වෙසක් දිනය අසංවර විනෝදමේලාවක් නොවීමට පියවර ගනිමු.


2016 වෙසක් දිනය වන ලබන මැයි මස 21දා එළැබෙන්නට තව මාස තුනක් පමණ තිබියදී මේ සටහන තැබීම පිළිබඳව පුදුම නොවන මෙන් ප්‍රථමයෙන්ම ඉල්ලා සිටිමි. බෞද්ධාගමික ජනතාවට ඉතාම වැදගත් දිනයවන වෙනස් පෙහෝ දිනය මෙන්ම ඒ ආසන්න දින කිහිපයේ සිදුවන සහ ක්‍රියාත්ම වන විවිධ අසංවර සහ අබෞද්ධ කටයුතු දෙස එම දර්ශනයට ගරු කරන අය පසුගිය වසර කිහිපයකදීම බලා සිටියේ ඉතාම කලකිරිමෙන් බව ජනමාධ්‍ය වල එවන් අය කළ සඳහන් වලින් පෙනී ගියේය. පෙරදා මෙන්ම, ලබන වෙනස් දින සහ එම සතිය තුලද අසංවර සහ අබෞද්ධ කටයුතු දියත් කිරීමට සැළසුම් කිරීම මේ වන විටත් නොයෙක් ආයතන සහ පුද්ගලයින් විසින් ආරම්භ කොට තිබිය හැකි නිසා 2016 වෙසක් සමය බෞද්ධාගමික සැමරුමක් කිරීමට අවශ්‍ය පියවර ගැනීමට සැමගේ අවධානය යොමුකිරීමට මේ හොඳම කාලයයි. 
ගෞතම බුදුන්ගේ උත්පත්ති දිනය ලෙස වෙසක් පොහෝදිනය යොදාගැනීම එක්තරා මෝඩ පුරුද්දක් බව වටහා ගැනීමට තරම්වත් බොහෝ බෞද්ධයින් අපොහොසත් බව පෙනේ. වසරින් වසර පුර්ණ චන්ද්‍ර දිනයන් (Full Moon Day) පොහෝය දිනයක් ලෙස යොදාගෙන ඇත්තේ අපිමය. තාරකා විද්‍යාව අනුව වසරින් වසර වෙනස්වන දිනයක්, උපන්දිනයක් ලෙස සැමරිමට අනුවන ලෙස ආරම්භ කළේ කවුද කවදාද යන්න නොදනිමි. වසර ගණනාවක් ඈත්වූ සිදුවීම් තුනක් (උපත, බුදුවීම සහ පිරිනිවීම) එකට ඈඳා සැමරීමට තවත් මෝඩ ක්‍රියාවක්ය. මෙම ලිපියේ පරමාර්ථය එමකාරණය සාකච්චාවට භාජනය කිරීම උදෙසා නොව, වෙසක් සැමරුම් මහා මුදල් නාස්තියක් සිදුකරන නාඩගමක්වීම පිළිබඳව ඔබගේ අවධානය යොමු කිරීමයි. 
දශක දෙක තුනකට පෙර කාලය මෙන් නොව, දියුණුව තාක්ෂණයේ විවිධ අංග යොදා ගනිමින් විකෘති බුදුදහමක් විකාශනය කොට ඕනෑමම ආගමික දිනයක් මංගල්‍යයක් කිරීමට ආගම නොදත් ව්‍යාපාරිකයින් සහ සමහර ජනමාධ්‍ය අවස්ථාවාදිවීම නිසා වෙසක් උත්සව සමයේ බොහෝ අබෞද්ධ සහ බුද්ධ දර්ශනයට නිගාදෙන වැඩිපිලිවල උච්ඡ තත්වයකට පත්වී ඇතිබව ගරුතර සංඝයා වහන්සේලාවත් නොපෙනිම කනගාටුවට කරුණකි. 
ගිහි බෞද්ධයින්ගේ පමණක් නොව, පැවිදි බෞද්ධයන්ගේ පවා ශිලමය ප්‍රතිපත්ති බිඳ දැමීමට හේතු වන පරිදි මෑතකාලයේ වෙසක් බුදු තෙමඟුල සැමරීම ඉතාම පහත් තත්වයකට පත්වී තිබුන බවට ජනමාධ්‍ය කිහිපයක්ම කරුණු දැක්වුබව ඔබට මතක ඇත. වෙනත් රටක පොතක කවරයකට හෝ ඇද ඇතිරිල්ලකට, නෝනා කෙනෙකුගේ සායට, ශොපින් මල්ලකට, කමිසයකට හෝ වෙලඳ දැන්වීමකට බුද්ධ රූපය යෙදු විට ඊට විරෝධය පාන බෞද්ධයින්ද චීවරය කැසපොට ගසාගෙන පෙලපාලි යන සඟ පෙරමුනක්ද සිටින රටක බොදු තෙමඟුල සැමරෙන ආකාරය බලා සිටි විට අප රටේ බුදු දහමට එරෙහි වන්නේ වෙනත් ජාතීන් හෝ ආගමිකයන් නොව, බෞද්ධයන්යැයි ලේබල් අලවා ගෙන මෙහිම වෙසෙන, එහෙත් බෞද්ධ දහම් නොදන්නා ගිහි පැවිදි දෙපාර්ශ්වය යැයි ස්ථිර කළ හැකිය. පසුගිය වෙනස් උත්සව වල දක්නට ලැබුන ඉතා ආශා්භන සිදුවීම් බුද්ධශාසන ඇමතිවරයා සහ ත්‍රෛ නිකායික නායක ස්වාමීන් වහන්සේලා විසින් අවබෝධයක් ලබා ගත්තාදැයි නොදනිමි.
