සුද්දාට තැලීම සහ යථාර්ථය දැකීම



කේ.ඒ.කුලතිලක -0774106350
බුදුන්වහන්සේ වාසෙට්ඨ සහ භාරද්වාජ දෙදෙනාට දේශනා කළ ‘අග්ගඤ්ඤ සුත්‍රය’ ඩාවින්ගේ පරිණාමවාදය එළිදැක්වීමට බොහෝ ඉහතදී ජීවයේ පරිණාමය පිළිබඳ ඉදිරිපත් වුන වාර්තාගත මුල්ම ඵෙතිහාසික විග්‍රහයයි. පරිණාමවාදය පිළිබඳව 1859 දී ‘ජීවයේ සම්භවය’ නම් ග්‍රන්ථය තුළින් චාල්ස් ඩාවින් ඉදිරිපත් කළ නූතන මතය බුදුන් දෙසූ අග්ගඤ්ඤ සුත්‍රය සමඟ බෙහෙවින් සැසඳේ. 
ජලයෙහි හටගත් ජීවය දිය ගොඩ දෙකම ඇසුරු කරගෙන ක්‍රමිකව පරිණාමය වූ ආකාරය අග්ගඤ්ඤ සුත්‍රයේ විග්‍රහකර ඇත. නුතන විද්‍යාත්මක මතය අනුව ජීවයෙන් තොරවූ ‘ප්‍රාග්කේම්බි්‍රය යුගය’ පසුකර එළඹි, ‘පේලියොසොයික’ යුගයේදී ජලජ පැළෑටි හා ජලජ සතුන්ද උරගයින්ද බිහි විය. අනතුරුව ‘මෙසොසොයික’ යුගයේදී ක්ෂිරපායින් හා ඩයිනෝසරයන් බිහිවූ අතර, ‘කේනෝසොයික’ යුගයේදි නූතන මානවයා බිහිවිය. ස්වයංජාත හැල් අතුරුදහන් වීම සමඟ මානවයා ආහාර සොයා නැනින්තැන ඇවිද්ද බවත්, ඒ සංක්‍රමණ නිතී ඒ ඒ ප්‍රදේශවල දේශගුණික පරිසරයන්ට අනුව මානවයාගේ පෙනුම, වර්ණය, භාෂාව ආදී වශයෙන් විවිධ වෙනස්කම් ඇතිවූ බවත් අග්ගඤ්ඤ සූත්‍රය පැහැදිලි කරයි. ඒ අනුව නූතන මානවයා වර්ණ අනුව ‘නීග්‍රොයිඞ්’, ‘මොංගොලයිඞ්’, ‘කෝකසයිඞ්’ යනුවෙන් නූතන මානව විද්‍යාව අනුව බෙදා දක්වයි. නූතන මානව විද්‍යාව සහ අග්ගඤ්ඤ සූත්‍රය සසඳා බැලීමේදී මානවයා ඇතු`ඵ සිය`ඵ ජීවීන් උපතින් සමානය යනුවෙන් වාසෙට්ඨ, භාරද්වාජ දෙදෙනාට කළ දේශනය සර්ව කාලීන බව පැහැදිලිය. 
මානව සංස්කෘතියේ ගොවියුගය ඇරඹීමත් සමඟ ස්ථිර ජනාවාස බිහිවිය. බොහෝවිට ගොවිතැන මුල්කරගෙන ගංගා නිම්න ආශ්‍රිතව ශිෂ්ටාචාරය ගොඩ නැගෙන අයුරු ඉතිහාසය තුළින් අනාවරණය වේ. ඉන්දුනිම්නය ආශ්‍රිතව දියුණු නාගරිකයක්ද, නයිල් නිම්නය ආශ්‍රිතව පිරමීඩ වැනි විශ්මිත නිර්මාණද ගොඩනැඟෙයි. ඒ සමඟම විවිධ විද්‍යාවන්ද බිහිවෙයි. මේ අයුරින් ගොඩනැඟුන දියුණු ශිෂ්ටාචාරයන් විවිධ හේතූන් නිසා අභාවයට පත්විය. පොළොන්නරු යුගයෙන් පසු ලාංකික ශිෂ්ටාචාරයද, මෝගල් යුගයෙන් පසු ඉන්දීය ශිෂ්ටාචාරයද පරිහානියට ගමන් කළේය. පරිණාමිකව සිදුවූ මේ හිස්තැන පිරවෙන්නේ බටහිර අර්ධගෝලය තුළින් නැඟී එන දියුණුව නිසාය. බටහිර අඳුරු මධ්‍යතන යුගයෙන් පසු බිහිවන ‘චින්තන විප්ලවය’ නව ලොවක් කරා ආ ගමනේ පැහැදිලි කඩඉමක් ලකුණු කරයි. 
