පෝයදාට වහින කතාව ඇත්තක්ද?


හිටපු කාලගුණ විද්‍යා අධ්‍යක්ෂ කාලගුණ විද්‍යාඥ කේ. ආර්. අභයසිංහ

“හෙට පෝය නිසා වහීවි” යයි පසළොස්වක පොහෝ දිනය හා වර්ෂාව අතර දැඩි සබඳතාවයක් ගෙනහැර පාමින් බොහෝ අය කතාකරනු නිතර ඇසිය හැකිය- පුරපසළොස්වක පොහොයත් වර්ෂාවත් අතර බොහෝ අය විශ්වාස කරන ආකාරයේ එවැනි සබඳතාවයක් කාලගුණ විද්‍යානුකූලව පවතීද? 

පුරපසළොස්වක ලබන්නේ නැතිනම් පුරසඳ පායන්නේ ලංකාවට පමණක් නොවේ. ලංකාවේ ජීවත්වන අයට පුරහඳ දැකගන්නට ලැබෙන ආකාරයටම සමකය ආසන්නයේ තවත් බොහෝ රටවල ජීවත්වන්නන්ටද පුර හඳ දැකිය හැකිය. ඒ අතර වැස්සක් ඇහැකටවත් දැකගත නොහැකි මැද පෙරදිග කාන්තාර ප්‍රදේශවලට, කිලෝමීටර් සිය ගණනක් පුරා පැතිරුණු ඕස්ටේ්‍රලියානු කාන්තාර ප්‍රදේශවලට මෙන්ම ඇමෙරිකාවේ ඩෙන්වර් වැනි ප්‍රදේශවලටද මාසයේ යම් යම් දිනවලදී පුරහඳ උදාවෙයි. එසේ නම් පුරහඳ උදාවන දිනය, ලංකාවේ අපි පුරපසළොස්වක පොහෝ දිනය ලෙස හා ලෝකයේ වෙනත් රටවල Full Moon Day ලෙස හැඳින්වෙන දිනයේ ලෝකයේ සෑම රටකටම වැසි ඇද හැලිය යුතුය. එහෙත් අපේම රටේ පවා යම් යම් ප්‍රදේශවලට වැසි ඇද හැලෙද්දී කාලාන්තරයක් පුරා වැසි බිඳක් නොලැබීමෙන් ලැව්ගිනි පවා ඇතිවන ප්‍රදේශද එමටය.

පුරහඳ උදාවීමේ සම්භාවිතාවය දින 30කට හෝ 31කට එක් දිනක් වන සම්භාවිතාවක පවතී. එය සිදු නොවන පැත්තට වඩා සිදුවන පැත්තට බර තත්ත්වයකි. ඒ අනුව අතීතයේදීද පුර පොහෝ දිනවලදීද ඕනෑ තරම් වැසි ඇද හැලෙන්නට ඇත. එවැනි වැසි ඇද හැලීම් අමතක නොවන අවස්ථාවන් හා සම්බන්ධව පැවතීම මත වැස්ස හා පොහොය අතර සම්බන්ධතාවයක් ඇතැයි යන මතයක් ගොඩනංවන්නට හේතු වන්නට ඇත.

අතීතයේ බුදුන් දවස ධර්ම දේශනාවන් සඳහා බොහෝ පිරිසක් එක්රැස්වීමට පුරුදු වූයේ පුරපසළොස්වක පොහෝ දිනවලය. අද මෙන් රාත්‍රී කාලයේදී ආලෝකය උත්පාදනය කර ගැනීමට ක්‍රමෝපායන් නොතිබි එදා පුරපසළොස්වක දා ස්වභාවික ආලෝකය රාත්‍රී ගමන් බිමන් සඳහා බොහෝ පිරිස් පහසුවක් කර ගත්හ. එලෙස බොහෝ පිරිස් එක්රැස් වූ දිනවලදී ඒ අය අපහසුතාවයට පත් කරමින් වැසි ඇදහැලුන විට ඒ සිදුවීම බොහෝ අයගේ මතකයේ රැඳුණු සංසිද්ධියක් වීම ස්වභාවිකය. පොහෝ දිනවලදී වැසි ඇද හැලෙනවා යැයි මතයක් ගොඩනැගීමට ප්‍රධාන හේතු සාධකයක් වන්නට ඇත්තේද එය විය හැකිය.

සුළං හමන දිශාව, සුළඟේ වේගය, වාතයේ ඇති ජල වාෂ්ප ප්‍රමාණය, සංවහන ක්‍රියාවලිය මෙන්ම කඳුකර ආවරණය (කන්ද හරහා වැදී ඉහළ යාමෙන් නිර්මාණය වන වලා) වැනි වර්ෂාවක් නිර්මාණය වන්නට බලපාන සාධක සපිරූ පොහෝ දිනක මෙන්ම අමාවක දිනයකදීද වැසි ඇතිවිය හැකිය. පොහෝ දිනවලදී වහිනවාය යන මතය එක් රාත්‍රියක කෝටි ගණනක් සිහින දකිද්දී පසුදින ඉන් එකක් ඇත්තක් වූ විට දකින සිහින සියල්ල සැබෑවන බවට විශ්වාස කරනවාට නොදෙවෙනි නොවන්නකි.


Comments