පිරිත් දේශනා හරහා බුදුපිලිම මහානුභාව සම්පන්න කළ හැකිද?


කේ.ආර්.අභයසිංහ හිටපු කාලගුණ විද්‍යා අධ්‍යක්ෂ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යයන ආයතනයේ බාහිර කථිකාචාර්ය 
බුද්ධාගම හා සම්බන්ධ විශේෂිතවූ වෙසක් සහ පොසොන් වැනි දින සැමරුම් විනෝදමේලා බවට පත්වී හමාරය. මනා බුද්ධිය තුළින් බුද්ධ ධර්මය වටහා ගැනීම කළ යුතුවා සේම එය ප්‍රතිපත්ති තුලින්ම අනුගමනය කළ යුතු වටිනා දර්ශනයක් බව අප රටේ සංඝයා වහන්සේලාටත් අමතක වී ඇතිසේය. 
බෞද්ධාගමිකයන්ට ඇති විශේෂ දිනයක් වන බුදු තෙමඟුල වන වෙසක් දිනයද ප්‍රතිපත්ති වලට මුල්තැන දෙන දිනයකට වඩා වවිධ විනෝදාංශ වලින් පිරි විනෝද මේලාවක්වී ඇති අතර, එක් දිනයක් වෙනුවට වෙසක් සතියක් හඳුන්වාදී එම සතිය පුරාම මේලා පැවැත්වීම තුළින් වෙසක් බුදු තෙමඟුල සැමරීම කොතරම් යථාර්ථවාදී ද යන ප්‍රශ්නය ඇසිය යුතු තැනක අපි සිටිමු. 
නිකාය තුනකින් සහ තවත් අනු කොටස් ගණනාවකින් සමන්විත ශ්‍රී ලංකා බුද්ධ ශාසනයේ දහස් ගණන් බෞද්ධ ස්වාමීන් වහන්සේලා වැඩ සිටියදීම ව්‍යාපාරිකයින් දේශපාලකයින් සහ ජනමාධ්‍යකරුවන් වෙසක් සැමරුම් කානිවල් වල මූලාසනාරූඪ වීම අදහාගත නොහැකි කරුණකි. බෞද්ධාගමට සම්බන්ධ කමක් නොමැති, විවිධ අබෞද්ධ ව්‍යාපාර වලට අත දෙන, ව්‍යාපාරිකයන්, දේශපාලකයින් සහ ජනමාධ්‍යකරුවන්ගේ දායකත්වය මෙම මේලා වැඩසටහන් වලට ලැබීම වුවමනාවෙන්ම බෞද්ධ දර්ශනය විනාශයට පත් කිරීමේ ප්‍රයත්නයක්දැයි සැක සිතෙන තරමට වෙසක් සැමරුම් විකාරරූපිවී ඇත. 
2015 මැයි වෙසක් සතිය තුළ එක්තරා විද්‍යුත් ජනමාධ්‍යයක් සුපුරුදු නාඩගම් අතරට පුදුමාකාර නව අංගයක් එකතු කර තිබුනි. එනම්, ඔවුන් විසින් සංවිධානය කරනු ලබන වෙසක් කලාපය තුළදී පිරිත් දේශනා වලට භාජනය කරන බුදුපිලිම, දුරකතනය හරහා ඉල්ලුම් කළ අයට ලබා දීමයි. එහි පුදුමය නම්, පිරිත් දේශනා මඟින් ඒ බුදුපිලිම “මහානුභාව සම්පන්න” කළ බවට තක්සේරුවක්ද ප ලබා දීම ගැන ඔවුනගේ එෆ් එම් චැනලය හරහා පුන පුනා ප්‍රචාරය කිරිමයි. 
ඔවුන් සිතු තරමට ඉල්ලුමක් නොතිබුන නිසාදෝ දැන් එම ගුවන් විදුලි සේවයේ සමහර වැඩසටහන් වලට සවන් දෙන අයට එම ‘මහානුභාව සම්පන්න’ බුදු පිලිම ලබාදෙන බව දවස පුරා නිවේදනය කරනු ඇසේ. 