චින්තන විප්ලවයෙන් අනතුරුව 18 සියවසේ එංගලන්තයෙන් ඇරඹෙන කාර්මික විප්ලවය නූතන ධනවාදී ආර්ථිකයට මඟ පාදයි. ඒ අනුව විවිධ නිපදවීම් එංගලන්තය තුළ බිහිවෙයි. නව නිපැයුම් වල ප්‍රතිඵලයක් ලෙස නිෂ්පාදන අතරික්තයක්, අමුද්‍රව්‍ය සඳහා දැඩි ඉල්ලුමක්, වෙළඳපල අවශ්‍යතාවයක්, ප්‍රවාහන පණිවුඩ හුවමාරු ක්‍රමවල සීඝ්‍ර දියුණුවක් ඇතිවෙයි. අවසානයේ බි්‍රතාන්‍ය ඇතු`ඵ සුදු ජාතිකයන් අධිරාජ්‍යවාදය කරා නිතැතින්ම යොමුවෙයි. මේ අනුව යටත් විජිත හිමියන් බිහි වන අතර බි්‍රතාන්‍යය අවසානයේ සියලු ජාතීන් අභිබවා නැගී සිටී. මේ සිද්ධි දාමය සිදු වෙද්දී පෙරදිග කලින් දියුණුව පැවති ශිෂ්ටාචාර ක්‍රමයෙන් පරිහානියට ගමන් කරයි. 
1498 වාස්කු ද ගාමා කැලිකට් වලට පැමිණීම පෙරදිග ඉතිහාසයේ කඩ ඉමක් සලකුණු කරන බව කේ.එම්.පනික්කාර් වැනි අයගේ අදහසයි. මේ අනුව පෙරදිග රටවල් බටහිර ගුරුත්වාකර්ශණයට ලක්වෙයි. විශේෂයෙන් ශ්‍රි ලංකාව ඉන්දීය ගුරුත්වයෙන් ගිලිහෙයි.  ඈත අතීතයේ සිටම ඉන්දීය ආකර්ෂණයට ලක්ව තිබු දිවයින පෘතුගීසින් දැමු පදනම මත ලන්දේසි යටතේද අවසානයේ ඉංග්‍රිසීන් යටතේ ද පූර්ණ වශයෙන් බටහිර ග්‍රහණයට ලක් වෙයි. මේ බලපෑම දේශපාලන, ආර්ථික, සමාජීය සංස්කෘතික සියලු අංශ පූර්ණ පරිවර්තන යුගයක් කරා දිවයින රැගෙන යයි. 
පෘතුගීසින් 16 වන සියවසේ මෙරටට පැමිණෙන විට ලංකාව සිංහල රාජධානි යුගයේ පරිහානිය කරා පැමිණෙමින් තිබුණි. අවසානයේ එය මහනුවර දක්වා සංක්‍රමණය වී ඉංග්‍රීසින් අතින්  අවසානයට ළඟා වෙයි. 1815 සමස්ත දිවයිනේම ඇරඹි බිත්‍රාන්‍ය පාලනය කෙබඳු ලෙස විග්‍රහ කළද ලංකාවේ තීරණාත්මක කඩ ඉම වෙයි. ඒ වන විට ලෝකයේ රටවල්වල විශේෂයෙන් බටහිර, බිඳ වැටෙමින් පැවති, එහෙත් උඩරට රාජධානියේ තව දුරටත් ක්‍රියාත්මක වු වැඩවසම් පාලන ක්‍රමය බිඳ වැටීම මේ අනුව සිදුවෙයි. වැඩවසම් ක්‍රමය බිඳ දැමීමත් සමඟ බලෙන්ම වාගේ බි්‍රතාන්‍ය තුළ ක්‍රියාත්මක වෙමින් පැවති නව සමාජ හා ආර්ථික ක්‍රමය මෙරටට හඳුන්වා දෙයි. 
