අපේ ආයුකාලය අඩු වෙනවාද? - තාරක වරාපිටිය


බොහෝ දෙනා නිරත ප්‍රකාශ කරන කාරණයක් හා වැරදි අදහසක් නම්, අපේ අත්තලා මුත්තලා වගේ දිගු ආයු කාලයක් භුක්ති විඳීමට අපේ පරම්පරාවට හැකියාවක් (වාසනාවක්) නැති බවයි. මෙය ඇත්තක්ද? මේ කාරණය විග්‍රහ කරලා බලන්න වෙන්නේ සංඛ්‍යාලේඛන ඇසුරිනුයි. එක් එක් රටවලට වෙනවෙනමත්, සමස්ථ ලෝකයටමත් ගණනය කරනු ලබන උපතේදී අපේක්ෂිත ආයු මට්ටම නම් දර්ශකය ඇසුරින් මේ කතාවේ යථාව පැහැදිලි කරගැනීමට අපට හැකිය. විවිධ හේතු මත රටක සිදුවන මරණ අනුපාත මේ දර්ශකය සකස් කිරීමට පාදක කරගන්නවා. අපේ රටේ මෙන්ම සෙසු රටවලත් සිදුවන උපත් හා මරණ ලියාපදිංචි කෙරෙනවා. එමෙන්ම යම් මරණයක් වාර්තා කරන විට මරණයට ආසන්න හේතුවත් වාර්තා කර ගන්නවා. හදිසි අනතුරු, බෝ නොවන රෝග, වසංගත තත්වයන්, අපරාධමය සිදුවීම් නිසා ආදී හේතුවක් උඩ සිදුවන අකල් මරණයන් මෙන්ම සාමාන්‍ය ලෙස වියපත්වීම මත ශාරීරික දුර්වලතා හේතුවෙන් සිදුවන මරණ ආදිය එලෙස වාර්තා ගත වෙනවා.

කෙසේමුත් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වර්ධනය හේතුවෙන් (මානව ශිෂ්ඨාචාරයට හිමිවූ ප්‍රතිලාභය හේතුවෙන්) වසංගත රෝග වලින් සිදුවුන මරණ අතිවිශාල ලෙස පහත වැටී ඇත. බෝ නොවන රෝග වෙනුවෙන් ඇති ප්‍රතිකාර ක්‍රම වේගයෙන් දියුණුවන නිසා ‘මරණය කල්දමා ගැනීමට’ ඇති හැකියාව අපි අද අත්දකිනවා. මාර්ග අනතුරු සංඛ්‍යාව ක්‍රමයෙන් වැඩිවීමේ තත්වය පාලනය කරගත හැකි වන්නේ නම් මීට වඩා ඉහල ආයු අපේක්ෂාවක් ලෝකයාට හිමි වනු ඇත. ඉන්දියාවේ වසරකට සර්ප විෂෙන් මිය යන 50,000 ක පමණ ප්‍රමාණය අඩුකර ගැනීමට එරට සමත් වන්නේ නම් සමස්ථ ලෝකයට අදාළ මෙම දර්ශකය ඉහල අගයක් කරා ගෙනයා හැකියි. ඒ සඳහා එරට වැසියන් පොළඹවා ගැනීමට අනුගමනය කළ හැකි සරල චර්යා වෙනස වන්නේ රාත්‍රී නින්ද සඳහා ඇඳක් භාවිතය හා රාත්‍රියේ නින්දට පෙර ශරීර කෘත්‍යය කිරීමට ‘එලිපහලියට’ නොයා නිවසේ වැසිකිළිය භාවිතයට හුරු කරවීමයි. මන්ද සර්ප දෂ්ඨනයන් වැඩි ප්‍රමාණයකට අවස්ථාව උදාවී ඇත්තේ මේ හේතු නිසාවෙනි. ලෝකයේ වෙසෙන ග්‍රාමීය ජනතාව එවන් චර්යාත්මක වෙනසක් / ප්‍රගතියක් අත්කර ගන්නේ නම් ලෝක මට්ටමින් මෙම දර්ශකය තවත් ඉහල නංවා ගත හැකි වනු ඇත.

ශ්‍රී ලංකාවේ තත්වය, පවතින ප්‍රශස්ත සෞඛ්‍ය සේවා මට්ටම හේතුකොට ගෙන (විශේෂයෙන් ළදරු මරණ අනුපාතය අඩු මට්ටමක පැවතීම හා ළමා ප්‍රතිශක්තිකරණ වැඩසටහන් සාර්ථකත්වය නිසා) යහපත් ආයු අපේක්ෂා මට්ටමක් පවත්වා ගනිමින් ඇත. එහෙත් මාර්ග අනතුරු හා සිවිල් අපරාධ මට්ටම එවන් ප්‍රගතියක් දක්වා නැත.

