පිළිකාව පිළිබඳව ඉතිහාස සටහනක්


වෛද්‍ය සේන ද සිල්වා  -

පිළිකා රෝගීන්ගේ සංඛ්‍යාවේ වැඩිවීමක් ලොවපුරා දැන් දක්නට ඇත. බොහෝ දෙනෙකුගේ මතය වී ඇත්තේ මෙය දැනට අප ජීවත්වන නවයුගයේ රෝගී තත්වයක් බවය. මෙය සැබවින්ම සත්‍යක්ද? ඉතිහාසයේ පිළිකාව ගැන සඳහන් වේද?  විමසා බලමු.

පිළිකාව පිළිබඳව සටහන් වී ඇති පලමු වාර්තාව ලැබෙන්නේ මෙයට වසර 3500 කට පමණ පෙර ලියන ලද ඊජිප්තුවේ පැපිරස් පතකිනි. මෙම විස්තර අඩංගු පැපිරස් පත එඞ්මන් ස්මිත් නැමැති ඇමෙරිකානු ජාතිකයා විසින් 1862 දී ලබාගන්නා ලදී. එය ලියවී තිබුණේ හිරැටික් නම් වූ භාෂාවකිනි. එඞ්මන් ස්මිත් පැපිරස් පත ලෙස හඳුන්වන මෙය 1930 දී පරිවර්තනය කරගත හැකිවිය.

මෙම ලේඛනය ඊජිප්තුවේ විසූ  ඉම්හෝටෙප් නැමැති වෛද්‍යවරයා ලියා ඇති බවට සැලැකෙයි. ඔහු එකල ඊජිප්තුවේ ප්‍රධාන වෛද්‍යවරයා ලෙස කටයුතු කල අතර ගෘහනිර්මාණ ශිල්පයෙහිද නිපුනතාවයක් දැක්වූ අයෙකු විය. පියගැට සහිත පිරමීඩය ඔහුගේ නිර්මාණයකි. තවද එකල ප්‍රධාන පූජකවරයා ලෙස කටයුතු කළ හෙතෙම මරණින් පසු දේවත්වයේ ලා සැලකීමද සිදුවී තිබේ. මෙම වකවානුවේ ලියා ඇති පැපිරස් ලේඛන වල මැජික් සහ මිථ්‍යා මතවලට ප්‍රධාන තැනක් දී තිබුණද මෙම ලේඛනයේ එවැනි වූ දේවල් ලියවී නැත.
රෝගීන් 48 ක් පිළිබඳව වාර්තා එහි සඳහන් වී තිබේ. මෙම වාර්තා බොහොමයක සඳහන්ව ඇත්තේ ශරීරවලට සිදුවූ තුවාල පිළිබඳවය. හිස, ගෙල සහ කඳ පිළිබඳව පිළිවෙලින් ලියා ඇති වාර්තා නූතන වෛද්‍යවරුන්ගේ සටහන් වලට බොහෝ දුරට සමානය. රෝගියාගේ නිරික්ෂණය කරන ලද ලක්ෂණ, නාඩි වැටීම් ආදිය පිළිබඳව පැහැදිලිව සටහන් කර ඇති අතර කරන ලද ප්‍රතිකාර ගැනද විස්තර ලියා ඇත. ප්‍රතිකාර කල හැකි මෙන්ම කල නොහැකි තත්වයන් පිළිබඳව ඔහු අදහස් දක්වා ඇත.

ප්‍රතිකාර අතර, තුවාල පිරිසිදු කිරීම, මැහුම් දැමීම, වෙලුම්පටි දැමීම, උණුසුම් ආලේපන යොදා ගැනීම පිළිබඳව විස්තර පැහැදිලිව දක්වා ඇත. තවද අත් පාවල අස්ථි බිඳුම්, කොඳු ඇට පෙලට සිදුවන අනතුරු සහ හිස ප්‍රදේශයේ තුවාල වලදී අදාල ශරිරකොටස් නොසෙල්වී තැබිය යුතු අකාරයන් පිළිබඳව වන විස්තරද සටහන් කොට ඇත.ශරීරයේ කොටස් නිර්මාණය වී ඇති ආකාරයද ඒවායේ ක්‍රියාකාරීත්වය පිළිබඳව ද සෑහෙන දැනුමක් රචකයාට තිබුණු බව පෙනෙන්නට තිබේ. මෙහිදී විශේෂයෙන් සැලකිය යුතු කරුණක් වන්නේ හිස් කබල තුළ ඇති අවයව පිළිබඳව පැහැදිලි විස්තර අඩංගු වීමය. මොළය සහ එහි ආවරණය වන මෙනින්ජිය පටලද, මෂ්තිෂ්ක, සුසුම්නා තරලය පිළිබඳව විස්තරද දක්වා ඇත. මෙම විස්තර වලට අනුව එකල ඊජිප්තුවේ තිබූ වෛද්‍ය විද්‍යා දැනුම එයින් වසර 1000 කට පසු ග්‍රීසියේ සිටි හිපොක්‍රටිස්ගේ දැනුමට වඩා ඉහලින් තිබූ බව පෙනියයි.

මෙහිදී කැපී පෙනෙන දේ ලෙස සැලකිය හැකිවන්නේ “මොළය” යන අවයවයට ලිඛිත වචනයක් කිසියම් භාෂාවකින් භාවිතාවූ ප්‍රථම අවස්ථාව මෙය වීමය. මෙයට වසර දහස් ගණනකට පසු ලියවුණු බයිබලයේ හෝ කොරානයේ “මොළය” යන වචනය එක් වතාවක් හෝ සඳහන් වී නොතිබීම මෙහිදී සැලකිල්ලට ගත යුතුය.
මෘදු ඉන්ද්‍රියන්ගේ රෝග පිළිබඳව සටහන් පහක් එහි ඇති අතර ඉන් එකක පියයුරක් මත නෙරා ඇවිත් තිබුණු “ගෙඩියක්” පිළිබඳව විස්තරයක් ඇත. එම ගෙඩිය පපුවේ සෑහෙන ප්‍රදේශයක් හරහා පැතිරගොස් තිබූ බවත්, ඇල්ලූවිට දැනෙන්නේ සිසිල් ගතියක් බවත් සඳහන්ය. එය බොහෝදුරට පියයුරු පිළිකාවක ලක්ෂණ පිළිබිඹු කරයි. සෑම ආසාදනයකදීම එයට අදාල ප්‍රතිකාර ඔහු සඳහන් කොට ඇති නමුත් මෙම පපු ප්‍රදේශයේ වූ ගෙඩියට කිසිදු ප්‍රතිකාරයක් ගැන සඳහන් නොවීමද විශේෂ කරුණකි. එයින් අදහස්වන්නේ එවැනි තත්වයකට කලහැකි ප්‍රතිකාරයක් ගැන එකල නොදැන සිටීම විය යුතුය.


Comments