මිථ්‍යාව පලවා හරිනු පිනිස දරන උත්සාහයේ දී ඊට එරෙහි වන ප්‍රධාන බලවේග දැන හඳුනාගෙන සිටීම මිථ්‍යාව පැරදවීමට වෙර දරන කාටත් ප්‍රයෝජනවත් වනු නොඅනුමානයි. නූගතුන් රවටා එදිනෙදා ජීවත් වන්නට කීයක් හෝ උපයා ගන්නා අහිංසකම පුද්ගලයාගේ පටන්, ඇහැට නොපෙනන ශුද්ධවන්තයින් ලෙස - දානපතියන් ලෙස - ආගම්වල ආරක්ශකයින් ලෙස - අමද්‍යප වීරයින් ලෙස ජනතාවගේ ගැලවුම් කාරයින් යැයි කියමින් පෙනී සිටින දේශපාලකයින් ලෙස - ආගමික සංවිධාන වල ප්‍රධානීන් ලෙස - මත්ද්‍රව්‍ය ජවාරම්කායින් ලෙස - මාධ්‍ය කරුවන් ලෙස, ඔවුන් මිථ්‍යාව වගා කිරීමේ කාර්යයේ ප්‍රමුඛ කාර්යයක් ඉටු කරනවා. රට - ජනතාව ඉදිරියේ පෙන්වන මුහුනත්, ඔවුන්ගේ සැබෑ මුහුනත් අතර වෙනස හඳුනා ගැනීම එතරම් පහසු නෑ. හඳුනාගත්තත් ඔවුන් කවුදැයි හෙලි කරන්න පහසු නෑ. ඊට බාධක අති මහත්. දේශපාලන - ආර්ථික බලය ඔවුන් ආරක්ශා කරනවා.
මේ පිලිබඳ අගනා විවරනයක් ලෝක ප්‍රකට මහා නාට්‍ය කරුවකු වූ හෙන්රික් ඉබ්සන් ඔහුගේ The Public Enemy
(1882) නාට්‍යයෙන් ජනතාව අතරට ගෙන ආවා. එම නාට්‍ය ඇසුරෙන් සත්‍යජිත් රාජි (ජනහතුරා) නමින් චිත්‍රපටයක් ඉන්දියානු පසුබිමක් යොදා ගෙන නිර්මානය කලා. ඒ චිත්‍රපටයේ කතා පුවත ඇසුරෙන් තරුන සිනමාකරුවකු වන සපුමල් ලියනආරච්චි ලියූ සටහනකි පහත දැක්වෙන්නේ.
“හෙන්රික් ඉබ්සන්ගේ නාට්‍ය 1988 වර්ශයේදී නිර්මානය වන අවධියේ පැවති තත්වයට සාපේක්ශව වර්තමාන තත්වය අතිශයින් සංකීර්න බව පැහැදිලියි. එසේ වුවත් 1882 තරම් ඈත අවධියේදී විශිශ්ට නාට්‍ය කරුවකු දුර දක්නා නුවනින් කල නිර්මානය එදා මෙන්ම අදත් ආගමික අන්තවාදය භාවිත කොට ලාභය ම අරමුන කරගත් ව්‍යාපාර ගැන අතැඹුලක් සේ කරුනු පැහැදිලි කිරීමට සමත් වී ඇති බැව් පැහැදිලි යි.
හෙන්රික් ඉබ්සන් 1882 දී රචනා කළ මෙම නාට්‍යයේ පරමාදර්ශී චරිතය වන තෝමස් ස්ටොක්මාන් සිය ප්‍රතිපත්ති වෙනුවෙන් ඔහුගේ සුඛෝපභෝගී ජීවිතය කැප කරයි. සත්‍යජිත් රායි තම සිනමා නිර්මානය එළිදක්වන්නේ 1989 දීය.
චන්දිපූර්, කල්කටාවට නුදුරින් පිහිටි කුඩා නගරයක්. දොස්තර අශෝක් ගුප්තා එහි රෝහලක ප්‍රධාන වෛද්‍යවරයායි. ඔහුගේ බාල සොයුරු නිසිත් ව්‍යාපාරකයෙක් වනවාට අමතරව නාගරාධිපතිවරයාද වෙයි. ඔහු රෝහල් කමිටුවේද ප්‍රධානියාය. නිසිත් ධන බලයෙන් හා නිල බලයෙන් තම සොයුරාට ඉහලින් සිටිනවා. කලු සල්ලි සුදු කිරීමේ ඔහුගේම යෝජනාවකට අනුව තැනූ හින්දු දේවස්ථානයක පාලක කමිටුවේ ප්‍රධානියාද ඔහුයි.
