කාලීන සමාජ යථාර්ථය විනිවිද දුටු ජයලත්ගේ ගැහැණු ළමයි


කේ.ඒ . කුලතිලක 077-4106350

හැටේ දශකයේ මෙරට තරුණ පරපුර අතර ජනප්‍රියම නවකතාකරුවා වූයේ කරුණාසේන ජයලත් බව අවිවාදිතය.එහෙත් ඒ වන විට සාහිත්‍ය කලා ක්‍ෂේත්‍රය තුළ නිර්මාණය වී තිබුන සුවිශේෂි ප්‍රබුද්ධ ආධිපත්‍යය තුළ ජයලත්ට ලැබිය යුතු නියම ස්ථානය නොලැබුණි’. ඒ සඳහා පසුබිම් වූ හේතු පැහැදිලිය.
නිදහස් අධ්‍යාපනයේ බලපෑම නිසා 60 දශකය වන විට ගම් මට්ටමින් මධ්‍ය මහා විද්‍යාල සහ මහා විද්‍යාල හරහා විශ්ව විද්‍යාලයට ඇතුලු වූවන් සංඛ්‍යාව ක්‍රමයෙන් වර්ධනය වීය. මේ වන විට පේරාදෙණිය සරසවිය මුල් කරගෙන සාහිත්‍ය - කලාව සහ විචාර ක්‍ෂේත්‍රයේ ස්වර්ණමය යුගය උදා වී තිබුණි. මහාචාර්ය සරච්චන්ද්‍ර වැන්නන් ඇතිකළ මෙකී නව ප්‍රබෝධය නවක උපාධිධාරීන් තුළින් මධ්‍ය විද්‍යාල හා මහා විද්‍යාල හරහා සමාජගත වෙමින් පැවතුනි. මේ යුගය මාර්ටින් වික්‍රමසිංහගෙන් ඇරඹි සරච්චන්ද්‍ර, සිරි ගුණසිංහ, ගුණදාස අමරසේකර, කේ.ජයතිලක වැනි සාහිත්‍ය කරණයේ පතාක යෝධයින් බිහිවුන යුගය විය. මාර්ටින් වික්‍රමසිංහ සරච්චන්ද්‍රලාගේ අනුග්‍රහයෙන් ප්‍රබුද්ධ විචාර කලාවක්ද බිහිවී තිබුනි. මෙවන් පසුබිමකදී කරුණාසේන ජයලත් බොළඳ පෙම්කතා ලියු අයෙකු ලෙස පෙනීම අරුමයක් නොවීය.
60 දශකය වන විට මධ්‍යමහා විද්‍යාල සහ මහා විද්‍යාල රටපුරා ව්‍යාප්තව පැවතිණි. නිදහස් අධ්‍යාපනයේ ප්‍රතිඵලයක් වශයෙන් ගැමි දරුවන් විශාල වශයෙන් ඒවායේ අධ්‍යාපනය සඳහා ඇතුළු වූහ. මේ අය අතුරින් විශ්ව විද්‍යාලයට වරම් ලැබුවෝ අද මෙන්ම එදා ද සීමිත විය. ඉතිරි අය සාමාන්‍ය පෙළ හෝ උසස් පෙළ දක්වා අධ්‍යාපනය ලබා ලිපිකරු වැනි රැකියා ලැබූ අතර තව බොහෝ දෙනෙක් රැකියා විරහිත තත්වයට පත්විය. ඔවුන්ගේ ශ්‍රමය උරා ගැනීමට තරම් ආර්ථිකය පුළුල් නොවීය. එවැනි දැක්මක් එතෙක් පැවති කිසිදු රජයකට නොතිබුණි.
විශ්ව විද්‍යාලයට වරම් නොලැබුවද උසස් පෙළ කඩඉමට ළගාවූ තරුණ පරපුර කිසියම් විචාර බුද්ධියකින් යුක්ත අය විය. පැරණි හා නූතන සාහිත්‍ය කලා අංශ මෙන්ම දේශපාලනය ද ඔවුන්ගේ මනස තුළ රජ කළේය. එවකට නැගී එමින් පැවති සමාජවාදී පාලන ක්‍රමය ඔවුන් ආකර්ශනය කර ගත්තේය. මේ වන විට රටේ ජන මාධ්‍ය ද එතරම් පුළුල් නොවීය. විද්‍යුත් මාධ්‍යයක් ලෙස පැවති එකම ගුවන් විදුලි සේවය සහ පුවත්පත් ආයතන දෙක තුනකට මාධ්‍ය සීමා වී තිබුණි. නිදහස් අධ්‍යාපනය නිසා කිසියම් සාක්ෂරතා මට්ටමකට පැමිණි එහෙත් විචාර බුද්ධියෙන් හීන තරුණ පරපුර ගුවන්විදුලියේ වෙළඳ සේවය, පුවත්පත්වල සිනමා අතිරේක තම විනෝදාංශ කරගත්හ.
