විද්‍යාවේ දියුනුවට මහඟු මෙහෙවරක් කළ අබු අල් හසේන් ඉබන් අල් තායි Posted by Dilshan Sanjeewa on May 21, 2018
කුණුකය ශ්‍රී දේහයක් වීම, ආදාහන පූජෝත්සව සහ මරණයේ යථාර්ථය Posted by Dilshan Sanjeewa on June 17, 2016 Get link Facebook X Pinterest Email Other Apps ඩී. කුලරත්න, කවුඩුවාව- අටකලන්පන්න. ඕනෑම තරාතිරමක මිනිසෙකු හෝ සත්ව ජීවියෙකු මියගිය පසුව පැය විසිහතරක් නික්මෙත්ම කුණු වී ඕජස් ගලන සිරුරකට හිමිකම් කියයි. ආදි කාලීන මිනිසුන් මියගොස් දිනක් නික්මෙත්ම අමු සොහොනකට ගෙන ගොස් දැමීමත්, ඉන්පසු නොයෙකුත් මාංශ භක්ෂකයින්ට සහ ක්‍ෂද්‍ර ජීවීන්ට එම මලකුණ ආහාරයක් වීමත් එදා සුලභ දසුනක් වී ඇත. පසුකාලීනව වංශවතුන් සහ කුලීනයින් යයි කියාගත් වහල් සමාජවල ප්‍රභූවරුන් හෝ වැඩවසම් ප්‍රභූවරුන්ගේ සිරුර දර ගොඩක ලා දවාලූ බවට ඉතිහාසය දෙස් දෙයි. විශේෂිත වූ පුද්ගලයින්ගේ මෘතදේහ බෙහෙත් ගල්වා කල් තබා ගත් ඉතිහාසයක් පුරා විදු සාක්ෂි හෙළි කරයි. කෙසේ හෝ ස්වභාවික මරණය විශ්ව නියාමයක් වන්නා සේම මියගිය විට සිරුර කුණුකයක් වීමද එහිම එක්තරා සන්තතියකි. මහැදුරු සරච්චන්ද්‍රයන් වරක් කීවා සේ සියලු මිනිසුන් නිසැකවම මිය යා යුතුය. නැතහොත් ඊළඟ පරපුරට දිවිගෙවීමට භූමියක් ද, කරන්නට වෘත්තියක් ද, විඳින්නට සම්පත් ද නොමැතිවනු ඇත. පැරණි වැඩවසම් ප්‍රධානීන් අනුව යමින් අප රටේ කුමන නායක භික්ෂුවක් වුවද මියගිය පසුව (සමාවන්න අපවත් වූ විට) තම කුණුකය ශ්‍රී දේහයක් වී මහජන ක්‍රිඩාංගනයක හෝ පාසලක පිට්ටනියක දෙනෝදාහක් මැද දවාලීම සුලභ දර්ශනයක් වී ඇත. දළදා මාළිගාව අභියස ්-26 මාර්ගය විවෘත කරන්නට ඉඩ නොදී වසාගෙන සිටිමින් මීටර් 200ක් පමණ දුරකින් යා හැකි ගමන කිලෝමීටර් ගණනක් දිගුකරමින් මහා වාහන තදබදයක් සහ ඒ නිසාම මහා පරිසර දූෂණයක් මහනුවර නගරයට දායාද කළ, එනිසාම අනෙකාගේ මරණය වෙනුවෙන් දායක වූ, එනිසාම තම නිවන් මග ඔවුන් අදහන ලෙසටම තවත් දුරස්ථ කරගත් මෑථ කාලීන අස්ගිරි මහ නා හිමිවරුන් දවාලූයේ ජනාකීර්ණ මහනුවර නගරය මැද පිට්ටනියකය. රාජ්‍ය ගෞරව දුන්නේද, රජයේ වියදමින් සියලු අවසන් කටයුතු කළේද පාර වසාගෙන, සිටි පිනට කළගුණ සැළකීමට විය හැකිය. මහනුවර නගරයේ ඇති අධික වායු දූෂණය නිසාවෙන් ස්වසන රෝගීන් වූ දරුවන් දහස් ගණනක් සිටියදී