මෑතක අපට ලැබුන වෙසක් දින සහ වෙසක් ෂති වැඩසටහන් බුදුදහමට නිගා ගෙනෙන තරමට නවීකරණය වී තිබුණි. එම කරුණු සැලකිල්ලට ගෙන මේ වසරේ සිට වෙසක් දිනය බෞද්ධාගමික සැමරුමක් ලෙස නිමා කිරිමට කටයුතු  සංවිධානය කිරීමට ත්‍රයි නිකායික නායක ස්වාමීන් වහන්සේලා සහ සෙසු සංඝයා වහන්සේලා මෙන්ම සෑම බෞද්ධයෙක්ම යොමුකරන ලෙස අදාල විෂයයන් භාර ඇමතිවරුන්ගෙන් ඉතා බැගෑපත්ව ඉල්ලා සිටිමී. ආගමික වතාවත් වලට මුල් තැනදී මෙවර 2016 වෙසක් දින මෙන්ම අනාගත වෙසක් දින සැමරීම සිදු කිරීමට බුද්ධ ශාසන ඇමති තුමා ඇතු`ඵ වගකීව යුත්තන් පියවර ගනු ඇතැයි බලාපොරොත්තු වෙමි. එපමණක් නොව, අප රටේ බෞද්ධ ජනයාම ඒ සඳහා සහයෝගය ලබාදිය යුතුය. 
චාම් බව, හික්මුණු බව, පාරිසරික ආදරය, දයාව, කරුණාව ආදි ගුණදම් රැසක් පෙරදැරිකරගත් බුද්ධ දේශනය ගැඹුරු දර්ශනයකි. එහෙත් පසුගිය වෙසක් දිනවල (හෝ සති) සැමරීමට අප සංඝයා වහන්සේලා ද පෙරටුව තබා ගෙන නැටූ නාඩගම් බුද්ධ දර්ශනයට කෙතරම් ගෝචර වේදැයි වහා තෝරා බේරා දෙන ලෙස අප දිවයිනේ බෞද්ධ දර්ශනය උගත් ප්‍රභූ වරුන්ගෙන් ඉල්ලා සිටිය යුතුය. එම සිදුවීම් එකිනෙක ගෙන විමසා බැලීම ඒවාට මුහුන දුන් අයගේ වගකීමයයි සිතමී. මෙවර පැවැත්වීමට සැලසුම් කොට ඇති වෙසක් සතිය සහ අනාගත වෙසක් සති බෞද්ධාගමික උත්සවයන් විය යුතුය. මෙනිසා බෞද්ධාගමික දිනයන් වලට නාඩගම් එකතු කරමින් ඒවා කානිවල් බවට පත් කරන අබෞද්ධ, නීච ව්‍යපාරිකයන් සහ අබෞද්ධ දේශපාලකයන් එම අබෞද්ධ ක්‍රියාවල නෙයෙදෙන ලෙසට කටයුතු සංවිධානය කිරීම ත්‍රයිනිකායික සංඝයා වහන්සේලාගේ වගකීමය. එම වගකීම බාර නොගෙන, පවතින නාඩගම් වලටම ආධාර කරන සංඝයා වහන්සේලාගෙන් සහ බෞද්ධයින්ගෙන් මෙම අගනා දර්ශනයට ඇති අවශ්‍යතාවයක් නොමැත. 
වෙසක් සති බෞද්ධාගමික සැමරුමක් විමටනම් එය සමස්ත සහනකාරී, සහ බෞද්ධ ප්‍රතිපත්ති වලට මුල්තැන දෙන සතියක්වී පහන් සිත් ඇති කරන කාලයක් විය යුතුය. එය එසේ විමටනම් යටත් පිරිසෙයින් අනවශ්‍ය අබෞද්ධ නාඩගම් පැවැත්වීම නැවැත්විය යුතුය. මෙවර සහ අනාගත වෙසක් සති වැඩසටහන් සංවිධානය කරන අයගේ අවධානය සඳහා සාධක, පුවත් සහ යෝජනා කිහිපයක් මෙහිලා දක්වමි. 