කරුණාසේන ජයලත් “ගොළු හදවත” එළි දක්වන්නේ මෙවන් පසුබිමකය. සරච්චන්ද්‍රගේ “මනමේ” ගුණදාස අමරසේකරයන්ගේ “ජීවන සුවඳ” වැනි කෘතීන්ගේ පහස ලැබීමට අවස්ථාව නොලද තරුණ පරපුර යොවුන් ප්‍රේමය පාදක කරගත් ජයලත්ගේ “ගොළු හදවත” කෙරේ ඇදීයාම අරුමයක් නොවීය. තමන්ගේ සීමිත පාසල් දිවියේ විවිධ අත්දැකීම් ඇති එම තරුණ පරපුර ගොළු හදවතේ ජනප්‍රියතාවයට පදනම් වූයේ එම පසුබිමයි.
ගොළු හදවත මෙන්ම බොළඳ කතාව යැයි ප්‍රබුද්ධ විචාරකයන් ලේබල් ගැසු ජයලත්ගේ ‘ගැහැණු ළමයි’ නව කතාව ලිවීම ජයලත්ගේ ලේඛක ජීවිතයේ කඩඉමක් සලකුණු කළේය. යොමුකර යොවුන් ප්‍රේමය පදනම් කර ගත්තද ‘ගැහැණු ළමයි’ තුළින් ජයලත් සමාජයේ විවිධ ක්‍ෂේත්‍ර විනිවිද දැකීමට සමත් විය. එහෙත් ගොළු හදවත බොළද පෙම් කතාවක් ලෙස දුටු විචාරකයන් ජයලත්ගේ එම නව නැඹුරුව නොසලකා හැරියහ. කෙසේ වෙනත් ‘ගොළු හදවත’ සහ  ‘ගැහැණු ළමයි’ රාජ්‍ය සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලැබීමට සැකසුන රාජ්‍ය පසුබිම අද අප අගය කළ යුතුය. රාජ්‍ය සම්මාන වෙනුවෙන් විවිධ අපභ්‍රංශ ගොතන වත්මන් ලේඛක ලේඛිකාවන්ට සම්මාන පුදන සංස්කෘතික දෙපාර්තමේන්තුවට වඩා එදා රාජ්‍ය අංශය සාධාරණ වූ බව සඳහන් කළ යුතුය.
‘ගැහැණු ළමයි’ නව කතාවෙන් එළි දකින්නේ 56 පෙරළියට උරදුන් ගැමි සමාජයේ පවුල් දෙකක් පාදක කරගත් කතාවකි. සුළු වෙළදාමකින් පටන්ගෙන, සමාජයේ ඉහළ ස්ථරයකට නැඟීමේ සුළු ධනේෂ්වර ආකල්පයකින් යුතු දිරිය මවක් ඇති නිමල් හතුරුසිංහලාගේ පවුලත්, දහසක් ජීවන දුෂ්කරතා මැද ස්වකීය සහජ හැකියාවන් පවා ඔප් නංවා ගැනීමට ඉඩ නොලද කුසම්ලාගේ පවුලත් පිළිබඳ කතාවයි. ඒ අතරම නිදහස් අධ්‍යාපනය සමාජයේ ඇති හැකි නැති බැරි අයට බලපෑ ආකාරයත් ය. “නිදහස් අධ්‍යාපනය යනු ටික දෙනෙකුට හොඳ අධ්‍යාපනයකුත්, වැඩි දෙනෙකුට නරක අධ්‍යාපනයකුත් නොමිලේ ලබාදීමය. යන ප්‍රකාශය ස්ථූට කරන අවස්ථාවකි.
56 පෙරළියට උරදුන් අයට නිශ්චිත අනාගත එල්ලයක් නොවූ බව ගැහැණු ළමයි කතාවේ පසුබිම අපට ඉඟි කරයි. ඔවුන් තුළ වූයේ සමාජවාදී ඉලක්කයක් නොව නිසගයන්ම ඔවුන් තුළ පැවති සුළු ධනේෂ්වර ආකල්පයන්ය. ගුණනදාස අමරසේකර පසු කාලයේදී ලියු නවකතා තුළින් ද මෙකී අදහස සනාථ වෙයි. නිදහස් අධ්‍යාපනය තුළින් විශ්ව විද්‍යාලයටද, පසුව පරිපාලන සේවයට ද ඇතුළුවන නිමල් ලා විවාහය මගින් තමාට එතෙක් නොලැබුන සමාජ සමාජ තත්වයක් අපේක්ෂා කරති. ධනය ඇතිනම් උසස් අධ්‍යාපනයක් නැතත් ඉහළින් වැජඹිය හැකි බව පද්මිණි ලා සනාථ කරති.
