තාරකා වරාපිටිය
අපේ රට වැනි සමාජයක සංස්කෘතිය චින්තනය හෝ සාමාන්‍ය විචාර බුද්ධිය සකස් වන්නේ බොහෝ දුරට මධ්‍යම පාන්තික සමාජ ස්ථරයේ චින්තනයේ හැඩරුව අනුවයි. සමාජ දේශපාලන සංස්කෘතික දෘෂ්ටිවාදයන් සාමාන්‍ය පොදු ප්‍රජාව තුල සමාජගත වන්නේ මෙම ස්ථරයේ ඒ දේවල් අනුකරණය කරමිනි.
එනිසා 80 දශකයේ මැද භාගය වන තෙක් අපේ මධ්‍යම පන්තියේ පැවති දෘෂ්ටිවාදයන් සෙසු පොදු සමාජය කෙරෙහි බලපෑ ආකාරයත් ඉන් අනතුරුව එම තත්වය වෙනස්වූ ආකාරයත් සාකච්ඡා කිරිම වටී.
අපේ රටේ ස්වදේශික ධනපති පන්තියක් නොවු බැවින් (ඒ වෙනුවට ධනය රැස්කරන ජාවාරම්කාර පන්තියක් පමණක් සීටීම නිසා) පෙරලා එයද මෙකී මධ්‍යම පන්තියේ ගුණාත්මක බව කෙරෙහි බලපාන්නට ඇත. අනෙක් අතට අපට අපේ අසල්වැසි ඉන්දියාවට මෙන් මහා පුරුෂයින් (තාගෝර්, නේරු, අම්බෙඞ්කාර්, ගාන්ධි වැනි) නොසිටි නිසා පරමාදර්ශ අහේනියක්ද බලපෑවේය.
80 දශකයේ මැද භාගයට පෙරාතුව අපේ පහල මධ්‍යම පන්තියේ සංස්කෘතික විලාසිතාව, සංස්කෘතික අනුකරණය පහත පරිදි නිරීක්ෂණය කල හැකිය. “ඔහු” තම අනන්‍යතාවය තුලට යම් සම්භාව්‍ය ගාම්භීරත්වයක් එකතුකර ගන්නට උත්සාහ දරුවේය. එය එක්තරා දුරකට සමාජයේ විචාරශීලිත්වය ඔසවා තබන්නට ඉවහල් වූයේය. මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍ර පණ්ඩිත් අමරදේව, මාටින් වික්‍රමසිංහ, වල්පොල රාහුල හිමි, මාහාචාර්ය සිරි ගුනසිංහ එකල මධ්‍යම පන්තියේ සංස්කෘතික වීරයින් විය. ඔවුන්ගේ නාට්‍යයක්, ගීතයක් නවකතාවක් සමාජ විචාරයක් චිත්‍රපටයක් අතහැරීම එම සම්භාව්‍ය අනන්‍යතාවය අත්හැරීමක් වැනි විය. එමෙන්ම එවැනි නිර්මාණ ඇසුරු කිරීමෙන් අනතුරුව ඒ අරබයා වන යම්කිසි විචාරයකට / සංවාදයකට හවුල්වීමට නැඹුරුවක් ද තිබුණි. එය විසින් මෙම මධ්‍යම පාන්තික සමාජ ස්ථරයට යම් විචාරශීලී සමාජ අවබෝධයක් අත්පත් කරගත හැකි වුනි. අඩුම තරමින් එවන් පෙළඹ වීමක් පැවතුනි. ආගම විසින් එවකට මධ්‍යම පන්තියේ සංස්කෘතික ජීවිතය අද මෙන් අත් අඩංගුවට ගෙන නොතිබුණි. අද අපේ මධ්‍යම පන්තියේ ආගමික වතාවත්ය. එහි කිසිම අධ්‍යාත්මික ගැඹුරක් හෝ සදාචාරාත්මක වටිනාකමක් පවා නොමැති බව පැහැදිලි නිරීක්ෂණය කල හැක. (එවකට සිටි දේශපාලන චරිතද අදට වඩා යම් ශික්ෂණයක් ඇති අය වීමද තවත් කරුණකි)
මේ වන විට ටෙලිවිෂන් චැනල වල වසංගතයක් සේ උතුරා යන, අවර ගනයේ මෙන්ම මිථ්‍යාව පාදක කොටත් යක්ෂ භූත ටෙලි නාට්‍ය අරබයා සමාජයෙන් බලවත් විරෝධයක් එල්ලවී නැත්තේ අපේ මධ්‍යම පන්තියට සමාජ අභිමතාර්ථ හෝ පුරුෂාර්ථ නොමැති නිසාය. එවැනි දෑ සමාජයේ ප්‍රගතියට අවැඩදායිය යන්න පිළිබඳව සවිඥානික නොවන නිෂ්ක්‍රීය උගතුන් අපට සිටින නිසාය. රසඥතාවය අවරසිකත්වය තුල ගිලී ගොස් ඇති නිසාය. එකී ටෙලිනාට්‍ය පුරා තිබෙන අඬදබර, කුමන්ත්‍රණ, මීනීමැරුම් දුෂ්ටත්වය පුනපුනා අසන්නට නරඹන්නට වීම තුලින් ටෙලිවිෂන් ප්‍රේක්ඔකයා අවමානුෂික සත්වයෙකු බවට කෙමෙන් කෙමෙන් පත්කරයි. සමාජය කෙරෙහි නරක ප්‍රතිවිපාක උදා කරන මෙවැනි ජනමාධ්‍ය භාවිතාවන් කෙරෙහි ශිෂ්ට ප්‍රමිතියක් ගෙන ඒමට ක්‍රියාත්මක වන සමාජ බලවේගයක් නොමැත. සැබවින්ම ළමා මනෝවිද්‍යාව පිළිබඳ මානයෙන් ගත්කල මුඛයෙන් ලේ වෑහෙන ළමුන් යොදාගෙන ඉදිරිපත් කරන ටෙලිනාට්‍ය අරබයා ළමාරක්ෂක අධිකාරිය ක්‍රියාත්මක වියයුතුය යන්න අපගේ අවබෝධයයි.
