හඬන ළමයාගේ චිත්‍රයේ ශාපය


1985 සැප්තැම්බර් මස දී එංගලන්තයේ දකුණු යෝක්ෂයර් ප්‍රාන්තයේ එක් යුවලක් පදිංචිව සිටි නිවෙසක් ගින්නෙන් අළුවිය.  මුළුතැන්ගෙයින් හටගත් එම ගින්න සුළු වේලාවකින් මුළු නිවෙසටම පැතිර යන ලදී. එම නිවසේ එක බිත්තියක එල්ලා තිබුණු අඬන ළමයෙක් දැක්වෙන චිත්‍රය කිසිදු උපද්‍රවයකින් තොරව තිබෙනු දක්නට ලැබුණි. දුක්බර මුහුණක් ඇති දරුවෙකුගේ රුව එහි විය. ඔහුගේ හිසකෙස් අවුල්ව තිබුණු අතර දුක් සහගත ඇස්වලින් කඳුලු ගලායන ලෙසට එය චිත්‍රයට නගා තිබුණි. ගින්න මැඩලීමට පැමිණි එක් ගිනි නිවන හමුදා භටයෙක් තවත් ගිනි ගැනීම් කිහිපයකදීම මෙම චිත්‍රය මෙලෙසම නිරුපද්‍රිතව තිබුණු බව තමන් විසින් දැක තිබුණු බව පැවසීය. එම සිද්ධිය සහ ගිනි නිවන භටයාගේ ප්‍රකාශය සංවේදී පුවත් පලකිරීමට නමක් දරා සිටි ‘සන්’ නමැති ටැබ්ලොයිඞ් පුවත්පතක පලවිය. ඉතා සුළු කලකින් මෙම පුවත මහා බි්‍රතාන්‍ය පුරා පැතිර ගියේය- ‘සන්’ පුවත්පතට මෙවැනි සිදුවීම් පිළිබඳව අත්දැකීම් ලත් පාඨකයන්ගේ ලිපි ගලා එන්නට විය. 1960 සහ 70 අතර මෙම චිත්‍රයේ පිටපත් දස දහස් ගණනක් බි්‍රතාන්‍යයේදී අලෙවි විය. මෙම ජනප්‍රිය චිත්‍රයේ චිත්‍ර ශිල්පියාගේ අත්සන සඳහන් වූයේ ජී. බැගොලීන් ලෙසය. මෙය ස්පාඤ්ඤය හෝ ඉතාලි සම්භවයක් ඇති නමක් වූ අතර චිත්‍ර ශිල්පියාගේ වතගොත සෙවීමට වාර්තාකරුවෝ උනන්දු වූහ.

කෙසේ වුවද නියම චිත්‍ර ශිල්පියා සොයා ගැනීමට නොහැකි විය. එනමුත් ඔහු පිළිබඳ විවිධ විස්තරවල නම් අඩුවක් නොවීය. එක් වාර්තාවකට අනුව චිත්‍රයට නිරූපනය ලබාදුන් දරුවාට ශිල්පියා කෲර ලෙස සලකා ඇති බවත් එම නිසා ඔහු දුකෙන් සිටි බවත් සටහන් විය. දරුවා ශිල්පියාගෙන් පලිගත්තේ ශාප කිරීමෙනි. එම ශාපය ගිනිගැනීම්වලට “හේතුව” විය.

තවත් වාර්තාවකට අනුව ඔහු ස්පාඤ්ඤයේ මැඞ්රිඞ් නුවර වීදි දරුවෙකි. ඔහු කිසි විටෙක කථා කලේ නැත. සිටියේ තදබල දුකකින් පෙලෙමිනි. දරුවාගේ ඉරියව් දුටු චිත්‍ර ශිල්පියා ඔහු චිත්‍රයකට නැගීය. චිත්‍රය දුටු එක් කතෝලික පූජකවරයෙකු ශිල්පියාට පැවසුවේ තමා මේ දරුවාගේ වගතුග හොඳින් දන්නා බවය. දෙමාපියන් ඇතුලේ සිටියදී ඔහු සිටි නිවෙස ගින්නෙන් විනාශ විය. දරුවා නිවසෙන් පැන දිවි බේරාගත් නමුත් සිය දෙමව්පියන්ට වූ විපතින් ඔහු දැඩිලෙස කම්පනයට පත් වී ඇත. ඔහු යන තැන්වල අද්භූත ලෙස ගිනිගැනීම් ඇතිවූ බැවින් ඔහුට ‘යක්ෂයා’ නමින් නම් කරනු ලැබිය. කාරණා එසේ බැවින් ඔහු නිරූපනයට යොදා ගන්නා ලෙස ඔහු සමග කිසිදු සබඳතාවයක් ඇතිකර නොගන්නා ලෙසත් ශිල්පියාට අවවාද කොට ඇත. එම අවවාද පිළිනොගත් කලාකරුවා ඔහු දරුකමට හදාගත්තේය. ‘අඬන ළමයාගේ’ චිත්‍රවලට යහපත් ඉල්ලුමක් තිබුණු අතර සිත්තරාගේ ආදායමද සරුවිය. කලක් ගතවූ පසු ඔහුගේ චිත්‍රාගාරය ගින්නකින් අළුවී ගියේය. දරුවා ආගිය අතක් නොවීය. අවුරුදු ගණනකට පසුව රිය අනතුරකින් මියගිය 17 හැවිරදි තරුණයෙක් එම දරුවා බවට හඳුනාගනු ලැබීය.