1833 ක්‍රියාත්මක වූ කෝල්බෲක් කැමරන් ප්‍රතිසංස්කරණ මෙරට නූතන ලෝකය කරා ගෙනයාමේ පදනම වෙයි. වැඩවසම් ක්‍රමය වෙනුවට ඒ නටඹුන් මතම නූතන ධනේශ්වර ආර්ථික ක්‍රමය බිහිවෙයි. මේ අතර අතිශයින් වැදගත් වන්නේ ශත වර්ෂ ගණනාවක් පුරා බි්‍රතාන්‍ය ඉතිහාසයේ විකාශනයේ ප්‍රතිඵලයක් වශයෙන් බි්‍රතාන්‍ය ජනතාව භූක්තිවිධි ප්‍රජාතන්ත්‍රීය අයිතිවාසිකම් මෙරටට ද හඳුන්වා දීමයි. ඒ තුළින් බි්‍රතාන්‍යයන් තම අධිරාජ්‍යවාදී පරමාර්ථ ඉටුකර ගත්තාසේම නව ලොවට ගැලපෙන පාලන ක්‍රමයක්, අධිකරණ ක්‍රමයක්, අධ්‍යාපන රටාවක් අපට ලබා දුන්නේය. 
බි්‍රතාන්‍ය ජාතිය ලබා ඇති සියලු අයිතිවාසිකම් හා නිදහස දීර්ඝ ඵෙතිහාසික විකාශනයක ප්‍රතිඵලයකි. 1215 තරම් ඈත යුගයකදී ‘නීතිය සියල්ලට ඉහළින්’ යන්න මැග්නාකාටා ගිවිසුමෙන් බි්‍රතාන්‍ය රජුට බලෙන් පිළිගන්වන ලදි. 1815 මු`ඵ දිවයිනම ඉංග්‍රිසින්ට යටත්වන විට උඩරට රජු යටතේ වැඩවසම් ඒකාධිකාරි පාලනයකුත් පහත රට පෘතුගිසි ලන්දේසි බලපෑම මත රෝම ලන්දේසි නීතිය යම් තරමකිනුත් ක්‍රියාත්මක වීම දක්නට ලැබුණි. ලන්දේසින් හඳුන්වා දී තිබුණ උසාවි ක්‍රමයේ විවිධ අඩුපාඩු දූෂණ පැවතුනි. ලංකාවේ ප්‍රථම ආණ්ඩුකාරයාවූ ෆෙඞ්රික් නෝත්ට ලැබුන රාජකීය උපදෙස වුයේ යුක්තිය පසිඳලීමේ ඇති සියලු දුර්වලතා මඟ හැර විය යුතුය. යන්නයි. ඒ අනුව බි්‍රතාන්‍ය පාලනයේ මුල්ම අවධියේ සිටම බි්‍රතාන්‍ය පුරවැසියා භුක්ති විඳි අයිතිවාසිකම් යටත් විජිත වැසියන් ලෙස ලාංකිකයන්ට ලබාදීමට තරම් ඉංග්‍රිසි පාලනය නිර්ලෝභී විය. ඒ පරිත්‍යාගශීලි භාවය තුළ අධිරාජ්‍යවාදී පරමාර්ථ නොවුනායයි මින් අදහස් නොකෙරේ. 
