අප විසින්ම නැතිකර ගතයුතු චින්තන වහල්භාවය


එස්.රණතුංග 
සභාපති - ශ්‍රී ලංකා හේතුවාදී සංගමය 
පසුගිය පෙබරවාරි 04 වන දින අපේ 68 වන ජාතික නිදහස් දිනය ජයට සැමරින. ඒ 1948 දී ගිවිසුමක් මඟින් බි්‍රතාන්‍ය යටත් විජිත පාලනයෙන් මේ රට මිදීලැබු නිදහසයි. ජනප්‍රිය භාෂාවෙන් කියනවානම් “සුද්දාගෙන්” ලැබු නිදහසයි. එහෙත් වැඩවසම් අවධියේ පටන්ම අප විසින්ම ස්ව කැමැත්තෙන්ම ළඟාකරගෙන ඇති චින්තන වහල්භාවයෙන් මිදීමට තවමත් අපට හැකියාවක් ලැබී නැත. එම නිදහස සුද්දාගෙන් ලබාගත නොහැකිය. සුද්දෝ නැතහොත් යුරෝපීයයන් මෙම නිදහස ලබාගත්තේ ක්‍රි.ව 1300ත් 1500ත් අතර පල්ලියේ පාලනයත්, නොපෙනෙන බලවේගවලට ජනතාව බැඳතැබූ වහල්බැමි වලටත් එරෙහිව දියත් කෙරුනු අරගලය තුළිනි. එම රටවල ජනතාව කෙරේ මෙන්ම රාජ්‍ය පාලනය කෙරේත් පවත්වාගෙන ගිය පූජක ආධිපත්‍යය ඉවත් කිරීමට දැඩි වෙහෙසක් දැරීමට සිදුවිය. මධ්‍යතන යුගයේ බිහි වූ කොපර්නිකස්, කෙප්ලර්, ගැලීලියෝ, පිසේලියස් සහ හාර්වේ වැනි විද්‍යාඥයන් ලෝක විෂය පිළිබඳව සිදුකළ විද්‍යා පර්යේෂණ තුළින් පූජකවාදය හා මිථ්‍යා ඇදහිලිවලින් පිරුණු සමාජය නිදහස් කරගැනීම හෙවත් පුනරුදය (ඍැබ්සි්බජැ) උදාවීම සිදුවිය. 

අප රටට ද අද අවශ්‍යවන්නේ චින්තන නිවහල්භාවයේ පුනරුදයකි. එවැනි පුනරුදයකට එරෙහිව පවතින්නේ බුදුන් වහන්සේගේ නාමයෙන් වර්ධනය කරගෙන ඇති සංඝාධිපත්‍යයත් එයට සමපාතවම ඇති අදෘෂ්‍යමාන බලවේග හා ජ්‍යෝතිෂකරුවන්ගේ විශ්මිත ප්‍රාතිහාර්යයන් සහ නොයෙක් පුද පූජා විධි යනාදියයි. මේ රටේ ජනජීවිතයේ සෑම අංගයක්ම විශේෂයෙන්ම බෞද්ධයන්ගේ ජීවිතය පාලනය කෙරෙන්නේ ආගමත් ජ්‍යෝතිෂයත් හා ඒ ආශ්‍රිතව පවතින මිථ්‍යා ඇදහිලිත් විසිනි. වැඩවසම් යුගයේ රජවරුන් විසින් රාජ්‍ය පාලනයට භික්ෂුන් හවුල්කර ගැනීමේ හා ඔවුන්ගෙන් අදහස් විමසීමේ සම්ප්‍රදාය මෙම 21 වන සියවසේ ලංකාවේ රාජ්‍ය පාලකයෝද එදාටත් වඩා අවිචාරයෙන් අදත් අනුගමනය කරති. රාජ්‍ය පාලනයට පුරෝහිතකම් කිරීමට තරම් විෂය දැනුමක් මෙම භික්ෂු සමාජයට නැති බවත් එසේ සෘජු දේශපාලනයට භික්ෂුන්ගේ සහභාගීත්වය බුදුන් වහන්සේගේ දහමට අනුකූල නොවන බවත් මේ රාජ්‍ය පාලකයන් නොදනී. 

මානසික වහල්භාවය කොතරම්ද කියවා නම් කිසිම රාජ්‍ය උත්සවයක් හෝ විවෘත කිරීමක් පිරිත් දේශනා හා නැකැත් බැලීමකින් තොරව සිදුනොවේ. ප්‍රසිද්ධ මාධ්‍ය මඟින් ආගමික නොවන විෂයන් පිළිබඳව කරන සාකච්ඡා සම්මන්ත්‍රණ වලදී පවා බෞද්ධ භික්ෂුවක් දරණ මතයට එරෙහි මතයක් දැක්වීම මහා පාපකර්මයක් ලෙස පොදු සමාජය විසින් සලකන සම්ප්‍රදායක් බිහිකරගෙන ඇත. මෙම අධිපතිවාදිත්වය අන්තයටම යාමෙන්මය, ගලබොඩ අත්තේලා වැනි නිකායන් නිර්මාණය වී ඇත්තේ මේ රටේ සමාජය මෙම මානසිකත්වයෙන් මුදවාගැනීමේ පළමු පියවර ලෙස ආගමික බැඳීම් වලින් විනිර්මුක්ත වූ රාජ්‍ය පාලනයක් හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නිර්මාණය කරගැනීම අවශ්‍යය. එමඟින් රාජ්‍යපාලකයන්ගේ පෞද්ගලික ආගමික ඇදහිලි සහ විශ්වාස රාජ්‍ය ප්‍රතිපත්ති ලෙස නොව පෞද්ගලික ජීවිත පුරුදු ලෙස පවත්වාගෙන යෑමට ඉඩහැර රාජ්‍ය පාලනය හුදු ලෞකික තලයක පමණක් ක්‍රියාත්මක කරවීමට බුද්ධිමත් පුරවැසි සංවිධාන මඟින් කරන බලපෑම තීව්‍ර කරගැනීම යුගයේ අවශ්‍යතාවයි. 

Comments