ඒ අහිංසක දරුවන් පෝලිම් ගස්සා ඊනියා ශ්‍රී දේහය වන්දනාවට යැවීමෙන්, අව් රස්නේ මිරිකෙමින් අදාහන පෙරහරවල යැවීමෙන්, අධ්‍යාපන බලධාරීන් කළේත් කළගුණ සැලකීම වන්නට ඇත. රටේ ඕනෑම තැනක නායක- අනුනායක වහන්සේලාගේ ශ්‍රී දේහයන් පාසල් ක්‍රීඩාපිටිවල දවාලද්දි සිදුවන පරිසර දූෂණය අධ්‍යාපන බලධාරීනුත් රටේ නායක පිරිසත් අනුමත කරන්නේ ආගමට ඇති බිය නිසා වන්නට පුළුවන. නැත්නම් “කුමාරතුංගයන් ලක්මිණි පහන පුවත්පතේ “මායන තැන” කවි පෙළෙහි කීවාසේ ඇත්ත ඇති සැටියෙන් විමසන්නට කොන්දක් නැතිකම නිසා වන්නට පුළුවන. මෙම ඊනියා ආදාහන පූජෝත්සව සංවිධානය කරන, කරවන හිමිවරුන්, දායකයින්, නායකයින් බුදුන්වහන්සේ කවුදැයි හෝ බුදුගුණ කිමැයි හෝ නොදනී. එක්කෝ දැනගන්නට වුවමනාවක් නැත. රේරුකානේ චන්දවිමල, වරකාවේ ධම්මාලෝක සහ හාරිස්පත්තුවේ අරියධම්මාලංකාර වැනි හිමිවරුන් තම අවසන් කටයුතු වලදී දුන් අනගි ආදර්ශය ගැන මෙනෙහි කරන්නට, පිළිපදින්නට අකමැති භික්ෂූන් සැබෑ ජීවිතයේ තමන්ට නොතිබූ ගරුත්වයක් මරණින් මතු ලබන්නට ආශාවෙන් තම අවසන් කටයුතු වලදී මහා උත්සව පවත්වන්නට තම අනුගාමික පිරිස් පොළඹවනවා විය හැකිය. එමඟින් ශබ්ද දූෂණය සහ වායු දූෂණය ද අනෙකාට වන හිරිහැරය ද තමා අනෙකා පෙලන බවද මොවුන්ට දැනීමක් හැඟීමක් නැත. ධම්ම පදයේ 49 වන ගාථාවේ යථාපි හමරො පුප්පං - වණ්ණ ගන්ධං අහෙථියං පලේනි රසමාදාය - ඒවං ගමේ මුනී චරෙ “යම්සේ බඹරා මලින් එහි පැහැය ද, සුවඳ ද නොපෙලා මල් රසය පමණක් ගෙන යයිද එසේම භික්ෂුව ගම නොපෙලා ගමෙහි හැසිරිය යුතුය” එහෙත් අඳෝමැයි අද භික්ෂුව ගමේ හැසිරෙනුයේ ධම්මපදය තුට්ටුවකටවත් මායිම් නොකරමිනි. බුදුන් වහන්සේගේ රූපකාය දැකීමෙන් ප්‍රමෝදයට පත් වක්කලී හිමියන්ට කැලි කසළ ගොඩක්වන් තම රූපකාය හෙවත් සිරුර නොව දෙසූ ධර්මය හෙවත් ධර්මකාය බලන ලෙස දහම පිලිපදින ලෙස බුදුහු උපදෙස් දෙති. තම සැබෑ දිවියම ලොවට ආදර්ශයක් කළ, අනෙකා වෙනුවෙන්ම තම ජීවිතය කැප කළ උත්තම චරිතයකට හිමිකම් කී බුදුන්ම තම සිරුර කුණු ගොඩක් යයි කීවේ නම් ගිහි පෘථග්ජනයින්ටත් වඩා රාග-ද්වේෂ-භය-මෝහයෙන් පිරි චීවරධාරීන්ගේ සිරුරු මියගිය පසුව ශ්‍රී දේහයක් වන්නේ කෙසේද? සියළු සැප සම්පත් අත්හැර ශ්‍රමණ දිවියකට පැමිණ, චාම් සරල දිවියක් උරුමකරගත්, විශේෂ ආරාධනාවක් නොලත් හැම