Posted by
Dilshan Sanjeewa
on
- Get link
- X
- Other Apps
කවුරුන් ඉදි කළේද තිබස් හි දොරටු සත
රජුන්ගේ නම් වලින් පිරී පවතී පොත්
වෙර යොදා ඇදගෙන ආවේ පර්වත බඳු
ඒ යෝධ ගල් කුට්ටි රජවරුන් විසින්මද?
කීවතාවක් නම් වැනසුනිද බැබ්ලෝනියාව?
ඉදි කළේ කවුරුන්ද පුරවරය එහැම වාරයකම
රනින් දිදුලන නගරයෙහි ලීමා
ඉදි කෙරුණු යසමහ මැදුරු තුළ
විසුවේ පුඟුලන්ද ඒවා ඉදි කළ ?
සැඳෑවේ නිමකෙරුන පසු ඉදිකර චීන මහ පවුර
කොහි ගියෙද එය තැනූ පෙදරේරුවන් සැම?
පිරීඇත්නම් තොරණ සමරන්ට විජයග්රහණ
රෝම අධිරාජ්‍ය තුළ
කවුරුන්ද නඟා සිට වූයේ එය යළිත්?
ජයගත්තේ සීසර් කවුරුන්ගේ උරමත නැගිලාද?
දිවිගෙවයි බයිසන්තියම යහතින් සෙමෙන්
සියල්ලම වේද එහි නිවෙස් මාළිගාවන්
පුරාතනයෙහි එන ඇම්ලන් ටිසයෙහි පවා
ගොඩගලයි රැයෙහි මහ සාගරය
ජල කඳෙහි ගිලී යන මිනිසුන් මොර දෙන්නේ තවමත්
වහලුන් ගැනයි අහිමි වී යන තමනට
ඇලෙක්සැන්ඩර් තරුණ දිග් විජය කළේ දඹදිව
ඒත් ඔහු තනිවමද?
පරාජය කළේ සීසර් ගෝල්වරු
නොසිටියේද අඩු ගණනේ අරක්කැමියෙක් වත්
හමුදාව තුළ ඔහුගේ?
පිලිප් ස්පාඤ්ඤයේ සැලුවේය දෙනෙතින් කඳු`ඵ
ගිලී වැනසෙද්දී සයුරෙහි ඔහුගේ බළ ඇණිය නාවික
නොවූයේද වෙනත් කිසි කඳු`ඵ මෙදියත?
දිනුවේය යුද්ධය මහා පෙඞ්රික් රජු සත් වසක් ගෙවුණු තැන
වෙනත් කිසිවෙක් නැද්ද ඔහු සමඟ ජයගත්ත?
ජයග්‍රහණයක් ඇත්තේ හැම පිටුවක තුළම
ඉතිහාසය පොත පුරා
බීවේ ජය පැන් තමා
කාගේ වියදම මතින්ද?
පහළ වෙයි උදාර මිනිසෙක්
සෑම දස වසරකටම වරක්
ගෙවුයේ කවුරුන්ද කලාකාරයාහට?
විස්තර අපමණය
පැණයන් අපමණය■ බර්ටෝල් බ්‍රෙෂ්ට්
■ පරිවර්තනය :සේපාල විජේසේකර
ලාංකික සමාන්‍ය රසිකයා බර්ටෝල් බ්‍රෙෂ්ට් ගැන දැනගත්තේ 60 දශකයේ හෙන්රි ජයසේනයන්ගේ හුණුවටය තුළිනි. ලෙයින් නැහැවුණු අසාධාරණය රජවුණු, ජනතාව යකඩ සපත්තුවට යටවුණු අවධියක අසඩක් ගේ අරුම පුදුම විනිශ්චය රසිකයා මවිත කළේය. ඒ තුළින් බ්‍රෙෂ්ට්ගේ මානවහිතවාදී ගුණය රසිකයා දුටුවේය.