යටත් විජිත පාලකයන්ගේ අරමුණ වූයේ දිවයින අධිරාජ්‍ය ආණ්ඩුවට බරක් නොවී ප්‍රයෝජනවත් විජිතයක් බවට පත් කිරීමයි. 1833 කොල්බෲක් හා 1931 ඩොනොමෝර් ප්‍රතිසංස්කරණ තුළින් එම පරමාර්ථ ඉටුකර ගැනීමට දරණ උත්සාහය පැහැදිලිය. ඒ අනුව දේශපාලන වශයෙන් පු`ඵල් ව්‍යවස්ථාදායක ක්‍රියාවලියක් හඳුන්වා දුන් ප්‍රථම සුදු ජාතික නොවූ යටත් විජිතය මේ දිවයින විය. සර්වජන ඡන්දබලය හඳුන්වා දීම මෙහි අග්‍ර ඵලය විය. මේ අනුව ඇත්ත වශයෙන්ම ලංකා ඉතිහාසයේ නූතන යුගය ඇරඹෙන්නේ බි්‍රතාන්‍ය යුගයෙන් බව පැහැදිලිය. 
බි්‍රතාන්‍ය යුගයේ ඇරඹි වතු කෘෂිකර්මයත් සමඟ මහා මාර්ග, දුම්රිය මාර්ග, පණිවුඩ හුවමාරුක්‍රම සමඟ රටේ අභ්‍යන්තර හුදකලා භාවය දුරු වෙයි. ඒකාබද්ධ පාලන ක්‍රමයක් බිහිවෙයි. මේ සියල්ල නව ධනේෂ්වරයක වර්ධනය සනිටුහන් කරයි. 
බි්‍රතාන්‍යයන් විසින් ධනවාදී අර්ථක්‍රමයක් සමඟ තම මව් රටේ විකාශනය වූ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය මෙරටට ක්‍රමයෙන් හඳුන්වා දුන් අයුරු බි්‍රතාන්‍ය යුගයේ ආණ්ඩුක්‍රම විකාශය තුළින් පෙනේ. 1948 බි්‍රතාන්‍යයන් ලංකාව හැර යද්දී මෙරට ජනතාව ප්‍රජාතන්ත්‍රවාදී පාලනයකට සුදුසු තත්වයකට පත්වී ඇතැයි ඔවුහු ඒත්තු ගෙන සිටි බව පෙනේ. ඔවුන් අයිවර් ජෙනිංග්ස් වැනි විද්වතුන්ගේ සහායෙන් සකසා දුන් සොල්බරි ව්‍යවස්ථාව ඒ සඳහා අවශ්‍ය පසු බිමද සකස් කර දුන්හ. 1972, 1978 අපම සකස් කරගත් ව්‍යවස්ථාවන්ට වඩා සෝල්බරි ව්‍යවස්ථාව බහුවාර්ගික, බහු ආගමික රටකට උචිත එකක් බව කිව හැක. පසුකාලයේදී අවස්ථාවාදී දේශපාලඥයන් විසින් උල්ලංඝනය කළ එහිවූ 29 වන වගන්තිය ජාතීන් අතර සහයෝගීතාවය අපේක්ෂාවෙන් ඇතිකරන ලද්දකි. ඔවුන් හඳුන්වාදුන් උත්තර මන්ත්‍රී මණ්ඩලය තුළින් අපේක්ෂා කළේ මහජන මන්ත්‍රී මණ්ඩලයේ හදිසි තීරණ වැළැක්වීමයි. තමා ඉදිරිපත් කළ ව්‍යවස්ථාව තුළින් ඊටත් වඩා ජාතික සමගිය වෙනුවෙන් විධි විධාන යෙදීමට නොහැකි වීම ගැන සෝල්බරි සාමි පසු කළෙක පසුතැවිලි වූ බව සඳහන්ය. 