විටම තම එකම දෛනික ආහාරය වූ දහවල් දානය පාත්තරයක් රැගෙන පැල්පතක් ගානේ සිඟා ගොස් සපයාගත්, හුදකලාව විසිමින් චාම් සරල දිවියක් ගතකරන්නේ කෙසේදැයි තම චර්යාවෙන්ම පෙන්නූ බුදුන් වහන්සේ සැබැවින්ම අසාමාන්‍ය ගෘස්තෘවරයෙක් වූහ. උන්වහන්සේගේ චරිතයේ තිබු අසාමාන්‍ය ගුණ සමුදායෙන් ආදර්ශයක් ගෙන තමන්ද ධර්මයෙහි හැසිරෙමින් තම අනුගාමිකයින් ද චාම්, සරල දිවියකට යොමු කරනු වෙනුවට මහනුවර වජිරබුද්ධි හිමියන් කියන්නාසේ මෙම දේවදත්ත නිකායේ නායක හිමිවරුන් තමන් පංචකාමයෙහි ගැලෙමින්, අධි සුඛෝපභෝගී දිවියක් ගත කරමින් සිට මියගිය පසුව සිය අනුගාමිකයින් මෙහෙයවන්නේද පොළඹවන්නේද, සියල්ල කනපිට හරවාගෙන මියගිය පසුවද අනෙකා පෙලන්නටය. ඊනියා ආදාහන පූජෝත්සව රාජ්‍ය ගෞරවදී පවත්වා මහ පරිසර විනාශයක්ද, මිනිස් සන්තානයේ අධ්‍යාත්ම විනාශයක්ද කරන්නට රජය වියදම් කරන මහාධනස්කන්ධය අපතේ යවන මිනිස් පැය ගණන, එක් ආගමක් වෙනුවෙන් අනෙකුත් ආගමිකයින් පෙලීමක් නොවන්නේද?, ජාති ආගම් භේදයක් නොමැතිව රැස්කරන බදු මුදල් එක් ආගමක් එක් ආගමක පූජක පන්තියත් වෙනුවෙන් වැය කිරීමට රජයකට ඇති නීත්‍යානුකූල හෝ සදාචාරාත්මක අයිතිය විචාරශීලී පුරවැසියන් ප්‍රශ්න කළ යුතුය. එක් ආගමක පූජකයින්ගේ සිතැඟි ප්‍රාර්ථනා ඉටුකරන්නට අනෙකුත් ආගමික ප්‍රජාවන්ගේ සහ නිර්- ආගමික අපගේ බදු මුදල් වියදම් කිරීමට රාජ්‍යයට ඇති සුජාත භාවය ප්‍රශ්න කළ යුතුය. බුදුන් වහන්සේගේ පිරිනිවන් පෑම ගැන සඳහන් කරන පැරණිම පිටක ග්‍රන්ථවල එන මහා පරිනිර්වාණ සූත්‍රයට අනුව “කුසිනාරා නුවරට පැමිණි බුදුහිමියෝ යමක සාල වෘක්ෂයන් අතර සතර පටකට නවා අසුරන ලද තම සිවුර මත උතුරට හිසලා සැතපුනහ. බුදු හිමියෝ වාඩිවීමට හෝ නිදාගැනීමට සාමාන්‍යයෙන් සැමදා පාවිච්චි කළ සතර පටකට නැවු සිවුරම මේ අවසාන රාත්‍රියේ ම එලෙසම පාවිච්චි කළහ.” (බුදුදහම හා බුද්ධාගම - මහාචාර්ය මාරසිංහ 116 වන පිටුව) තමන්ට බඩගිනි වූ විට පාත්තරය ගෙන ආහාර හිඟමනේ ගිය, තම 79 වන (තැත්තෑ නවවන) වියේදීත් ඔරු පාරු නොසොයා- ගංගානම් ගඟ පීනා තරණය කළ, තම හිත මිතුරු බිමිබිසාර-අජාසත්-කොසොල් වැනි රජවරුද- අනේපිඬු- උපාලි ගෘහපති වැනි ධන කුවේරයින්ගෙන් යාන වාහන ඉල්ලා ගනු හැකිව තිබියදීත් ධර්ම චාරිකාවේ යෙදුන පන්සාලිස් වසම දෙපය ගෙවන