බ්‍රෙෂ්ට් ඊනියා ඉතිහාසය දෙස යථාර්ථවාදීව බැලීමට උත්සාහගත් එක් සුවිශේෂී අවස්ථාවක් හුවා දැක්වීමට ගන්නා උත්සාහයකි මේ කෙටි සටහන. අපට උගන්වා ඇති ආකාරයට ඉතිහාසය ගොඩ නඟා ඇත්තේ අධිරාජ්‍යයන්ය. විරුවන්ය, සෙනෙවියන්ය, අපේ වංශකතා කරුවන්ද ඒ මඟම ගිය අයයි. එහෙත් ඇත්ත වශයෙන් ඉතිහාසය ගොඩ නැගුවෝ දිවි පරදුවට තබා, දහඩිය හෙළා වැඩ කළ ශ්රමිකයන්ය. ඔවුන් නොවන්නට ඊනියා විරුන්ට ඒ දස්කම් කළ හැකිව තිබුනේද? මේ තේමාව මුල් කරගෙන බර්ටෝල් බ්‍රෙෂ්ට් විසින් රචිත ‘A Worker read History’ නමැති පැදිපෙළ ඔහුගේ අමරණීය නිර්මාණයක් වෙයි. බ්‍රෙෂ්ට්ගේ මෙම පැදිපෙළ එහි ජීව ගුණය නොනසා ප්‍රවීන පරිවර්තක සේපාල විජේසේකරයන් විසින් සිංහලට නගා ඇත.
තී බස් හි මහා දොරටු හත ඉදිකළේ රජුන් යයි කීවත් ඒ සඳහා පර්වත බඳු මහා ගල් කුට්ටි වැනසුනු හැම අවස්ථාවකම නැවත ගොඩ නැගුවේ දිළිඳු ශ්රමිකයන්ය. ලීමාහි රනින් මන්දිර ඉදි කළේ පුඟුලන් වුවත් එහි විසුවෝ මහ රජුන්මය.
චීන මහා ප්‍රාකාරය ලොව පුදුම වලින් එකකි. එය නිම කළ පසු ඒ පෙදරේරුවන් අමතකය. නමක්වත් නැති ඔවුන් ලැබිය යුතු ගෞරවය අධිරාජයාටමය. සීසර් ගෝල්වරු පරදවමින් මහා රෝම අධිරාජ්‍යය ගොඩනගන විට ඔහුගේ සහායට අරක්කැමියෙක්වත් නොසිටියාද? තරුණ ඇලෙක්සැන්ඩර් දඹදිව දක්වා විජයග්‍රහණය මෙහෙයවන විට සෙබර කී දහසක් මිය යන්නට ඇද්ද? එහෙත් විරුවා ඇලෙක්සැන්ඩර්ය.
ලෝක ඉතිහාසයේ හැම පිටුවක් පාසාම ඇත්තේ මහ උන්ගේ ජයග්රහණයන්ය. එසේ වුවත් උන්ට ඒ ජයග්‍රහණවලට උර දුන්නේ පොදු ජනයාය. ඒ සඳහා වැය කළේ පොදු ජන දහඩිය, ශ්‍රමය හා මිලයි. ලක්දිව වංශකතාවේ මහ සටන් මහා ස්මාරක හා සම්බන්ධ වී ඇත්තේ රජුන්මය. මහා සෑය ආදී ගොඩගැනීම් වලදී කම්කරුවන් කොපමණ දිවි පුදන්ට ඇද්ද? සීගිරි චිත්‍ර ඇඳි අමරණීය චිත්‍ර ශිල්පියා ඒ කාර්යය කරන්නට ඇත්තේ කොතරම් අවදානමක් දරමින්ද? අවුකන පිළිමය නෙලූ කලාකරුවා පිදුරු සෙවිලි කළ මැටී පිළක සිට අත පයේ රිදුම් පිරිමැදි ආකාරය දුටු අපේ ගීත රචකයා ලෙස එදා ඔහු දෙස බැලූවෙක් වේද?
ලොව ගොඩනැඟුනේ මිනිස් ශ්‍රමය තුළිනි. යුද ජයග්‍රහණ, අමරණීය ස්මාරක සියල්ල පිටුපස ඇත්තේ කඳුලින් ලියැවුන කතාවකි. දෙවන ලෝක සංග්‍රාමයේදී පැසිස්ට් වාදය පැරදවීමට සෝවියට් රතු භටයන් ලක්ෂ ගණන් දිවිදුන් අයුරු අප දුටුවෙමු. මෙවැනි තත්වයක යථාර්ථය සියුම් ඇසකින් දැකිය හැක්කේ බර්ටෝල් බ්‍රෙෂ්ට් මෙන්ම ඔහු අනුව යන කලාකරුවකුට පමණක් මය.
Comments
Post a Comment