සෑම ලෝ සතටම සාධාරණ ධර්මයක් ලොවට දායාදකළ බුදුන් වහන්සේට සම්බන්ධවූ මොනයම් දෙයකට හෝ තරඟ අවශ්‍ය වන්නේ නැත. එම දහම තරගය උදෙසා දෙසා නැත. සාමාජයේ දක්නට තිබෙන තරඟත් අපේ හිත් තුලින් ඉවත් කෙරෙන අදහස් ගසක් බුද්ධ දර්ශනයේ මනාව සඳහන් වෙද්දී වෙසක් සඳහා අ`ඵතින් තරඟ ඉදිරිපත් කරමින් බුදු දහමට නිඟා දෙන්නෝ අප රටේම සිටීම කණගාටුවකි. වෙසක් පහන් කුඩූ, වෙසක් තොරණ, බුද්ධාලම්භන චිත්‍ර, වෙසක්පත්, භක්තිගීත ආදිය සඳහා විවිධ මට්ටමේ තරඟ සංවිධානය වන්නේ බෞද්ධාගම අගතියට පත්කිරීමට වක්‍ර ලෙස දායකවන කණ්ඩායම් විසින් පමණක් නොව, සමහර පාසැල් ගුරුමණ්ඩල සහ සංඝයා වහන්සේලාද ඒවා පසුපස ඇත. අධ්‍යාපන නිළධාරින්ද වෙසක් සැමරුම් සඳහා ඕනෑ නාඩගමක් නැටීමේ නිදහස විදුහල්පතිවරුනට ලබාදී නිදා ගන්නා බවක් පෙනේ. පාසැල් සිසුන් පවා නොමඟට යන මෙම වෙසක් තරඟ තහනම් කළ යුතුමය. 
වසරින් වසර වර්ධනය වෙමින් සිදුවන වෙස්මුහුණු වෙලඳාම, අසභ්‍ය වෙසක් පත් අලෙවිය, සංගීත සංදර්ශණ, කූඩු සහ තොරන් තරඟ කොතෙක් සීමාව ඉක්මවා ගොස් ඇද්ද කිවහොත් අද වෙසක් සතිය පුරා දිවයිනේ ප්‍රධාන තැනක් ගන්නේ මෙම සංකලනයයි. නච්ච ගීත වාදිත... ලෙස අට සිල් රකින්ට නියමවූ සංඝයා වහන්සේලා ද වෙසක් නරඹන ගැහැණු පිරිමි, තරුණ, මහ`ඵ අයහා විශේෂයක් නොමැතිව උරෙනුර ගැටෙමින් විනෝදවීම අශෝභනය. මෑත වසර ගණනාවක සිටම වෙසක් සමය විනෝද මේලාව සඳහා අශෝභන වෙසක් පත් අලෙවි කෙරෙන බව දැනදැනත් ඒගැන නිසි ක්‍රියාමාර්ග නොගෙන සිටින සංස්කෘතික අංශවල වගකිවයුත්තෝ වෙසක් දින හෝ ඊට පෙරදා පොලිස් රාලහාමිලාගේ සහායද ගෙන කඩසාප්පු පරික්ෂා කරන්නේ, අශ්වයන් පැනගිය පසු ඉස්තාලය වසා දමන මෝඩ රැලක් සේමය. වෙසක් සඳහා වෙසක්පත් සහ වෙස්මුහුණු මුද්‍රණය ඇරඹීමට ව්‍යාපාරිකයින් පියවර ගන්නේ වෙසක් සමයට මාස ගණනකට පෙර බව වටහා ගැනීමට තරම් මේ අයට මොළගෙඩි නැතිවාසේය. 2016 වෙසක් සඳහා වෙසක්පත් මුද්‍රණ්‍ය සහ වෙස්මුහුණු සකස් කිරීම මේ වන විටත් ආරම්භකර තිබිය හුක. මෙම අකටයුතු වැලැක්වීමට අදාළ පියවර ගැනීමට අදාල වගකිවයුත්තෝ නින්දෙන් අවදිවිය යුතු වන්නේය. වෙසක් දිනය හෝ වෙනත් බෞද්ධාගමික අවස්ථා ඒ දහමට අනුකූලව පැවැත්වීය යුතු බවට රෙගුලාසි වහවහා පැනවීමට පියවර ගත යුතුය. 
සමහර ව්‍යාපාරිකයින්ගේ නවතම විලාසිතාව වී ඇත්තේ වෙසක් කලාප සංවිධානය කිරීමයි. සියලු විනෝදාංශ ඇතුලත්කොට, එම ව්‍යාපාර කටයුතු පසුපස සිටින දූෂිත දේශපාලකයින් සහ ව්‍යාපාරිකයන්ගේ පව් සෝදන වැඩසටහන් වලින් වෙසක් කලාප පුරවයි. කොහෙන්හෝ සර්වඥ ධාතු තෝරාගෙන දූෂිත දේශපාලකයින් සහ ව්‍යාපාරිකයන් හෝ මෙම නාඩගම් වලට දායකවී මඩිය තරකරගන්නා චීවරධාරින් ලොරිවලට පටවා මහා ප්‍රචාරයක් කොට ජනතාව ගෙන්වා පිංපෙට්ටි පුරවා ගනිති. වෙසක් කලාප වලට දායකවන එෆ් එම් නාලිකා තමන්ට කෙටි පණිවිඩ (ීඵී) එවන ශ්‍රාවක සංඛ්‍යාව වැඩිකර ගැනීම උදෙසා කළහැකි සියලු ප්‍රෝඩා වලින් ජනයා රවටති. එෆ් එම් නාලිකා තරඟකාරිලෙස ඉතාම පහත් මට්ටමින් විවිධ වැඩසටහන් දියත්කොට දහමට අපහාස කරද්දි රටේ වැඩ වසනවායයි කියන, දහම රකින සංඝයා වහන්සේලා සැතපෙන සේකද? සමහර කපටි චීවරධාරින් විවිධ වාසි තකා සර්වඥ ධාතු පවා කෘතිමව නිශ්පාදනය කරන බවට ආරංචි පැතිරෙයි. එදා හඳුන් දරසෑයක ආදාහනය කරන ලද බුදුන්ගේ කය අ`ඵ බවට පත්වූවත් අප රටේ පන්සල්වල ඕනෑතරම් සර්වඥ ධාතු තිබෙන්නට හේතුවද මේ නිෂ්පාදනය විය හැක. 