තුරු මගධ දේශය පුරා පයින්ම ඇවිද්දා වූ බුදුහු ආදර්ශයෙන්ම අල්පේච්ඡ සරල ප්‍රතිපදාවකට හිමිකම් කීහ. එවැනි උත්තමයකුගේ සව්වන් යයි තමන්ම කියා ගන්නා නූතන නායක- අනුනායක භික්ෂූන් වහන්සේ තම මරණයෙන් අවසන් කටයුතු වලින් ගිහියන්ට දෙන ආදර්ශය විගඩමක් වී ඇති සැටි අප රට පුරා අත්දකිමු. මියගිය මිනිසෙකුට හිමිවිය යුත්තේ අඩි හයක් යට මහපොළවේ හතර රියනකි. අද භූමිය සීමිත සම්පතක් නිසාවෙන් විකල්පයක් ලෙස අදාහනාගාරයක අළුවිය යුතුය. නැත්නම් අප සිරුර වෛද්‍ය සිසුන්ට කපන්න කොටන්නට ඉඩදිය යුතුය. එසේ නොමැතිව දින ගණන් සිරුරු බෙහෙත් ගල්වා තබා විෂබීජ අහිනක් මැද මිනිසුන් පෝලිම් ගස්සවා වන්දවා මාර්ග තදබදය තවත් වැඩිකරමින්, මහමඟ පෙරහැර පවත්වා, මිනිසුන්ට වධ දෙමින්, පවත්වන විකාර සහගත ආදාහන පූජෝත්සව බුදුබණ දත් බොදුනුවන් නම් පිළිකෙව් කළ යුතුමය. මැරුන මිනිසුන් දින ගණන් තබාගෙන උත්සව පවත්වනවා වෙනුවට, එයින් විෂබීජ තොග ගණන් පරිසරයට මුදා හරිනු වෙනුවට, ඉස්ලාමිකයන් මෙන් පැය 24 ක් තුළ ඉතා චාම්, සරල අවසන් කටයුත්තක් කරන්නට සමාජය මෙහෙයවන්නට පෙරමුණගත යුත්තේ සැබෑ බුදු බණ දත් ශික්ෂාකාමී හිමිවරුන්ය. උන්වහන්සේලා තමන් විසින් රටටම එම ආදර්ශය දුන්නේ නම් නිස්කාරණ වියදම් නැති, අලංකාර මිල අධික මිනී පෙට්ටි නැති, ධජ, පතාක, සේසත්, පොලිතීින් කොඩිවැල්, බැනර්, මල්වඩම් නැති දින ගණන් මල සිරුරු තබා ගනිමින් අසල්වාසීන් කරදරයට පත් කරන්නේ නැති, අවමඟුල් සරලව සිදු කරන්නට හුදී ජනයා උත්සුක වනු ඇත. සිල්වත්, ගුණවත්, ණැනවත් හිමිවරුන්ගෙන් අප ඉල්ලා සිටිනුයේ එදා රේරුකානේ චන්දවිමල, හාරිස්පත්තුවේ අරියධම්මාලංකාර වැනි හිමිවරුන් දුන් ආදර්ශය අනුව එම අඩිපාරේ යමින් ශ්‍රමණ දිවියේදීත්, මරණයේදීත් චාම් වූද, සරලවූද, හිනතමානිත්වයෙන් පොදු ජනයාට ආදර්ශයක් වන ලෙසටය. සොක්‍රටීස් තම අවසන් මොහොතේ කීවා සේ “යහගුණයෙන් පිරි මිනිසාට මරණය සුව නින්දකි” බලය, ධනය, කීර්තිය හඹා යමින් ගුණදම් වලපල්ලට ගිය සමාජයක මිනිසුන්ගෙන් යහගුණ පතන්නට නොහැකි වුවද තමා ජීවත්වන සුළුකාලයේ තම දිවිය ගුණ දහමින් - යහපත් චර්යාවෙන් සරසා ගන්නේ නම් මියගිය පසුව බැනර්, කොඩිවැල්, ධජ, පතාක සහ ගුණ වැයුම් වලින් අවමඟුල සරසන්නට අවශ්‍ය නොවනු ඇත. Comments
Comments
Post a Comment