ශ්‍රේෂ්ඨ අතීතයක් ගැන උදම් අනන අපට අපේ වල්බිහිව සැගවී පැවති පුරා විද්‍යාත්මක නටබුන් සොයා ඒ පිළිබඳ හෙළි පෙහෙළි කළෝද සුදු ජාතියන්මය. ඔවුන් පරිපාලනමය කාර්යයන් සඳහා සැකසූ මිනින්දෝරු සිතියම්වල හැම විටම ඵෙතිහාසික ස්මාරක ඇති ස්ථාන සලකුණු කර තිබුනි. පැරණි අතීතය ගවේෂණය කොට ඊට පණදුන් හොකාර්ට් ලා, කොඞ්රින්ටන් ලා, එච්.සී.පී. බෙල් ලා, ගෛගර් ලා, ලාංකීය පුරාවිද්‍යාඥයන්ට පසු බිම සකස් කර දුන් අයයි. ඒ මතු නොව ලාංකික ගැමි ජීවිතය දුටු ලෙනාඞ් වුල්ෆ් ලා වැදි ජනතාවගේ සංස්කෘතිය ගවේෂණය කළ සෙලිග්මාන් ලා දොස්තර ස්පිට්ල් ලා ද සුදු ජාතිකයන්ය. බෞද්ධයන්ගේ මුදුන් මල්කඩ බඳු ලුම්බිණි, ගයා කුසිනාරා වැනි ස්ථාන හඳුනාගෙන තහවුරු කළේ කනිංහැම්, සර් ජෝන් මාෂල් වැනි සුදු ජාතිකයන්ය.
සුද්දා අපට විශ්ව දැනුම දීමට ගත් අවංක උත්සාහය ලංකා විශ්ව විද්‍යාලයේ නිර්මාතෘ ප්‍රථම උපකුලපති අයිවර් ජෙනිංගස්ගේ ක්‍රියා කලාපය තුළින් වුවද පැහැදිලිය. එතුමාට අවශ්‍ය වූයේ ලංකා විශ්ව විද්‍යාලය එංගලන්තයේ ඔක්ස්ෆර්ඞ්, කේම්බි්‍රජ් මට්ටමට ගැනීමටය. මෙහි අවසතා උපාධි පරීක්ෂණ ප්‍රශ්න පත්‍ර එම විශ්ව විද්‍යාලවලට යවා පරීක්ෂා කිරීමට එතුමා විධිවිධාන යොදා තිබුණි. පශ්චාත් උපාධි සඳහා එංගලන්තයට යන අපේක්ෂකයන්ට යෝග්‍යතා පරීක්ෂණ වලින් තොරව ඇතු`ඵ වීමට අවස්ථා සලසා තිබුණි. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උපාධි ලාභීන්ට එහිම පශ්චාත් උපාධි ලබානොදීමේ ස්වාධීන තිරණයක් ගෙන තිබුණි. ඒ මතු නොව මේ රටේ සාහිත්‍ය කලා, නාටක ප්‍රබෝධය කෙරෙහි එතුමාගෙන් ලැබුන සහයෝගය අගය කළ යුතුය. ජාත්‍යන්තර කීර්තියට පත් රාජ්‍ය තාන්ත්‍රිකයන් මහාචාර්යවරු, සාහිත්‍යධරයින්, දාර්ශනිකයින් විශිෂ්ඨ පරිපාලන නිලධාරීන් මුල් යුගයේ ලංකා විශ්ව විද්‍යාලයෙන් බිහිවුයේ ඒ මඟ පෙන්වීම ඔස්සේය. 