සර්වඥ ධාතු මහනුවර ප්‍රදේශයේ එක්ජනප්‍රිය පන්සලක ස්වාමින් වහන්සේද සහාය වෙමින් කනත්තකින් ලබාගන්නා මිනි ඇටකටු අඹරා කුඩුකොට තලතෙල් වල බහා තබා සර්වඥ ධාතුන් වහන්සේලා කෘතිමව නිෂ්පාදනය කරන බවට පැතිරෙන ආරංචි මෙන්ම එම කෘතිම සර්වඥ ධාතුන් වහන්සේලා සමරහ එෆ් එම් නාලිකා සංවිධානය කරන වෙසක් කලාපවල ප්‍රදර්ශනය සහ වෑන් රථ වල ප්‍රවාහනය කරමින් සිත්සේ සම්මාදම් එක්රැස් කරන ආරංචිද සත්‍ය දැයි සොයාබැගීම අප හැමට භාර දෙයක්යයි සිතමි. 
මුදල් ගැරීමේ පරමාර්ථයෙන් ඉදිකෙරෙන තොරණ, පහන් කූඩු රාජයන් ආදි විවිධ වර්ගයේ දර්ශණ පන්සල් භූමිවල ඉදිකොට නාඩගම් නාට මුදල්ද ගරාගෙන මෙරටේ අසරණ බෞද්ධයින් නොමගටම යැවීමද අසාධාරණය. වෙසක් තොරණ සහ සැරසිලි ප්‍රධාන මාර්ග හරහා ඉදි කොට ජනතාවට සහ වාහන රියැදුරන්ට විශාල ගැට`ඵ වලට මුහුන පාන්නට සැලැස්වීමට සැරසෙන්නෝ අධම ගිහියන් පමණක්ම නොව ඒවා පසුපස බෞද්ධයයි කියාගන්නා චීවරධාරින්ද සිටිනවා ඇත. වෙසක් තොරන් ඉදිකිරිම පටන් ගන්නේ වෙසක්දාට මාස ගණනක් පෙර සිටය. පිංපෙට්ටි සහ පිංපත්‍ර හරහාද සම්මාදම් හරහාද එක්කරන මුදල් වලට කුවිතාන්සි ලබාදෙන්නේ නැත. තොරණ ප්‍රදර්ශණය වන අතරතුර විවිධ උප්පරවැටිටී මඟින් රැස්වන මුදල් වලටද සහතික නැත. අසරණයින් රවටා මුදලින් දායකවන අය ශබ්දවාහිනිය හරහා නිවන් යවනු ලබති. තම තමාගේ නම රැවිපිලිරැවි දිම නිවන් යාමයයි සිතන රැවටුන ජනතාව දහස් ගනනින් පූජා කරති. ඒ අතරේ තොරණ යටම තට්ටුවේ සියලු දුරාචාර සිදුවන බව ප්‍රසිද්ධ සත්‍යයකි. පසුගිය වසර පහනක පමණ කාලයක් ඔස්සේ පැවැත්වූ වෙසක් සැමරූම් වලින් රටට හෝ ජනතාවට සිදුවී ඇති යහපත කුමක්ද කියා විමසා බලන්න. වෙසක් සැමරුම් ව්‍යාපාරිකරණයවි ජනතාව රැවටීමට යටවූවාට අමතරව විශාල ධනස්කන්ධයක් දවා ඇත. 
පරිසරය ගැන බුදුන් දෙසූ බණ වදාරමින් කිඹුල් කදු`ඵ හෙලන සංඝයා වහන්සේලා වෙසක් මංගල්‍යය නිසා සිදුවන පරිසර හානිය නොදකින බවක් පෙනේ. තොරන් රාජයන් සම වෙනත් සරසිලි සඳහා කපා හෙලන ලක්ෂ සංඛ්‍යාත ගස් ප්‍රමාණය, පොලිතින් සැරසිලි සහ අසීමිත ලෙස ඉදිවු පහන් කුඩුවල ශේෂවූ සුන්බුන් වලින් සිදුවන පරිසර හානිය, සිත් යොමු කළයුතු තවත් දේවල්ය. අප ගෞතම බුදුන්ගේ උපත, බුදුවීම සහ පිරිනිවීම සිහිකිරීමට හෝ සැමරීමට අවශ්‍ය වන්නේ පරිසර හානි කරන  බෞද්ධ ප්‍රතිපත්ති පහදාදී යටත් පිරිසෙයින් වෙසක් දිනයේවත් ඒ අනුව පුණ්‍ය කටයුතුවල යෙදිමය. 