හින්දු දේවස්ථානයේ අප ජලය නගරයේ ජල මාර්ග දූශනයට ලක් කිරීම ඇසුරෙන් පැන නගින ගැටුම මේ චිත්‍රපටයේ කේන්ද්‍රීය කථා පුවතයි. දොස්තර ගුප්තාගෙන් ප්‍රතිකාර ලබා ගැනීමට එන රෝගීන් අතර සෙංගමාලය උනසන්නිපාතය වැනි රෝගාබාධ වලින් පෙලෙන්නවුන් බොහෝයි. ඉන්වැඩි දෙනෙක් මේ දේවස්ථානය අසල පදිංචි කාරයින් මෙන්ම එය වැඳපුදා ගන්නට එන්නවුන් ද වේ.
රසායනික පර්යේශන මඟින් අප ජලයේ දූශිත බව සැකයෙන් තොරව ඔප්පු වූ වහාම ඔහු ඒ ගැන පුවත් පත් වලින් එලිදරව් කරන්නට උත්සාහ කලේය. පැවැති දේශපාලන බලහත්කාරයට බියෙන් පුවත් පත් වලින් එම ලිපිය පල කිරීම ප්‍රතික්ශේප කරයි. දොස්තර ගුප්තා ඉදිරිපත් කල විද්‍යාත්මක සත්‍යය පිලිගැනීම නිසිත් ප්‍රතික්ශේප කරයි. හින්දු විශ්වාසයට අනුව ශුද්ධ වූ ජලය අපිරිසිදු විය නොහැකිය. මහජන යහපත සඳහා දේවස්ථානය වැසිය යුතු බව දොස්තර ගුප්තා කියයි. මේ නගරය සෞඛ්‍යයට අහිතකර ස්ථානයක් ලෙස අපකීර්තියට ලක්වීම ඉතා අහිතකර තත්වයකි. පවිත්‍රතා කටයුතු සඳහා සුවිශාල මුදලක් වැයවේ. නිසිත් තම සොයුරාගේ විද්‍යාත්මක මතය පරාජය කොට තමාගේ අවශ්‍යතාවය වෙනුවෙන් අවිද්‍යාව ජයග්‍රහනය කරවාගත යුතු වෙයි.
මෙම ගැටලුවට අදාලව පැවති සම්මන්ත්‍රණයකදී දොස්තර ගුප්තාට මෙන්ම නිසිත්ට ද අදහස් දක්වන්නට අවස්ථාව ලැබෙයි. දොස්තර ගුප්තාට දූශිත ජලය නිසා සෞඛ්‍යයට ඇතිවන තර්ජනය පැහැදිලි කරයි. පුවත්පත් ඇතුලු දේශපාලකයින් මුදලට ගන්නා නිසිත් ජනයා ඉදිරියේ ශුද්ධ වූ ජලයේ ආශ්චර්යය පිලිබඳ කරුනු කියයි. ගරු කටයුතු මහතකු ලෙස පෙනී සිටිමින් නිසිත් තම සොයුරු දෛ්‍යවරයා ප්‍රශ්න කරයි. නිසිත්ට සහාය දක්වන ආධාර කරුවන් ජනතාව ලෙස පෙනී සිටියි.
නිසිත් : ඔබ කැමතිද ඔබව හින්දුවෙක් විදිහට හඳුන්වනවාට?
ගුප්තා : මොකක්ද ඒ ප්‍රශ්නෙ තේරුම
නිසිත් : ඒකට හේතුවක් තියෙනවා. මට ඒකට ඔබේ පිලිතුර දැනගන්න අවශ්‍යයි.
ගුප්තා : අනිවාර්යයෙන්ම ..... මම හින්දුවෙක් ...... ඒකෙ කිසිම සැකයක් නැහැ....
නිසිත් : පසුගිය වසර 10 පුරාවට අපේ සිද්ධස්ථානයට ඔබ ගිහින් තියෙනවාද?
ගුප්තා : ඔබ අදහස් කරන අදහසින් මම ගිහිල්ල නෑ.....
නිසිත් : වෙනත් විදිහකට කිව්වොත් ඔබ බැතිමතෙක් නොවෙයි
ගුප්තා : නෑ......
නිසිත් : ඒ විදිහෙ පිලිවෙත් පිලිබඳ ඔබේ විශ්වාසයක් නැද්ද?
ගුප්තා : මම ඔබට ඇත්ත කිව්ව.......... හින්දු ආගමේ ඇතැම් සිරිත් මම අනුගමනය
කරන්නේ නෑ....... මගේ විශ්වාසයන් හැඩ ගන්වල තියෙන්නෙ විද්‍යාව ...... නමුත් ඒක පුද්ගලිකයි....... ඒත් බැතිමතුන් දේවස්ථානය වන්දනා කිරීම හෝ ශුද්ධ ජලය පානය කිරීම ගැන මට විරුද්ධ වෙන්න බෑ..... නමුත් දේවස්ථානයේ ජලයට විශ එකතුවෙලා. ඒක ඔප්පුවෙලා ඉවරයි. ඉතිං මම කිව්වොත් එතන තියෙන ශූද්ධ වූ ජලය පානය කරන්න කියලා ඒක ඉතාම අනතුරුදායකයි. ඒක සනීපාරක්ශාව පිළිබඳව ගැටලුවක් මිසක් ආගම පිළිබඳ ගැටලුවක් නොවෙයි. ඒ නිසා මම ස්ථිරවම කියන්නේ සිද්ධස්ථාන ජල සැපයුම ඉක්මනින්ම පිරිසිදු කල යුතුයි. එහෙම කලොත් දේවස්ථානෙ පිලිවෙත් පවත්වාගෙන යාම ගැන ගැටලුවක් ඇතිවෙන්නේ නෑ.