සංඝයා වහන්ස, බෞද්ධාගමේ නාමයෙන් මෙවන් නාඩගම් සිදුකිරීම ඔබ වහන්සේලා අනුමත කරනවාද? කොහේදෝ රටක බුදුපිලිම විනාශ කරන විට හෝ, වස්ත්‍රයක බුද්ධ රූප පින්තාරු කළ විටක හෝ, බෞද්ධ කොඩි විකෘති කළ විටක හෝ ගමන් මල්ලක පින්තාරු කළ බුදු රුවක් දුටු විටක හෝ චීවරය කැසපොට ගසා ගෙන විරෝධය ප්‍රකාශ කරන ඔබ වහන්සේලා ශ්‍රි ලංකාවේ මිසදිටුවන් විසින් බෞද්ධාගමික අවස්ථා සැමරුම් සඳහා විවිධ විනෝද මේලාවන් සංවිධානය කිරීම වගේම සිය ජනප්‍රියතාව උදෙසා බුදු පිලිම සහ ධාතුන් වහන්සේලා ප්‍රවාහනය කිරිම සහ බුදු පිලිම කප්පම් සේ ලබාදීම දෙස බලා සිටිම සාධාරණද? 
ගෞතම බුදුන්ගේ දහම මේයයි මා විස්තර කළ යුතු නොවේයයි සිතමි. එම දහම ප්‍රතිපත්ති රැකීම මත ම අනුගමනය කරනවා මිස, රූප වන්දනා වලට එම දර්ශනයේ ලැබෙන ස්ථානය බිංදුව බව ඔබ වහන්සේලා දන්නා සත්‍යයක් නොවන්නේද? බුද්ධ පරිනිර්වාණයෙන් ශතවර්ෂ ගණනාවකට පසුව, එම දර්ශනයේ යථාර්ථය නොදත් රජවරු සහ සමහර චීවරධාරින් බුද්ධ ප්‍රතිමා හඳුන්වා දී ඒවාට පුදපූජා පැවැත්වීම ආරම්භ කර ඇති අතර, ඉතා පහසුවෙන් තමන් බෞද්ධයෙකුයයි අනුන්ට ඒත්තු ගන්වමින් ඕනෑම නාඩගමක් කිරිමේ ආශාව ඇත්තෝ මෙම ප්‍රතිමා කලාව ඔස්සේ බොහෝ ඉදිරියට ගොස් ඇත. අද වනවිට රූප, ප්‍රතිමා, ගස්,ගල්, ගොඩනැගිලි ආදිය වන්දනාමානය ප්‍රමුඛස්ථානයට පත් කිරීමට කපටි චීවරධාරින්ද විශාල ලෙස දායකත්වය දෙමීන් සිටින බව පැහැදිලිය. 
බුදුන්ගේ කාලයෙන් වසර 500 කට පමණ පසුව ආරම්භය ලද ප්‍රතිමා සංකල්පය විවිධ කලාවන්, මූල ද්‍රව්‍ය සහ තාක්ෂණය හරහා දියුණුව ඇත. මැටි, සිමෙන්ති, ඉටි, ප්ලාස්ටර් ඔෆ් පැරිස්, දැව, ක`ඵගල් ආදියෙන් ප්‍රතිමා නිර්මාණය කළත්, ඒවාට නොයෙක් බලයන් ඇති බව ප්‍රකාශ කරිම කාගේ අදහසක්ද? බුදුන් වහන්සේ විසින් සඳහනක්වත් නොකළ දෙයක් ගැන තම තමන් හිතනදේ ප්‍රකාශ කරමින් බුදුපිලිම වලට මහා බලයක් ඇතැයි ප්‍රචාරය කිරිම මොන තරම් මහා ප්‍රෝඩාවක්ද? මේ එෆ් එම් ආයතනය බෙදාහරින මහානුභාව සම්පන්න බුදු පිලිම වලට වන්දනාමාන කිරීම ජීවමාන බුදුන්ට වන්දනාමාන කිරීමටම සමාන බව පවසන එම ජනමාධ්‍ය නිවේදකයන්, තමන් මේ කරන්නේ බුදුන්ට සහ ඒ දහමට අපහාස කිරිමක් බව වටහා ගැනීමට තරම්වත් දහම් අවබෝධයක් නැත්තන්ය. 
පිරිත් දේශනා වල අඩංගු ගාථා වල අරුත නොදන්නා කෙනෙකුගේ ජිවිතයේ කිසිම වෙනසක් කිරීමට එම පිරිත් දේශනා සමත් නොවන බව පැහැදිලිය. යථාර්ථය එසේ තිබියදී මැටි, සිමෙන්ති, ඉටි ආදියෙන් නිමවූ අඳ, ගො`ඵ, බිහිරි පිලිමයක් අබියස පිරිත් දේශනා කොට එයට මහානුභාව සම්පන්න බලයක් ලබා දෙන්නේ කෙසේද? ජනමාධ්‍ය කරුවන් තමන් බෙදා හරින පිලිම වහන්සේලා මහානුභාව සම්පන්නනයයි පවසමින් ජනතාව රැවටීම උපරිම ලෙස කරගෙන යද්දි, මහනායක හිමිවරු පවා ඇස් කන් වසා ගෙන සිටීනම් උන්වහන්සේලාගෙන් අපට ඇති උපකාරයක් ඇත්ද? 