වෙනත් ආගම්වලින් බෝ වී ඇති බැති ගී රෝගයද අද වෙසක් විලාසිතාවක් වී ඇත. තොරතෝංචියක් නැතිව දිවාරාත්‍රි විවිධ ප්‍රචාරයන් කරන එෆ් එම් නාලිකා 50 ක් පමණ තිබෙන සමයක ලොරි වලට සුරූපී තරුණියන් පටවාගෙන නිතරම එෆ් එම් නාලිකා හරහා අසන ගීතම ගයමින් පරිසරය දෙවනත් කිරිම බුදුන්ගේ දර්ශනය හා එකඟද යන්න ඔබම සිතා බලන්න. සංගීතයෙන් දෙව්ලොවට යාහැකිය කියන දේවවාදි ආගම් සඳහානම් මෙවන් ගීතිකා අවශ්‍ය ඇති.

සමහර ජන කණ්ඩායම් සහ රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතන වෙසක් බැති ගී සඳහා වෙන් කරන මුදල් ප්‍රමාණය කොපමණදැයි ඔබම විමසා බලන්න. රට පුරා ඉදි කෙරෙන තොරන් රාජයන්, පහන් කූඩු රාජයන්, සැරසිලි, සංගීත සංදර්ශන පෙරහැර සහ අනවශ්‍ය දන්සැල් සඳහා වන මුදල් කොපමණ දැයි ඔබට විමසා බලන්න. අප රටේ යථා තත්වය එදිනෙදා ජනමාධ්‍ය ප්‍රවෘර්ති හරහා පෙනී යද්දී බෞද්ධයැයි කියා ගන්නා සංඝයා වහන්සේලා බලා ගෙන ඉන්නේ අප සත්‍ය අවබෝධ කර ගැනීමට මෛත්‍රී බුදු රදුන් වඩින තෙක්ම සිටිය යුතුයැයි සිතින් නිසාද? සත්‍ය වටහා ගෙන චතුරාර්ය සත්‍යය අවබෝධ කරගැනීමට අද අපට බැරිද? යටත් පිරිසෙයින් සංඝයා වහන්සේලාවත් බැරිද? එසේ බැරි නම් එවන් චීවරධාරින්ගෙන් අපට ඇති සෙතක් හෝ එවන් අය විසින් අනුනට ලබාදිය හැකි අනුශාසනා මොනවාදැයි විමසා බලන්න. 
සංඛ්‍යාලේඛන අනුව ශ්‍රී ලංකාවේ ජනගහනය වන කෝටි 2.21 කි. ඉන් සියයට 76.7 ක් බෞද්ධයින්වන අතර එක බෞද්ධ පවුලක සාමාන්‍ය වශයෙන් පස් දෙනෙක් වාසය කරන්නේයයි ගතහොත් අපරටේ බෞද්ධ ජන පවුල් සංඛ්‍යාව මිලියන 2.58 (සත්‍ය වශයෙන් 2587021) ක්වේ.  වෙසක් දිනය සහ එම සමයේ සැමරුම් සඳහා විවිධ ආලෝකමත් සැරසිලි, වෙසක් සහ පහන්කූඩු ආදිය සඳහා රුපියල් දසදහසකට වඩා වැයකරන පවුල්ද සිටින අතර රුපියල් සිය ගණනක් වැයකරන පවුල්ද අප අතර සිටිති. මේ අතරම වෙසක් සැමරිම් වෙනුවෙන් විශේෂ මුදලක් වෙන්කළ නොහැකි අසරණ ජනතා කොටසක්ද අප රටේම වාසය කරන බව ඉතා කණගාටුවෙන් වුවද සඳහන් කරමි. එම අසරණ පවුල් ප්‍රමාණය සම්පඋර්ණ බෞද්ධ පවුල් සංඛ්‍යාවෙන් සියයට 25ක් යයි ගතහොත්, ශේෂය වන සියයට 75 එනම්, පවුල් 1940265 ක් පමණ එක පවුලක අය සාමාන්‍ය වශයෙන් රුපියල් දෙදහක් (රු.2000.00ක්) දවාලනවායයි ගතහොත් වෙසක් තෙමඟුල සැමරීමට එම බෞද්ධ පවුල් රුපියල් 3880531500 