නිසිත් : ඔබ දන්නවාද දිනකට කී දෙනෙක් මේ ශුද්ධ ජලය පානය කරනවාද කියලා?
ගුප්තා : මට ලැබුනු තොරතුරුවලට අනුව දිනකට දහසක් පමන .......
නිසිත් : ජලය නිසා හටගත් උනරෝග නිසා දිනකට රෝගීන් කී දෙනෙක් ඔබ ලඟට
එනවාද?
ගුප්තා : ඔබට ප්‍රශ්නෙ දිහා එහෙම බලන්න බෑ. මොකද මේ නගරයේ ඉන්න එකම
වෛද්‍යවරයා මම නෙවෙයි.
නිසිත් : මගේ ප්‍රශ්නෙට උත්තර දෙනවා
ගුප්තා : පසුගිය දෙසතිය පුරාවට මම රෝගීන් 150 ට පමන බෙහෙත් දුන්නා. ඒ
අයගෙන් වැඩිදෙනා මියගියා. මම කතා කරන්නෙ මා ගැන විතරයි. ඔබ අනෙක් වෛද්‍යවරුගෙනුත් මේ ගැන අහල බලන්න ඕනෙ.
නිසිත් : අපි කියමු 500 ත් විතර කියලා
ගුප්තා : ඔව්, පැහැදිලිවම
නිසිත් : පසුගිය දෙසතිය පුරාවට 15000 ක් විතරම ශූද්ධ ජලය පානය කරල
තියෙනවා..... 500ක් විතරයි ලෙඩ වෙලා තියෙන්නෙ (නිසිත් රුදුරු ලෙස සභාව ලෙස බලයි)
නිසිත් : තමුසෙ තවම විශ්වාස කරනවද ශුද්ධ ජලය පානය කිරීම මේ අසනීප වලට
හේතුව කියලා.
සභාව දොස්තර ගුප්තාට එරෙහිව දෝලනය විය. එහි සිටින්නේ නිසිත්ටම පක්ශ පිරිසකි. දොස්තර ගුප්තා ප්‍රතිශක්තිකරනය ගැන පැහැදිලි කරන්නට ප්‍රථම විරෝධතාව වේගවත් වී තිබිණි. අවසානයේ සභාව තුල සිටින බහුතර මතය ජයග්‍රහනය කරයි. දොස්තර ගුප්තා ජන හතුරකු බවට පත්වෙයි. සභාව තුලින්ම දොස්තර ගුප්තාට එරෙහිව විරෝධ පැමිනේ. සිය දියනියගේ රැකියාව අහිමි වී ඇත. නාට්‍යකරුවකු වන ඔහුගේ බෑනාගේ නාට්‍ය කන්ඩායමේ සගයන් සමඟ පිරිසක් දොස්තර ගුප්තාගේ නිවසේ පිටත සිට ඔහුට පක්ෂපාතීව සටන් පාඨ කියනු ඇසේ.
දේශපාලන බල ව්‍යාපෘති ශක්තිමත් කර ගැනීම අරබයා අන්ධ ආගමික භක්තිය ගසා කෑම සඳහා සිනමාවේ දී දැකිය හැකි හොඳම නිදර්ශනයකි මෙම සිනමා කෘතිය. උග්‍ර සෞඛ්‍ය ගැටලුවක් හා ආගමික ඇදහීමක් මුවා කොට ගෙන දේශපාලන බලාධිකාරියක බලවතුන් ගේ අවශ්‍යතාවය වෙනුවෙන් ඇතිවූ ගැටුමකි චිත්‍රපටයේ තේමාව වන්නේ. ජනතාවගේ මිතුරකු වූ වෛද්‍යවරයා ‘ජන හතුරා’ වෙයි. ආගමික ඇදහීම් ගසා කමින් මාධ්‍යකරුවන් නාට්‍ය කරුවන් ආගමික උන්මාදයෙන් පෙලෙන්නන් ආදී වශයෙන් මුදල් දී නතු කර ගත හැකි සියලු දෙනා දේශපාලන බලය විසින් යටත් කර ගන්නා සැටි ‘ජනහතුරා’ හී මනා සේ නිරූපිතය.
දලදා මාලිගයට දකුනු පසින් දිවෙන මාර්ගය පිලිබඳ ගැටලුව සමඟ මෙම කථාව සසඳා බලන්න. එවැනි චරිත අද ද නිරෝගී සුවයෙන් වැඩ වාසය කරති. ආගමික සිද්ධස්ථානයක් ප්‍රජා පීඩක ආයතනයක් බවට පත්වන්නේ නම් වරද කාගෙද?
Comments
Post a Comment