හාමුදුරුවන්ගේ, පිරිත් දේශනා වල අරුත පිළිබඳව අනුගාමිකයන් දැනුවත් නොවනතාක් කල් ඔබ වහන්සේලාගේ පිරිත් වලින් කිසිම සේවයක් සිදුවන්නේ නැත. එසේම, පිරිත් දේශනා ඝෝෂාවන් නූල් දිගේ යවා ඒවාට බලය ලබා දීමට හෝ පිලිම අබියස පිරිත් දේශනා කොට ඒවා මහානුභාව සම්පන්න කළ හැකියයි සිතීම පවා අති මෝඩ තකතිරු කමකි, ලෝක විහි`ඵවකි. 
පිරිත් දේශනා කොට පිලිම මහානුභාව සම්පන්න කළ හැකියයි ජනමාධ්‍යකරුවන් පිලිගන්නවානම්, එපමණක් නොව, වෙසක් කලාපය තුළ සහ පිරිත් ඇසෙන මානයේ තිබෙන වැලි කැට, ගල්, ගඩොල්, ගස්, වැල්, මල් බඳුන්, පුටුමේස, පඩික්කන්, පාපිසි, වාහන, සපත්තු, සෙරෙප්පු, වැසිකිලි, රෙදි, යකඩ බට, ඡඪක්‍ බට, ටකරන් තහඩු, ශබ්දවාහිනි සහ අනෙක් තාක්ෂණික උපකරණ, ගොඩනැඟිලි ආදි සියල්ල මහානුභාව සම්පන්නවී තිබිය යුතුය. 
හාමුදුරුවනේ, ව්‍යාපාරිකයින්, දේශපාලකයින් සහ ජනමාධ්‍යකරුවන් සිය ජනප්‍රියත්වය වැඩි කර ගැනීමට බුදු දහම අලෙවි කිරිම, විකෘති කිරිම සහ විනාශ කිරිම ඔබ වහන්සේලාගේ අනුදැනුම ඇතිව සිදුවන්නේ දැයි විමසිය යුතුව ඇත. හාමුදුරුවනේ, බුද්ධ දර්ශනය හා සම්බන්ධ සිය`ඵ තීරණ ගැනීමට ප්‍රමුඛ විය යුත්තේ ඔබ වහන්සේලා මිස, ජනමාධ්‍යකරුවන්, ව්‍යාපාරිකයින් හෝ දේශපාලකයින් නොවේ. ඔවුන් සම්බන්ධවී එම දහමට කරගෙන යන මහා විනාශය නවතා දැමීමට දැන්වත් ඉදිරියට එන්න. විවිධ දුශ්චරිත වලට අත දෙන ව්‍යාපාරිකයින් සහ දේශපාලකයින් වගේම ඕනෑම අබෞද්ධ වැඩසටහක් මඟින් සිය ජනප්‍රියත්වය වැඩි කර ගැනීමේ උප්පරවැට්ටියක් ලෙස බෞද්ධාගමික දින සැමරීම මෙන්ම කප්පම් ලෙස බුද්ධ ප්‍රතිමා බෙදා දීමට සහාය නොදි ඊට එරෙහි පියවර ගැනීමට ඔබ වහන්සේලා ඉදිරිපත් නොවන්නේනම් චීවරය හැර යාම වඩාත් යෝග්‍යයයි යෝජනා කරමි. 
මේ කරුණු පිළිබඳ ඔබ වහන්සේලාගේ අවධානය වහා යොමු විය යුතුය. සෑම මාසයකම පසලොස්වක පෝදා නිවාඩු දිනයකි. ළඟ එන එවන් දින වල විවිධ උප්පරවැට්ටි මඟින් ජනතාව රැවටීමට පියවර ගෙන විකෘති බුදු දහම පතුරවා එම දහමට අපහාස කිරිමට එරෙහි පියවර ගන්නා ලෙස ඉල්ලා සිටිමි. එම උත්සාහය තුළින් 2016 මැයි වෙසක් තෙමඟුල ප්‍රතිපත්ති වලින් පිරි සැමරුමක් බවට පත්කොට ලොවටම ආදර්ශයක් දිමට පියවර ගන්නා මෙන්ද ඉල්ලමි. 


Comments