්‍රත්‍යක්ෂ වනු ඇත. මෙබඳු වැඩ සටහන්වලට මිථ්‍යාවට විරුද්ධ අදහස් දක්වන පාර්ශ්වයක් ගෙන්වන්නේ සැබෑ ලෙසම සමබර අදහස් දැක්වීමකට ඉඩදී ප්‍රේක්ෂකයාට බුද්ධිමත් තීරණයක් ගැනීමේ චේතනාවෙන් නොවන බව මින් සක්සුදක් සේ පැහැදිලි වනු ඇත. වැඩසටහනේ නිෂ්පාදකයාගේ අරමුණ උණුසුම් තත්ත්වයක් සාකච්ඡාව තුළ මවා මිථ්‍යාවට විරුද්ධ පාර්ශ්වයට හැකිතාක් කෙනෙහිලිකම් සිදුකර අනිත් පාර්ශ්වයට වාසියක් අත් කර දීමයි. ඒ තුළින් තමන්ට අත යටින් වාසි සලසන මිථ්‍යාවෙන් මුදල් උපයන චීවරධාරීයාට පෙරලා සහය දැක්වීමයි. මෙයට එකී මිථ්‍යාවට විරුද්ධ අදහස් දක්වන කථිකයා දුෂ්කරතා මධ්‍යයේ වුවද සාර්ථකව මුහුණ දේ නම් එම කථිකයාට විවිධ කොන්දේසි ඉදිරිපත් කිරීමට ද මෙම වැඩසටහන් නිෂ්පාදකවරු පෙළඹෙති.
වැඩසටහන අතර තුර ප්‍රසිද්ධියේ එකී චීවරධාරියාට “අවසරයි” ආදිය කියමින් ගරු බුහුමන් දැක්වීමට අණ කිරිම සහ එමඟින් හෝ එකී චීවරධාරියා ඉදිරියේ අනිත් කථිකයා හෑල්ලුවට ලක් කිරීමට උත්සාහ දැරේ. මේවාට යට නොවීමට තරම් පෞරුෂයක් එකී කථිකයාට ඇත්නම් අවසානයේ හිටි අඩියේ එම කථිකයා වැඩ සටහනෙන් ඉවත් කෙරේ.
එයින්ද නතර නොවන මෙම ජුගුප්සා ජනක ක්‍රියාවලිය එකී කථිකයා නොමැතිව පවත්වන වැඩසටහනේදී ඔහුට එරෙහිව අසත්‍ය ප්‍රකාශ කරමින් අපහාස කිරීමටද එම භික්ෂූන්ට ඉඩ ලබා දීම මඟින් කෙළවර වේ.
භික්ෂූන්ට ගුරුකම් ජ්‍යෝතිෂය වැනි කටයුතුවල යෙදීම වරදක් ලෙස නිර්දේශිත පනතක් ළගදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් විය . එය කන වැකුණ සැනින් එයට විරුද්ධව වියරුවෙන් මෙන් ආවේගශීලීව කෑමොර ගසන හිමිවරුන් කීප දෙනෙක්ද රූපවාහිනි නාලිකාවල දක්නට ලැබුණි.
මේ ලිපියේ සඳහන් කරුණුවල සත්‍යතාවයට ඔවුන්ගේ එම හැසිරීමේත් එයට අනුබල දෙන ජනමාධ්‍යවල හැසිරීමේත් ප්‍රබල සාක්ෂි වන්නේය. ඇත.
Comments
Post a Comment