එනම් රුපියල් කෝටි 388ක් පමණවන මහා මුදල් කන්දරාවක් දවාලයි. ගෞතම බුදුන්ගේ උපත සැමරීමට අබෞද්ධ පිලිවෙත්වල යෙදීම සඳහා රුපියල් කෝටි 388ක් පමණ් දවාලීම අනුමත කරතැයි මමනම් නොසිතමි. යථාර්ථය වටහාගෙන අප වහාම බෞද්ධ ප්‍රතිපත්ති වලට මුල්තැනදි වෙසක් දවස චාම් ලෙස සැමරීමට සූදානම් වෙමු. සිය`ඵ අමතර වියදම් සහ මුදල් හානි කපාහැරීමට රජය මෙන්ම සැම ආයතන සහ ජනතාව පියවර ගන්නා මෙවන් අවදියක වාම් බුදු දහම අරබයා එම පියවර ඉතා පහසුවෙන්ම දියත් කළ හැක, දියත් කළයුතුය.    
පන්සල් මූලික කොටගෙන විවිධ විනෝදාංශ ඉදිරිපත් කොට ජනතාවගෙන් මුදල් උපයන ව්‍යාපාර වලින් බුදු සසුනට වන යහපත කුමක්ද? බුදු රජානන් වහන්සේගේ දර්ශනයට මෙවන් කටයුතු මඟින් අගෞරවයක් සිදුවූයේ පසුගිය වෙසක් සමයේ පමණක් නොව, වසර ගණනාවක සිටම මෙම අබෞද්ධ ක්‍රියාදාමයන් මෙරට බෞද්ධයින් ලවා කරවා වටිනා බුද්ධ දර්ශනය වෙනතකට යොමු කිරිමට අන්‍යාගමිකයින් මෙන්ම බාහිර හස්තයන්වල බලපෑම් තිබිය හැකිය. නැතිනම් සංඝයා වහන්සේලා මෙම විනෝදාංශ වලට යොමු කොට ඇත්තේ බුද්ධ දේශනාවේ කවර ජාතක කතාවේද? මෙම නාඩගම් ආමිස ප්‍රතිපත්තියැයි තීරණය කළ වුන් බුදුන්ට වඩා ප්‍රඥාවන්තයින්ද? 
සංඝයා වහන්ස, වෙසක් මඟුල් වැඩසටහන් පැවැත්වෙද්දිම අප දිවයිනේ සිදු වන කණගාටුදායක සිද්ධීන් රාශියකි. මිනිමැරුම්, ස්ත්‍රී දුෂණ, පැහැරගෙන යාම් ආරාවුල්, සියදිවි නසා ගැනීම් ඉන් කිහිපයකි. අප කුඩා දිවයින තුල අසාධාරණයට අගහිගකම් වලට සහ විවිධ දුෂ්කරතාවයන්ට මුහුණ දෙමින් වසන ලක්ෂ සංඛ්‍යාත වූ මිනිසුන් සඳහා බෞද්ධ දර්ශණයට අනුව කළ යුතු පුන්‍යකර්ම වැලක්ම තිබේ. බෞද්ධයින්නම් මෙම කාර්යයට සෑම දාම අත දිය යුතුය. යටත් පිරිසෙයින් වෙසක් සතියේවත් එවන් පුන්‍යකර්ම වලට ප්‍රමුඛත්වයක් දිම බෞද්ධ කමය. 
ආපදා වලට ලක්වන්නන්ගේ පුනරුත්ථාපන කඳවුරු වල හරි හැටියට ආහාර වේලක්වත් වැඩිහිටියන් පමණක් නොව හය හතර නොතේරෙන කිරි සප්පයන් පවා විවිධ දුක් විඳින බව සංනිවේදන මාර්ගවල පිටු ගණනින් විස්තර වේ. මේවායේ ඇත්ත නැත්ත පෙන්වා දීමට මෛත්‍රී බුදුන් එන තෙක්ම අපට බැරිද? බුදුන් දැකීමටයයි ජනතාව රවටමින් ඊස්ටිමන් වර්ණයෙන් කරන මංගල්‍යයෙන් බුද්ධ දර්ශනය පෙන්විය හැකියයි අපේ සංඝයා වහන්සේලා සිතනවානම් ඔවුන් චීවර ගත දවටාගත් අන්‍යාගමිකයින්ම විය යුතුය. 