අනෙක් අතින් නිදහස් අධ්‍යාපනය තුළින් තරමක් දුරගිය කුසුම්ලා, ගුණපාල ලා, තමන් ලැබු විචාර බුද්ධියත් සමඟම සමාජයේ අතරමං වෙයි. තවත් පැත්තකින් අවම අධ්‍යාපනයක් ලද දවස පුරා වෙළඳ ගුවන් විදුලියට සවන් දෙමින්, පෑනේ මිතුරන් ඇසුරු කරමින් සිහින ලොවක අතරමං වන සෝමෙලා ශෝචනීය ඉරණමකට ගොදුරු වෙයි. තරුණ පරපුර වෘත්තීය අධ්‍යාපනයක්  වැනි ඵලදායි ක්‍රියාවලියක් මගින් රටේ නිෂ්පාදන ක්‍රියාවලියට හසුකර ගැනීමට අපොහොසත් වූ පාලනයක් තුළ අත්දුටු ඛේදවාචකය මෙයයි. අවස්ථාවාදී දේශපාලනය රටක ඵලදායි ශ්‍රමය අගාධයකට ගෙන ගිය අයුරු මෙසේ නිරූපිතය.
සියල්ල යථාර්ථවාදීව විග්‍රහ කරන ජයලත් ගැහැණු ළමයි තුළින් හඳුන්වා දෙන ගුණපාල මේ තත්ත්වයට එරෙහිවන අනාගත සංකේතයක් ලෙස චිත්‍රණය කරයි. සියළු ගැටළු පැන නැගී ඇත්තේ, පවතින සමාජ දේශපාලන රටාවේ වරදින් බවත්, එම තත්වය ජය ගැනීමට නම් සමාජය වෙනස්  කළ යුතු බවත්, ඒ සඳහා පෙරමුණ ගැනීමට තමන් සූදානම් බවත් ගුණපාල කියා සිටී. මෙවන් තත්ත්වයක පරිසමාප්තිය අප දුටුවේ 71  අරගලය තුළිනි. එවන් අරගලයක් කරා තරුණ පරපුර ගමන් කරනු ඇතැයි 60 දශකයේ දී ම ජයලත් තක්සේරු කර තිබුනාසේය.
නවකතාව තුළින් මනස් පුතුන් බිහි නොකර සමාජ යථාර්ථය එලෙසින්ම විග්‍රහ කිරීමට ජයලත් ගත් උත්සහය ඇගයීමට ලක්නොවීම අසාධාරණයකි. ඔහු විසින් චිත්‍රණය කරන ලද බොහෝ චරිත පරාජිත ඒවා වුවත්, ඔවුන් සමාජයට මුහුණ දෙන්නේ එක්තරා ශික්ෂණයක් ඇතිවය. කුසුම් ලා, ගුණපාල ලා, අනුල ලා පවතින සමාජ තත්වය ග්‍රහණය කර ගනිමින් ජීවිතයට මුහුණ දිය යුතු ආකාරය පෙන්වා දෙයි. අද අයාලේ යන සමහර තරුණ කොටස් වලට   ජයලත් දී ඇත්තේ මහඟු ආදර්ශයකි. පසුගිය කාලයේ සිසුවියක් ඝාතනය කිරීමේ පුවත පිළිබඳව එක්තරා ලේඛකයෙකු ලියා තිබුනේ එම සිසුවා ‘ගොළු හදවත’ කියවා තිබුනේ නම් එවන් තීරණයක් නොගනු ඇත යනුවෙනි.
1962 එළිදුටු ‘ගොලු හදවත’ නොකඩවා වසර තුනක් මුද්‍රණය වී ඇත. ‘ගැහැණු ළමයි’ එළිදුටු 1966 වසරේම එය දෙවරක් මුද්‍රණය වී ඇත. මේවායේ නවතම මුද්‍රණ අද සීග්‍රයෙන් අලෙවි වෙමින් පවතී. විචාරක සම්මාන නොලැබුවත් සහෘද සම්මාන ලැබු ජයලත් පරපුරක හදවත් දිනූ ලේඛකයෙකු වීය. කාලීන සමාජ යථාර්ථය විනිවිද දුටුවකු විය.

Comments