අතීතයක් පමණක් තිබු අපට නව ලොවට ගැලපෙන අනාගතයක් නිර්මාණය කර දුන්නේ සුද්දාය. ඉංග්‍රිසි ජාතිකයන් මෙරට හැර යන විට ශිෂ්ට සම්පන්න ලොවකට උචිත පාලන රටාවක්, නීති පද්ධතියක් අපට උරුම කර තිබුණි. ඔවුන් රට හැර ගියදා සිට අප කළේ ඒ සියල්ල කෙළෙසීමය. අතු ඉති ද`ඵ ලියලා වැඩිය යුතු ප්‍රජාතන්ත්‍රවාදය නැවත වැඩ වසම් ක්‍රමයකට ගෙන යාමට උත්සාහ ගත්තේ මෙරට පාලකයන්ය. බි්‍රතාන්‍යයේ රජුටත් ඉහළින් සිටි නීතියේ දෙවඟන කෙළෙසුවේ අපේ පාලකයන්ය. ප්‍රජාතන්ත්‍රීය අයිතිවාසිකම් පාලකයන්ගේ පරවේණියට පූජා කළේ අපේ නිදහස් පුරවැසියන්ය. සුද්දෝ අදත් උත්සාහ කරන්නේ ජාත්‍යන්තර නීතිරීති ප්‍රඥප්ති මඟින් හෝ අප නැවත ශිෂ්ටාචාරවත් ජාතියක් බවට පත් කිරීමටය. අද සුද්දාට ගරහන්නේ ලෝක ඉතිහාසය තබා අපේ ඉතිහාසයවත් හරිහැටි නොදත් අඳුරේ අතපතගාන නූගත් අඥානයින්ය. දේශපාලන අවස්ථාවාදී ළිං ගෙම්බන්ය. ශිෂ්ටසම්පන්න ලෝකය සමඟ ඉදිරියට යද්දී සුද්දාද, කල්ලාද යන්න ප්‍රශ්නයක් නොවේ. අද මු`ඵ ලෝකයම එකම යායක් බවට පත්වෙමින් ඇත. ආචාර්ය අදිකාරම් එදා ප්‍රකාශ කළේ බුද්ධිගලනය මිථ්‍යාවක් බවත්, එකම මානව පවුලේ අය ලොව කොතැන විසුවත් ගැට`ඵවක් නොවන බවත්ය. 
අද අප ජීවත්වන්නේ අනගාරික ධර්මපාලතුමාගේ හෝ පියදාස සිරිසේනලාගේ හෝ ටිබෙට් මහින්ද හිමිගේ යුගයේ හෝ නොවේ. ඔවුන් ජීවත් වූ අවධියේ සිංහල බෞද්ධයා වැටී සිටි ප්‍රපාතය ගැන සලකා බලන විට එදා ගත් ක්‍රියාමාර්ග සහ උපක්‍රම යම් තරමකින් සාධාරණකරණීය කළ හැක. එහෙත් බෞද්ධ පුනරුද යුගය තුළදී පවා සැඟවුන දේශපාලන පරමාර්ථ සහ කුල ගැටුම් තිබුණ බවද අමතක නොකළ යුතුය. පියදාස සිරිසේනයන් පවා බටහිරුන් ලබාතිබූ දියුණුව හෙළා දුටුවේ නැත. කොළ ඇඳි බටහිරුන් මහමෙර ගවේෂණය කරද්දී අපේ සිහලුන් කුලියට තේ වත්තේ කඹුරනවා යයි ඔහු කීවේ ඒ නිසාය. එදා ඔවුන් කී දේ හරිහැටි තේරුම් නොගත් අපේ ඇතැමුන් ධර්මපාලතුමා කී පරිදි පිදුරුවලින් සදාගත් සුද්දාගේ පඹයාට අදත් තඩාබාමින් සිටින්නේ අනුවණකම නිසාමය. 

සුද්දා අපේ රටේ සාරය උරාගත් බව සැබෑය. සත් සමුදුරු තරණය කර, දහසක් බාධක මැද්දේ ඔහු මී කැඩුවේ අත ලෙවකෑමට නොවේ. සුද්දාගේ ධෛර්යය, අරමුණ කරා ළඟාවීමේ උපක්‍රමශීලි බව මව් රට වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කිරිමේ ගුණය ජෝන් ඩොයිලිගේ චරිතය තුළින් පමණක් වුවද වටහා ගත හැක. සුද්දා නවලොවට පිවිසීමේ යතුර අපට දුන්නේය. නිදහසලත් දා සිට සුද්දා අපට දුන් අගනා දායාද කෙළෙසමින් අප කළ ද්‍රෝහී කමට වන්දි ගෙවිය යුත්තේ අපය. අප කළ යුත්තේ අඥානයන් මෙන් සුද්දාගේ පඹයාට තඩි බෑම නොව ඔහුගේ වටිනාකම්ද, ආදර්ශයන්ද නවීනත්වයද ලබාගෙන සුද්දා සමඟ නැගිටීමය.       

Comments