හරයක් නොමැති සමහර ආගම් ප්‍රචලිත කිරීම සඳහා කැරොල් ගීතිකා, බයිලා සහ ඇස්බැන්දුම් අත්‍යවශ්‍යමය. නමුත් මනා හරයක් ඇති බුද්ධ දර්ශනයට එවන් නාඩගම් වලින් සිදුවන්නේ එහි තිබෙන වටිනාකම අවතක්සේරු වීමක් පමණි. 
මිනිසා විවිධ මානසික වේදනාවන් විඳින්නේ මන්ද යන්නට ඉතා හොඳ පිළිතුරු චතුරාර්ය සත්‍යය ඇතු`ඵ වෙනත් මාතෘකා යටතේ අපට පහදා දුන් බුදු රජාණන්ගේ දහමට නිගරු කරන උත්සව වල යෙදෙමින් එම දර්ශනය කෙලෙසිම වරදක් බව වටහා ගැනීමට පමා වී හෝ සිත යොමු කරන ලෙස දුස්ශිල ගිහි පැවිදි සැම වෙත මතක් කර සිටිය යුතුය. 
බුද්ධ දර්ශනය උගත් එහි නිවැරදි වැටහීමක් ඇති විද්වතුන් අප සතිය. රටට ඔවුන්ගේ සේවාව වහා අවශ්‍යය. ඔවුනගේ මඟ පෙන්වීම වහා අවශ්‍යය. නැතහොත් වෙසක් තොයිලය මෙහි අමනයින් විසින් පොසොන් සහ අනෙකුත් වැදගත් ආගමික දිනවලටද අදේශ කරනු නොඅනුමානයි. ඕනෑම දිනයක් හෝ ව්‍යාපාරයක් සඳහා ඕනෑ මඟුලක් නැටුවාවේ. අන්‍යාගමිකයින් විසින් කවර දිනයක කවර නැටුමක් නැටුවාටද කම් නැත. එහෙත් මු`ඵ ලොවටම සාධාරණ, අගනා දර්ශනයක් අපට පෙන්වා දුන් ගෞතම බුදුන්ට අදාල ඕනෑම දිනයක් උදෙසා නාඩගම් නැටීමට බෞද්ධයයි කියා ගන්නා යමෙක් සහයෝගය දෙයිනම් එම අයට යථාර්ථය පෙන්වා දෙන ලෙස විද්වතුන්ගෙන් ඉල්ලා සිටිමු. 
නාගරික සංඝයා වහන්සේට නොපෙනෙන ප්‍රශ්න රාශියක් රටේ තිබේ. ග්‍රාමීය සංඝරත්නයට ඒ පිළිබඳ මනා වැටහීමක් ඇත. බුද්ධ දේශනයට අනුව ඒ  ප්‍රශ්න සැමටම පිලිසරණ දිය හැක. ඒ සඳහා මුදල් සහ සහභාගිත්වය අවශ්‍යය විය.එසේ තිබියදි රට ඒකාලෝක කරමින් රටේ නගර කානිවල් කරමින්, දාගැබ සහ ගොඩනැගිලි විදුලිබුබුලුවලින් නහවමින් දුශ්චරිත වලට අවස්ථාව ලබා දෙමින් නච්ච ගීත සහ වාදන වලින් පරිසරය වනසමින් රුපියල් මිලියන ගණනින් කාබාසිනියා කිරිම හරිද වැරදි ද යන්න බෞද්ධ ඇසින් බලා තීරණය කිරිමට ඔබ සැම මෙන්ම රටේ ජනාධිපතිතුමා ඇතුලු ඇමති මණ්ඩලය නැනවත් වියයුතුය. 
ප්‍රශ්න රාශියකින් පීඩා විඳින දුගී දුප්පත් අසරණයින් ගෙන් නොඅඩු අපේ රටේ ප්‍රශ්න නොමැති සු`ඵතරයකගේ විනෝදය සඳහා රුපියල් මිලියන ගණන් විනාශ කිරිමක්ද පාරිසරික හානියක්ද කොට ගෞරවනීය ආගමික දිනයක් කෙලෙසීමට මෙවරවත් අවස්ථාවක් ලබා නොදිමට පියවර ගන්නා ලෙස ගරු ජනාධිපති තුමා සහ අගමැතිතුමාගෙන්ද අදාල අමාත්‍යාංශ වලින්ද ගරුතර වහන්සේගෙන්ද ඉල්ලා සිටිමු.

