පූජකයන්ගේ ‘කන්ට සූත්‍රය’ - ඒ.ඩී.ගුණසේකර



මතු භවයක් ඇති බව කුඩා කාලයේ සිටම මොළයට ඇතු`ඵ කර ඇති බෞද්ධයන්ට ඉතා පහසුවෙන් සැප සම්පත් ඇති මනුෂ්‍යයකු හෝ දෙවියකු හෝ ලෙස මතු භවවලදී ඉපිද සියලු සැප සම්පත් විඳ අවසානයේදී මතු බුදු වන මෛත්‍රී බුදුන් දැක නිවන් දැකීමට ඉතා පහසු මාර්ගයක් භික්ෂුන් විසින් පෙන්වා දී ඇත. එය නම්, පුද පූජා පැවැත්වීමය. තමන්ට පින් ලබා ගැනීමටත් මිය ගිය ඥාතීන්ට පින් පැමිණවීමටත්, පුද පූජා මඟින් කළ හැකි බව අද බොහෝ බෞද්ධයන් පිළිගෙන තිබෙන බව ඒ අය කරන විවිධ පූජා අනුව පෙනේ. මෙම විවිධ පූජාවලට අලුතින් ‘කප්රුක් පූජාව’ නමැති පූජාවක් එක්ව ඇත. වෙනත් පූජාවලින් ප්‍රතිඵල ලැබෙන්නේ මතු භවවලදී වුවද, කප්රුක් පුජාවෙන් මේ භාවයේදීම සිතු පැතු සැප සම්පත් ලැබෙන බව මෙම පූජාව පවත්වන අයගේ අදහසයි.

සිතූ පැතූ සම්පත් ලබා දෙන වෘක්ෂයක් දිව්‍ය ලෝකවල ඇතැයි විශ්වාස කරන බෞද්ධයන් මෙම පූජාවෙන් මෙලොවදී ද කැමැති දේවල් ලබා ගැනීමට ඇති ආශාව නිසා මෙම පූජාවෙහි යෙදීමට උත්සාහ කරන අය ක්‍රමයෙන් වැඩි වෙමින් පවතී.

මෙම පූජාවෙන් කරන්නේ සිවුරක පැහැයෙන් යුක්ත වූ හෝ බෞද්ධ කොඩියක ස්වරූපයෙන් මුද්‍රිත වූ හෝ දිග රෙද්දක් ස්ථුපයක බඳ ප්‍රදේශය වටා එතීමය. වෙන අන්දමකට පවසනවා නම්, ස්ථූපයට වස්ත්‍රයක් ඇන්දවීමය. අප්‍රාණික ස්ථූපයකට වස්ත්‍රයක් කුමකට දැයි යන ප්‍රශ්නය බොහෝ අය නොනගන්නේ යම් ආගමික විශ්වාසයක් ප්‍රශ්න කිරීම සදාකාලිකව අපාගත වන අකුසලයක් වන මිථ්‍යාදෘෂ්ටියක් නිසා බව කුඩා කල සිටම සිත්වලට ඇතුළත් කර ඇති නිසාය.

රුවන්මැලි ස්ථූපයට කප්රුක් පූජාවක් පැවැත්වීම වැඩිම පින් සිදු කර ගත හැකි මඟක් සේ සලකන නිසා වැඩිදෙනෙකු නැඹුරු වන්නේ කෙසේ හෝ එය සිදු කිරීමටය. මේ සඳහා රෙදි මීටර 300ක් පමණ අවශ්‍ය වේ. සිවුරු පැහැයෙන් යුත් රෙදි මීටර එකක් රුපියල් 125,00 ක් පමණ වන නිසා එයට වැය වන මුදල රුපියල් 37,500.00කි. බෞද්ධ කොඩියේ වර්ණවලින් මුද්‍රණය කර ඇති රෙදි මීටර් එකක් රුපියල් 175.00ක් බැගින් ලබා ගත හැකි නිසා එම රෙද්ද සඳහා රුපියල් 52,500.00 ක් වැය වේ. බෞද්ධ කොඩියේ වර්ණවලින් ඉස්තරම් ලෙස මුද්‍රණය කර ඇති රෙදි මීටරයක් රුපියල් 225.00 ක් පමණ වන නිසා වඩාත්ම විශාල පින් ප්‍රමාණයක් ලබා ගැනීමට එය භාවිත කළහොත්, රුපියල් 67,000.00ක් පමණ වැය වේ.