දෙමළ ජාතික ගැටලුව විසින් බිහිකළ සිවිල් යුධ තත්වය හේතුවෙන් සමාජයේ වාර්ගික බෙදීමක් ඇතිවීම හා 80 දශකයේ අවසානයත් සමඟ පැවති සමාජවාදී රාස්ට්‍ර පද්ධතිය බිඳ වැටීමත් සමඟ “සමාජවාදී” පරමාදර්ශ අහිමි වන්නේ අපේ මධ්‍යම පන්තිය ජාතිවාදී / ජාතිකවාදී දෘශ්ටිවාදයන්ට ගොදුරු වීමත් සමඟ නිසගයෙන් සමාජයක් හෙලනුයේ අවිචාරශීලිත්වය කරාය. පෙර පැවති වාමංශික නැඹුරුව තුල වාර්ගික, ආගමික බෙදීම් ඇති කිරීමට ඇති මනෝ භාවයන් දුර්වල කරන ලදී. එම දේශපාලන පරමාදර්ශ ඉදිරී යාමත් සමඟ ඇතිවූ දෘෂ්ටිවාදී රික්තය තුල මතුවුයේ ජාතිකවාදය, ජාතිවාදය හා අවිචාරී බවයි. ඒ ජාතිවාදය, මිථ්‍යාව හා අතීතකාමය පෙර මෙන් (ප්‍රවේනික ඒවා නොව) නොව “නවීකරණය” කරන ලද අගතීන් වෙයි. එම නවීකාරකත්වයම මධ්‍යම පන්තිය ආකර්ෂණය කරගැනීමට ඉවහල් වුනි.
ඒ අනුව අද අපේ රටේ මිථ්‍යාව ආධානග්‍රාහිත්වය හා අවිචාරය මෙතරම් සමාජ බලයක් අත්පත් කරගෙන ඇත්තේ මේ තත්වයේ අවසාන ඵලය ලෙසයි. සමාජයේ පරිවාරයේ පැවති මිථ්‍යාව සමස්ත රාජ්‍ය පද්ධතියේ කේන්ද්‍රය ආක්‍රමණය කිරීම මෙහි අවසාන ඛේදවාචකයයි. පන්නිපිටියේ මහා මාර්ගය හරස්කොට වැඩුණු බෝ ගස ඉවත් කිරීමට බලගතු ආණ්ඩුවට පවා හැකියාවක් නැත්තේ මිථ්‍යාව හා අවිචාරය විසින් “අවු`ඵවා ලිය හැක” අ`ඵයට ගිනි වැනි භයානක අගතීන් අපේ සමාජයේ පවතින බැවිනි. විශාල මාර්ග තදබදයක් නිර්මාණය කරමින් මහජන සෞඛ්‍යයට තර්ජනයක් උදා කොට ඇති මහනුවර දළදා මාලිගාව ඉදිරිපිට වසා දමා ඇති 26 මාර්ගය විවෘත කිරීමට නොහැක්කේ දළදා මාලිගයට අගෞරවයක් වන නිසා නොව එසේ කළහොත් (මෙතෙක් කල් එකී මාර්ගය වඩා තිබීම තුලින් අලුතින් අත්කරගත් අධිපත්‍යයට) ප්‍රභූ බෞද්ධ ආධිපත්‍යයට පරාජයක් වේ යැයි වන මුග්ධ අවිචාරීත්වය නිසාය. මාර්ගය මෑතකදී වසා දමන තෙක් එය විවෘතව තිබීම දළදාවට අගෞරවයක් වුනිද යන ප්‍රාථමික තර්කයවත් මේ ආගමික ප්‍රභූන් හට පහල නොවේ.
වල්පොල රාහුල වැනි විචාරශීලි යතිවරුන් අද නොමැතිවීම පොදු බෞද්ධ සමාජයට හෝ හුදී ජනයාට කනගාටුවට කාරණයක් නොවන්නේ ඒ රික්තය පුරවන, ආගමික කානිවල් පවත්වන පියකරු සුකොමල හිමිවරුන් කෙරෙහි සමාජයේ හා උපාසිකාවන්ගේ පවතින ඉල්ලුම නිසාය. දිනෙන් දින උත්සන්න වන අවිචාරය, අවරසිකත්වය, ජාතිවාදය, මෝඩ භක්තිය හා අපේ රට ගිලගන්න ලෝකයම කුමන්ත්‍රණය කරමින් සිටින්නේය යන ක්ෂේනෆෝබියා නම් මානසික විකෘතිය විසින් ජනිත කරන දේශපාලන අරාජිකත්වය ආදිය විසින් රටකට උදාකළ හැකි විපාකය ඉතා භයානකය.
කෙසේමුත් අඳුරු වලාවේ ඇති රිදී රේඛාවක් සේ, පවතින මෙම අවිචාරි සමාජ මනෝභාවයට එරෙහිව යම් ක්‍රියාකාරිත්වයක් බිහිවෙමින් ඇත. එය මේ පසුගාමී ප්‍රවාහය අභිබවා යන්නට නොව අලගු තැබීමට වත් ප්‍රමාණවත් නොමැති වුවත් මේ අවිචාරිත්වය දරාගත නොහැකි අප වැනි සු`ඵතරයක අයට නම් පහන් සංවේගය උපදවන්නකි.
Comments
Post a Comment