Comments

  1. වෙසක් උත්සවය සහ හේතුවාදී නිරාගමික "බංකොලොත් තර්ක"

    1.පලමුව ඔබ දකින්නේ වර්ශයේ එකම දිනක නොපවත්වන වෙසක් උත්සවය මෝඩ ක්‍රියාවක් ලෙසය.------ එසේ නොවීමට හේතුව මෙයයි.

    ව්‍යවහාරික දින දර්ශනයේ ආසන්න වශයෙන් වසරකට ඇත්තේ දින 364.25 බව කවුරුත් දනිති. නමුත් බෞද්ධ දින දසුන සැකසී ඇති පදනම චන්ද්‍ර මාස ක්‍රමයයි. මෙම ක්‍රමදෙකෙහි වෙනස නිසා ව්‍යවහාරික දින දසුනෙන් පෙන්වන්නේ වෙසක් දින වසරින් වසර මාසයක එකම දිනක නොයෙදෙන බවය. මෙම පදනම තේරුම් ගැනීමට නොහැකි විද්‍යාත්මක චින්තනයෙන් හෙබි හේතුවාදීන් ලජ්ජා වියයුතුය.


    2. ආගම හුදු හනමිටියක් හා සාම්ප්‍රදායෙන් බැහැර බව දැක්වීම
    ------- මෙහි සැබෑ තත්වය මෙය බව මගේ වැටහීමයි.

    පූජකයින් මෙන්ම අනුගාමිකයින්ද බටහිර ආර්ථික කුනාටුවට අසුවී ආගම වාණිජ කරනයට ලක්වී දූෂිත වී ඇති බව තෙරුම්ගැනීමට තර්ක උවමනා නැත. මෙය සියලු ආගම් වලට පොදු දෙයකි. ආගමික නායකයන් සහ බැතිමතුන් තම භෞතික අවශ්‍ය්තාවන් සාක්ශාත් කරගැනීමට උපයෝගී කරගන්නා මෙවලමක් ලෙස ආගම භාවිත්යට ගැනීමට පමනක් නැඹුරුවීමෙන් මෙම තත්වය ඇතිවී ඇති බව පැහැදිළිය. නමුත් මෙය යමෙකුට ආගම ප්‍රතික්ශේප කිරීමට බලකරන ආයුධයක් ලෙස හේතුවාදීන්ට භාවිතා කිරීමට හැකියාවක් නැත. ආගමෙහි සඳහන් සමහර විෂය කොටස් වල විද්‍යාත්මක බව බටහිර විද්‍යාවෙන්ම අදවන විට ඔප්පුකර හමාරය.
    ( භාවනාව සහ යෝග ක්‍රම ගංජා සුරුට්ටුවට සමකල ඔබගේ කොවුර් සීයාගේ හනමිටි මතවාදයන් අද විද්‍යාව විසින් සුන්කර ඇතිබව පිළිගැනීමට පවා පැකිලෙන හේතුවාදීන්ගේ මානසික ඌනතාව කාටත් පැහැදිළි දෙයකි. )

    3. මුදල් නාස්තිය සහ අශෝභන ක්‍රියා සිදුවන අවස්ථාවක් බව.
    ------- මේ පිළිබඳ මෙවැනි ප්‍රතිරූපයක් දැක්වියහැක.

    සාමාජයික සත්වයෙකු ලෙස මිනිසා උත්සව වලට නැඹුරුවූ ඉතිහාසය කොපමන පැරනිදැයි කිව නොහැක. මෙය කෙසේ වෙතත් ජීව විද්‍යාත්මක අවශ්‍යතාවයක් බව තෙරුම්ගැනීමට විද්‍යාව දන්නා හේතුවාදීන් අපොහොසත් වීම කනගාටුවට කරුනකි.

    සාම්ප්‍රදායික ආගමික හා සංස්කෘතික උත්සව හැර බටහිරින් පැමිනි 31st day night සහ වැලන්ටයින් ඩේ සැමරුම වැනි උත්සව වලදී සිදුවන අශෝභන සිදුවීම් හා මුදල් කාබාසිනියාව ගැන කතා කිරීමටද හේතුවාදීන්ගේ කට පන තිබිය යුතුය.

    මෙම ලිපියේ අවසානය වෙසක් දින ගෞරවනීය දිනයක් බව ඔබම සඳහන් කිරීමෙන් ඔබගේ සැඟවුනු මනෝභාවය ප්‍රේක්ශයාට මැනවින් පිළිබිඹු කරයි.


    ReplyDelete

Post a Comment