එක් පුද්ගලයකුට මෙතරම් වියදමක් දැරීමට නොහැකි නිසා බොහෝ විට සිදු කෙරෙන්නේ 40 දෙනෙකු පමණ එකතු වී මෙවැනි රෙද්දක් මිල දී ගෙන බස් රථයක් කුලියට ගෙන අනුරාධපුරයට ගොස් මෙම පූජාව පැවැත්වීමය. මෙම පුජාව සඳහා ඉල්ලුම වැඩි වී ඇති නිසා ඒ සඳහා කලින් වේලාවක් ලබා ගත යුතු බව එම පුජාව පැවැත්වූ අය පවසති. සමහර විට එක් අයකු ස්ථූපය වටා ඔතා ඇති රෙද්දට උඩින් වෙනත් පිරිසකට ගෙන රෙද්ද එතීමට සිදු වන අවස්ථාද ඇතැයි පැවසේ.

මෙම පුජාව පැවැත්වීමේදී එය රැගෙන පැමිණි පිරිස එම රෙද්ද දිගහැර පෙරහැරක් සේ ඉහළට ඔසවාගෙන එන අතර, කීප දෙනෙක් ස්ථූපයේ පහළ කොටසට නැගී එම රෙද්ද ස්ථුපයේ බඳ කොටස වටා ඔතනු ලැබේ. පූජාවෙන් පසු එම රෙද්දට කුමක් වන්නේද යන්න මිථ්‍යාදෘෂ්ටික ප්‍රශ්නයකි.

පුද පුජා යනු හින්දු ආගමික පිළිවෙතක් මිස බුදු දහමේ පිළිවෙතක් නොවන අතර, පළමු වරට ලංකාවේ බුද්ධ ප්‍රතිමාවලට ආහාර පූජා කිරීම සිදු කර ඇත්තේ ක්‍රිස්තු වර්ෂ 937-945 දක්වා රාජ්‍යය කළ තුන්වැනි සේන රජු විසින් බව මහාචාර්ය එම්.එම්.ජේ මාරසිහ මහතා විසින් දක්වා ඇත. (බුදු දහම සහ බුද්ධාගම) එතුමා මෙසේද සඳහන් කර ඇත. “බුද්ධ ප්‍රතිමාවලට පුජා කිරීමෙන් එතෙක් දෙවිවරුන් සඳහා කරන ලද ආගමික පිළිවෙතක් බෞද්ධ ප්‍රතිපදා මාර්ගයට එකතු කිරීමෙන් බෞද්ධ ප්‍රතිපදා මාර්ගය කිළිටි කිරීම මෙන්ම අඩපණ කිරීමක්ද, එතෙක් පැවති ගමන් මඟ වෙනස් කිරීමකට මුලපිරීමක් ද වූ බව සැලකිය යුතුය. ‘ක්‍රමක්‍රමයෙන් ප්‍රතිමාවලට ද, අනෙකුත් පුජනීය වස්තුවලටද විවිධ පුද පුජා ක්‍රම ගොඩනැගී ඇති අතර, ඒවාට විශේෂ පූජා වාක්‍යද තැනී ඇත.

අද දක්නට ලැබෙන සමහර පූජා වර්ගද, ඒවායින් ලබා ගැනීමට බලාපොරොත්තු  වන ප්‍රතිඵලද මෙසේය:

  1. පහන් පූජාව : දිවැස ලැබීම, බුද්ධිය ලැබීම, ශරීර ඕරාවක් ලැබීම, නිරෝගී , සෞඛ්‍ය සම්පන්න ඇස් ලැබීම.
  2. සුවඳ දුම් පූජාව ජනප්‍රිය වීම, භාවනාවේ දී සිත සමාධිගත කීරිමට හැකිවීම
  3. පාන වර්ග පූජාව : ආයුෂ වැඩිවීම, ශරීර ශක්තිය ලැබීම, සතුරන් තුරන්වීම, අනුන්ගෙන් ගෞරව ලැබීම.
  4. ආහාර පූජාව  :  දීර්ඝායුෂ ලැබීම, පැහැපත් ශරීර වර්ණයක් ලැබීම, සෞභාග්‍යවත් ජීවිතයක් ලැබීම.
  5. කොඩි පූජාව  : දිව්‍ය ලෝකවල හෝ මනුෂ්‍ය ලෝකයේ උපදින විට ඉහළ සමාජ තත්ත්වයක් ලැබීම, සංගීතය, නර්තනය වැනි කලා විෂයයන් පහසුවෙන් ඉගෙනීමට දක්ෂතාව ලැබීම.
  6. ශබ්ද පූජාව : සංගීතය, නර්තනය වැනි අනෙක් කලා ශිල්පද ඉගෙනීමේ දක්ෂතාව සහ ඒවා මඟින් ප්‍රසිද්ධියට පත්වීම.
  7. විහාරස්ථාන, ස්ථූප සහ බෝධිය අසල ප්‍රදේශ පිරිසිදු කිරීම : සෞඛ්‍ය සම්පන්න ශරීරයක් ලැබීම, දීර්ඝායුෂ ලැබීම, දෙවියන්ගේ පිහිට ලැබීම, බුද්ධිය ලැබීම.
  8. අටවිසි බුද්ධ පූජාව : ගෞතම බුදුන්ට පෙර බුදු වී සිට ඇති බුදුවරුන් 28 දෙනෙකු සඳහා මෙම පූජාව පැවැත්වේ. සමහර විහාරස්ථානවල මෙම බුදුවරුන්ගේ ප්‍රතිමාද නිර්මාණය කර ඇත.  ප්‍රතිමා නොමැති නම්, මෙම පූජාව බෝධි වෘක්ෂය අසල හෝ ස්ථූපය අසල හෝ සිදු කෙරේ. මෙහිදී පහන් 28ක් දල්වා ඒවා පූජා කර පාන වර්ග 28ක්, නෙ`ඵම් මල් 28ක්, සුවඳ සඳුන් කූරු 28ක් ආදී වශයෙන් විවිධ පූජා භාණ්ඩ පූජා කරනු ලැබේ. මෙය ඉතා විශාල පින් ප්‍රමාණයක් ලබාදෙන පූජාවක් ලෙස සැලකේ.
  9. කඨින පූජාව : වස් වැසීම අවසානයේදී භික්ෂුවකට පූජා කරන මෙමසිවුරු මැසීම සඳහා එක මැහුමක් හෝ දමා ඇති අයකුට ආත්ම සිය දහස් ගණනක් සක්විති රජ සැප ලැබෙන බව විස්වාස කෙරේ.


දිනෙන් දිනම වැඩි වන මේ විවිධ පූජා නිසා අද පවතින්නේ බෞද්ධ ප්‍රතිපත්ති නොව හින්දු ආගමික ප්‍රතිපත්ති බව පෙනේ. වල්පොළ රාහුල හිමි ‘බුදුන් වදාළ ධර්මය’ නමැති පොතේ සඳහන් කර ඇත්තේ.

“බෞද්ධයකු විසින් කළ යුතු කිසියම් බාහිර යාග හෝම වැනි පූජා ක්‍රමයක් හෝ සංස්කාරයක් හෝ නැත. බුද්ධ ධර්මය ජීවිතයේ ප්‍රතිපත්ති ක්‍රමයකි. මෙහිලා අවශ්‍ය වන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය පිළිපැදීම” බවයි. රාහුල හිමි විසින් ‘සත්‍යෝදය’ නමැති පොතේ පෙන්වාදී ඇත්තේ, පුද පූජා පැවැත්වීම වෙනුවට බෞද්ධයන් විසින් කළ යුතු වන්නේ අසරණයන්ට හා රෝගීන්ටද, පිහිටක් අවශ්‍ය අන් අයටද උපකාර කිරීමය. එහි තවදුරටත් සඳහන් කර ඇත්තේ, පින් ලබන අදහසින් වැඩ කරන්නාගේ සිත කිළිටි වන බවයි. පින් ගැනීමේ ආශාව තෘෂ්ණාවයි. විවිධ පූජා වර්ග පවත්වාගෙන එන්නේ පූජකයෝ ඒ ඒ ආගම් ස්වකීය ජීවිකා වෘත්තියට පෙරළා ගත් නිසා බවද ඔවුන් ධර්මය ‘කන්ට සුත්‍රය’ කර ගත් බවද උන්වහන්සේ සඳහන් කර ඇත.

පුද පූජා සඳහා ඉතා විශාල මුදලක් වැය කරන බෞද්ධයෝ තම රටේ ඉතා දුඃඛිත ජීවිත ගත කරන විශාල ජන සංඛ්‍යාවකට කිසිම පිහිටක් නොකර එම මුදල් අපතේ හරිති. කුසගින්නෙන් පෙළෙන, සුදුසු නිවසක් නොමැති, ඇඳීමට පිරිසිදු වස්ත්‍ර නැති විශාල පිරිසක් අපේ රටේ ජීවත් වෙති. සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත අනුව මසකට රුපියල් 4,166.00 කට වඩා අඩු ආදායම් ඇති අය 2016 දී 8,43,913 දෙනෙකුට ආසන්නය. එවැනි තත්ත්වයක් ඇති රටක කප්රුක පූජා ආදී විවිධ පූජා සඳහා කිසි ලෝභකමක් නැතිව මුදල් වියදම් කරන බෞද්ධයන් තමන් ගැන ලැජ්ජා විය යුතු නේද?



Comments