ලෝකයේ තත්වය ගත්විට, 1990 සිට 2013 වනවිට උපතේදී අපේක්ෂිත ආයු කාලය වසර 57.3 සිට වසර 64.2 දක්වා වර්ධනයක් අත්කරගෙන ඇත. මෙම වර්ධනය අත්කර ගැනීමට ප්‍රධාන වශයෙන් හේතුකාරක වූයේ ළමා මරණ මට්ටම අඩු කරගැනීමට අවශ්‍ය රෝහල් සේවාවන්හි හා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වු ගුණාත්මක වර්ධනයයි. ලෝකයේ සමස්ථ තත්වය අනුව වසරකට මාස දෙකක පමණ ප්‍රමාණයකින් උපතේදී අපේක්ෂිත ආයු කාලය වැඩිවන බව නිරීක්ෂණය කොට ඇත. ශ්‍රී ලංකාවේ තත්වය අනුව වසරකට මාස තුනක පමණ වේගයකින් උපතේදී අපේක්ෂිත ආයු කාලය වැඩිකර ගැනීමට සමත්ව ඇති බව වාර්තා වේ. ආහාර පෝෂණ තත්වය ඉහල නංවා ගැනීමෙන් ආහාර හා පානීය ජලයේ පිරිසිදුතාවය අත්කර ගැනීමෙන්, අපරාධ අඩුකර ගැනීමෙන් ව්‍යායාම වල යොදීමෙන් තවදුරටත් අපගේ අපේක්ෂිත ආයු කාලය ඉහල ඉලක්කමක් කරා ලගා කරගත හැකිවේ.

වසර 2000 දී ශ්‍රි ලංකා පුරවැසියෙකුගේ උපතේදී අපේක්ෂිත ආයු කාලය වසර 71.83 ක් වූ අතර 2005 දී එම අගය වසර 73.17 ක් ලෙසද 2010 වන විට එය වසර 75.3ක් ලෙසද 2014 වර්ෂයේදී එම දර්ශකය වසර 76.35 ලෙසද ගණනය කොට ඇත. ඒ අනුව ක්‍රමක්‍රමයෙන් අපකේෂිත ආයු කාලය වැඩිවී ඇත. අපගේ ජනප්‍රිය විශ්වාස නිවැරදි නොවන වගට ඇති නිවැරදිම හා විද්‍යානුකුලව ඇති සාක්ෂිය මෙය වෙයි.

සෞඛ්‍යමය තත්වයේ වර්ධනය විසින් මෙම දර්ශකය ඉහල නංවා ගැනීමට දෙන තල්ලුව තරමක් දුරට අඩපන කරන මානව පුරුදු වන්නේ, නූතන සුවපහසු ජීවන රටාව විසින් අහිමි කර ඇති (ශරීරයට අවශ්‍යම වන්නාවූ) ව්‍යායාම ප්‍රමාණය හිලවු කරගැනීමේ ක්‍රමවේදයකට සමාජයේ බහුතරයක් අවතීර්ණ නොවීමයි. සමහර අයගේ කෑදර ආහාර රටාව හා මාරක මාර්ග අනතුරු සංඛ්‍යාව පාලනය කර ගැනීමට තවමත් අපොහොසත් වීම තවත් එවැනි නොසැලකිල්ලකි.

කෙසේමුත් අනපේක්ෂිත ලෙස මෑතකදී ඇමෙරිකා එක්සත් ජනපදයේ උපතේදී අපේක්ෂිත ආයු කාලය මදකට අඩුවීමක් වාර්තා වී ඇත්තේ පමණ ඉක්මවා ඇල්කොහොල් භාවිතය නිසා බවට වෛද්‍යවරු අනුමාන කර ඇත.

අතීතය ශ්‍රේෂ්ඨයි  උත්කෘෂ්ඨයි වර්තමානය අප්සෙට් වැනි ජනප්‍රිය මිථ්‍යාව මේ විශ්වාසය සමඟ වෙලී ඇත. මිථ්‍යා ලෝලීන් ගිලී සිටින සමස්ථ මිථ්‍යාවේ හරස්කඩක් මේ මිථ්‍යාව තුල නිරුපනයවේ. එසේ විශ්වාස කල අයට මේ සත්‍යය තේරුම්ගෙන සතුටු විය හැකිවේ. ඇත්තෙන්ම අපි තව වසර 50කට පසුව උපන්නානම්, වඩා වැඩි ආයු කාලයක් භුක්ති විඳ, වඩා හොඳ ජීවිතයක් ගතකරන්නට හැකි වනු ඇත. ඒ බව පසක් කරගන්නට නම් ලෝකය ඉදිරියට මිස පසුපසට ගමන් නොකරන බව තේරුම් ගැනීම ප්‍රමාණවත්ය.

Comments

Post a Comment