මෙම සිද්ධිය පිළිබඳව සමාජය තුළ ඇති වූ ඉමහත් සංත්‍රාසය හේතු කොටගෙන දකුණු යෝක්ෂයර් ගිනි නිවන සේවයට ප්‍රකාශයක් නිකුත් කිරීමට සිදු විය. එහි සටහන් වූයේ ඇතිවූ ගිනි ගැනීම් සහ මෙම චිත්‍රය අතර සම්බන්ධයක් ඔවුනට තහවුරු වී නොමැති බවය- ගිනිගත් නිවාසවල ගින්න ඇතිවීමට වූ පැහැදිලි හේතු ඔවුන් සොයාගෙන ඇති අතර ඉන් එකක්වත් මෙම චිත්‍රයට ආසන්නව හෝ සම්බන්ධව නොමැති බව ප්‍රත්‍යක්ෂ බවය. තවද මෙම චිත්‍ර අටවා තිබුණේ පහසුවෙන් ගිනි ගන්නා හාඞ්බෝඞ් වර්ගයක පසුබිමක නිසා ගින්නෙන් හානිවීමෙන් වැළකුණු බවත්ය.

එහෙත් ‘සන්’ පුවත්පත එතනින් නතර නොවී එම වර්ගයේ චිත්‍ර 2500 ක් එකතුකොට ඒවා ගිනිබත් කිරීමේ සංදර්ශනයක්ද සංවිධානය කරන ලදී. පසුව ක්‍රමයෙන් සංත්‍රාසය අඩුවූ නමුත් මෙම චිත්‍රය පිළිබඳවූ අයහපත් සංකල්පය ලොව පුරා පැතිරෙන්නට විය.  

මෙම චිත්‍රයේ නිර්මාතෘ පිළිබඳව සත්‍යය හෙලිවූයේ 2009 දීය. මැසිමෝ පාලිඩොරෝ නැමැති ඉතාලි ජාතික හේතුවාදියා විසින් ඉතාලියේ සඟරාවකට මෙම චිත්‍රය පිළිබඳව ලියූ ලිපියක් දුටු පාඨකයෙක් ඔහුට ලිපියක් එවනු ලැබීය. අන්තෝනියෝ කැස්ටලාටෝ නම් වූ ඔහු කියා සිටියේ ඉතාලියේ පාඩුවා නගරයේ වෙසෙන තමා මෙම චිත්‍ර ශිල්පියා හොඳින් දැන සිටි බවය. සිත්තරාගේ නම බෲනෝ අමන්ඩියෝ බවත් වසර 10 ක් ඔහු තමා ගේ අසල්වැසියා  ලෙස ජීවත් වූ බවත් ප්‍රකාශ කළේය. බෲනෝ ඉතා දක්ෂ චිත්‍ර ශිල්පියෙකු මෙන්ම කරුණාවන්ත ප්‍රසන්න පුද්ගලයෙකුද විය.

වැනීසියේ චිත්‍ර ඇකඩමියේ ආචාර්යවරයෙකු ලෙසද ඔහු සේවය කර ඇත. ඔහු අතින් කලාත්මක චිත්‍ර රාශියක් බිහි වූ අතර ‘අඬන ළමයා’ද ඉන් එකකි- ඇත්ත වශයෙන්ම “අඬන ළමයා” ඔහු ප්‍රිය කළ චිත්‍රයක් නොවීය. එහෙත් ඔහුගේ චිත්‍රවලින් වඩාත්ම ඉල්ලුම තිබුනේ එයටය- එම නිසා එම චිත්‍රය ඔහු බොහෝ වාරයක් චිත්‍රයට නැගීය. එයට තිබූ අකමැත්ත නිසා එහි ඔහු අත්සන් කළේ ව්‍යාජ නාමයකිනි. මෙම චිත්‍රයේ මුල් පිටපතකට දැනට ඇමෙරිකානු ඩොලර් 3500 ක් පමණ වූ මිලක් අයකෙරේ. 1981 දී වයස 71 ක් වූ බෲනෝ ගලනාලයේ අබාධයකින් මිය ගියේය' මිය යෑමට ප්‍රථම ඔහු සිටි නිවස සහ ඉතුරු සිතුවම්ද අසල්වැසි අන්තෝනියෝට විකුණනු ලැබීය.

මෙම චිත්‍රය ලංකාවේද ජනප්‍රියව ඇත. නිවෙස්වල ඇති මෙම චිත්‍රය ගෙදර තබා ගැනීමට නුසුදුසු බව ඇතැම් විට ඔබද අසා ඇත.

මාධ්‍යකරුවන් ජනතාවගේ ආවේගය සහ සංත්‍රාසය ප්‍රයෝජනයට ගනිමින් තම ප්‍රකාශනවල ජනප්‍රිය භාවය සහ අලෙවිය වර්ධනය කර ගනිමින් මුදල් හඹා යන ආකාරය තේරුම්ගැනීමට මෙම “අඬන දරුවා” කදිම නිදර්ශනයක් නොවන්නේද?

Comments